[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන්කෙත බබළවන ධර්මධර විනයධර මහා යතිවරයාණෝ බෝදාගම චන්දිම නා හිමිපාණන් වහන්සේ

සසුන්කෙත බබළවන ධර්මධර විනයධර මහා යතිවරයාණෝ

බෝදාගම චන්දිම නා හිමිපාණන් වහන්සේ

තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්යේ 65 වැනි ජන්ම දිනය පෙබරවාරි මස 03 වැනිදාට යෙදී තිබුණි. උන්වහන්සේට කරන කෘතගුණයක් සේ සලකා මෙම ලිපිය පළ කෙරේ.

වර්ෂ 1957 ක් වූ නවම් මස තෙවැනි දින බෝදාගම වැනි ඉතා දුෂ්කර ප්‍රදේශයක උපත ලැබූ උන්වහන්සේ රට දැය සමය ඒකාලෝක කරනු වස් පෑයූ සුපුන් සඳක් බඳු ය. බෝදාගම පීරිස් මුණසිංහ පියාණන්ටත්, හීන්නෝනා ලියනාරච්චි මෑණියන්ටත් දාව උපන් අප කතා නායකයාණන් 1970 ඉල් මස 08 වැනිදා බුද්ධ ශ්‍රාවකයකු වෙමින් සසුන්ගතව සිය ජීවිතය ම සම්බුදු සසුනේ උන්නතිය උදෙසා කැප කරමින් අද දක්වා ලෝක සාසනික සේවාව සිදුකරමින් වැඩ වෙසෙති.

බෝදාගම චන්දිම අප නායක මාහිමියන් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සහ පශ්චාද් උපාධිය සමත්ව පසුව රුහුණු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගනිමින් ධර්ම ශාස්ත්‍රීය සේවාවන්හි ද නියුක්ත උගත් වියත් වැදගත් යතිවරයාණන් වහන්සේ නමකි.

කලක් මෙරට ධර්ම ශාස්ත්‍රීය සේවාවේ නියැළුණු අප නායක හිමියන්ගේ ගමන් මඟ වෙනස් කරමින් තායිවානයට වැඩම කොට තායිපේ අගනගරයේ ථෙරවාදී අධ්‍යාපන සමාධි ආයතනය හා ආශ්‍රමය පිහිටුවමින් තායිවාන් ප්‍රධාන සංඝනායක ධුරය ද හොබවමින් දේශදේශාන්තර බොදුණු සමාජයන් වෙත සිය කාරුණික අවධානය යොමු කළහ .

උන්වහන්සේ දානපතියන්ගේ ද අනුග්‍රහයන් ඇතිව ශී‍්‍ර ලංකාව පුරා ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කරවා නොමිලේ බෙදා දුන් අතර අද ද අප පරිහරණය කරන පිරුවානා පොත් වහන්සේ, ඉතිවුත්තකපාළිය, විසුද්ධිමාර්ගය පමණක් නොව ති‍්‍රපිටකපාළි සාහිත්‍යය ද උන්වහන්සේ මුද්‍රණය කරවා නොමිලේ බෙදා දුන් කෘති වේ. ඈත ගම්බද විහාරස්ථාන එකී ධර්ම ග්‍රන්ථ ප්‍රදානයෙන් ලද පන්නරය වචනයෙන් සඳහන් කළ නොහැකි තරම් ය.

ඈත එපිට ගම්බද ජනතාවගේ දුක්ගැනවිලි ඕනෑවටත් වඩා තේරුම්ගත් අප නායක හිමියන් ගම්බිම් සිසාරා ඇවිද යමින් කුසට අහරක් නැති ජනතාවට කුසට අහරක් සපයමින් ද බීමට අවැසි ජලය සම්පාදනය කර දෙමින් ද පහසුකම්වලින් අගහිඟ අතිශය දුෂ්කර රෝහල් වෙත කෝටි සංඛ්‍යාත වටිනා සෞඛ්‍යය උපකරණ ප්‍රදානය කරමින් ද සමාජ සුභ සාධනයෙහි නිරත වූයේ උන්වහන්සේ පුරුදු කළ බෝධිසත්ත්ව ගතිගුණවලට පින්සිදු වන්නට ය.

උන්වහන්සේ අතිශය දුෂ්කර දිස්ත්‍රික්කවල පිහිටා ඇති විහාරස්ථාන වෙත ශක්තියක් වූහ. දකුණු පළාතේ පමණක් නොව උතුරුමැද හා ඌව පළාතේ විහාරස්ථාන සිය ගණනක් උන්වහන්සේගේ පරිත්‍යාග මැද සුරක්ෂිතව අද ද පැවතෙන්නේ ය.

ධර්ම චක්‍ර ළමා පදනම අප බෝදාගම නායක හිමියන්යේ ජීවිතයේ දී සිදුකරන ලද උත්තුංගම කාර්යයක් ලෙස අගය කළ යුතු ය. අසරණ වූ දූ දරුවන්ට අනාගත දිවිගමන සරු කර ගන්නට අද එය මනා තෝතැන්නක් වී තිබේ.

කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය උන්වහන්සේ පුරන ලද පාරමී ධර්මයක් බඳුය. දැකුම්කළු වනාන්තරයක් සොඳුරු පුද බිමක් කරමින් සකලාංග විහාරයක් බවට මානෙල්වත්ත පත් කරන්නේ බෝදාගම චන්දිම අප නාහිමියන් ය. පුරාණ ලක්දිව ලෝකයේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්වූයේ අපේ රටේ පැවැති ආරාමික අධ්‍යාපනයයි. එදා එකී දැනුම් විප්ලවය නිර්මාණය කරන්නට ලක්දිව මහාවිහාර භික්ෂුන් වහන්සේ සුවිශාල කැපකිරීමක් සිදුකළහ. මෑත ඉතිහාසයේ ලක්දිව අධ්‍යාපනික විප්ලවය සිදුකළේ විද්‍යෝදය විද්‍යාලංකාර වශයෙන් සංවර්ධනය වූ මහාවිහාර පරපුරයි. එකී ඓතිහාසික උරුමගතව ආ දැනුම් කේන්ද්‍ර‍්‍රස්ථානය යළි ලක්දිවට අත්පත් කරගත යුතුය යන අධිෂ්ඨානශීලී සිතිවිල්ලක නිමග්න වූ අප නායක හිමියෝ ආගමික, ආධ්‍යාත්මික මෙන්ම භාෂාත්මක එකී ඓතිහාසික උරුමය දේශීයවත් දේශාන්තරවත් සටහන් කරනු වස් දැවැන්ත විශ්වවිද්‍යාල ආයතනයක් ස්ථාපිත කරනු ලැබීය. ඒ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය නමිනි. භෞතිකව සියලු පහසුකම්වලින් සමන්විතව ගොඩනැඟූ නාලන්දාව වන් නාගානන්දය අතීත මහාවිහාර, අභයගිරි ඓතිහාසික උරුමය සුරකිනු ඇත.

උන්වහන්සේ පසුගිය දා තවත් දැවැන්ත පින්කමකට මුල්ගල තැබූහ. ලක්දිව සුපසන් මෙහෙණි සසුන අරඹන්නට දායක වූ අනුලාදේවී තෙරණියගේ ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති මිහින්තලාවේ පිහිටි සෑය අද අබලන්ව තිබෙනු දුටු අප නාහිමියෝ යළි එය ජීවමාන කරවන්නට මූල්‍යමය දායකත්වය සංවිධාන ශක්තිය එකතු කර තිබේ. අක්කර හතළිහක පමණ භූමි භාගයක පිහිටි එකී දාගැබ් වහන්සේ නුදුරු අනාගතයේ සාධු ජන සාධු හඬින් නැහැවුණ සිල් රැකි බවුන් වඩන සොඳුරු පින්බිමක් බවට අප නායක හිමියන් විසින් පත්කරනු නොඅනුමාන ය.

සම්බුදු සසුනේ උන්නතිය උදෙසා මෙලොවට වැඩි උන්වහන්සේ අප මිහිපිට දුටු බෝධිසත්ත්වයෙකි.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති, තායිවාන් ප්‍රධාන සංඝනායක, ශී‍්‍ර ලංකා ධර්මචක්‍ර ළමා පදනමේ අධ්‍යක්ෂ, ජාත්‍යන්තර ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක, ආචාර්ය බෝදාගම චන්දිම අප නාහිමියන්ට නිදුක් නිරෝගී චිරජීවනය වේවා.

නවම් පුර අටවක පෝය

පෙබරවාරි 08 අඟහරුවාදා පූර්වභාග 06.18 පුර අටවක ලබා 09 බදාදා පූර්වභාග 08.33 ගෙවේ.
08 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]