[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැප ලබන්න නම් සැප කර්ම හුරු කරන්න

සැප ලබන්න නම් සැප කර්ම හුරු කරන්න


ජීවිතයට පින් රැස්කර ගන්නා ආකාර තුනක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ දානය, සීලය සහ භාවනාව යි. පින කියන්නේ සැපයට කියන නමක්. බුදුරජාණන් වහන්සේ වදාළා දාන, සීල, භාවනා කරන්නේ නැති පුද්ගලයාගේ පෙර පින අවසන් වූ විට මිය යාමට සිදු වන්නේ හිස් අතින් බව. එනිසා සෑම දිනක ම තමාට පුළුවන් ආකාරයට පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නට උත්සාහ කළ යුතු වෙනවා.

තමන් තමාට ආදරේ නම් පින් රැස් කර ගන්නා අතර ම පව්, අකුසල් කියන දෙයින් වෙන් වී වාසය කළ යුතු වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා යම් පුද්ගලයෙක් සිටිනවා. ඔහු දන් දෙන්නේත්, සීලය මුල් කරගෙන පින් කරන්නෙත් බොහෝම සුළු වශයෙන්. භාවනාවෙන් ජීවිතයට පිනක් රැස් කර ගන්නේ ම නැහැ.

මේ වගේ පුද්ගලයන් එදත්, අදත් අප අතර සිටියා, සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ පුද්ගලයා කය බිඳී මරණයට පත් වූ පසු ඔහුට වාසනාවන්ත උපතක් ලැබෙන්නේ නැති බවයි.

මේ ලෝකයේ ඉපදුන හැමෝට ම නිසි පරිදි තමා කැමැති ආහාර ලැබෙන්නේ නැහැ. බිලියන ගණන් දෙනා කුසගින්නේ සිටිනවා. එක වේලකින් දවස පිරිමසා ගන්නවා. පිපාසයෙන් සිටිනවා. ශරීරයට ඇඳුමක් නැහැ. එහෙත් මිනිස් ලොව උපතක් ලැබී තිබෙනවා. ඒ උපත භාග්‍යවන්ත උපතක් නොවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.

එයට හේතුව ඔහු දන්දී තිබෙන්නේ, සිල් රැකීමත් සිදු වී තිබෙන්නේ ස්වල්ප වශයෙන් වීමයි. භාවනාව සිදු වෙලාම නැහැ. යම් පිනක් රැස් කරගෙන මිනිස් ලොව ඉපදුණත් භාග්‍යවන්ත නැති ජීවිතයක් ලැබෙන්නේ එනිස යි.

ඒ වගේම තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු දානය මුල් කරගෙන කරන පින වගේම සීලය මුල් කරගෙනත් යම් ප්‍රමාණයකට පින් කර ගන්නවා. එහෙත් භාවනාවෙන් පිනක් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ පුද්ගලයා මරණින් මතු මිනිස් ලොව ඉපදුණ විට ඔහු වාසනාවන්ත ජීවිතයක් ලබනවා. ඒ දෙවැනි පුද්ගලයා යි.

අපට මේ මිනිස් ලොව දෙස බැලූ විට පේනවා අවාසනාවන්ත මෙන්ම වාසනාවන්ත ජීවිත ගත කරන පිරිස් සිටිනවා. ඔහුට එසේ ජීවිත ලැබෙන්නට පින සහ පව උපකාරී වී තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ලෝකයේ තුන් වැනි පුද්ගලයා ගැන. ඔහු දානය වගේ ම සීලයත් මුල් කරගෙන අධික ලෙස පින් කර ගන්නවා. තමා සතු ධනය දන් දෙනවා. සිල් පද පණ සේ රකිනවා. එහෙත් ඔහුත් භාවනා ව පුරුදු කර ගන්නේ නැහැ. මෙසේ පින් අධිකව කර ගන්නා පුද්ගලයා මිනිස් ලොව ඉක්මවා චාතුම්මහා රාජික දිව්‍ය ලෝකයේ ඉපදෙනවා.

සාමාන්‍ය ලෝකයේ පවා රැකියාවක් කරන්න, ව්‍යාපාරයක් කරන්න යම් යම් සුදුසුකම් අවශ්‍ය වෙනවා. තමාගේ අධ්‍යාපනය, පළපුරුද්ද අනුව රැකියාවේ වෙනස්කම් සිදු වෙනවා. එසේම කරන පිනෙන් යම් වර්ගීකරණයන් තිබෙනවා. උපරිමයෙන් දන් දී සිල් රැක්කත් භාවනාව නොවැඩූ නිසා පහළම දිව්‍ය ලෝකය වූ චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයේ ඔහු උපත ලබනවා.

චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට අධිපති සතරවරම් දෙවිවරු යි. ඒ දෙවිවරු දානය මුල් කරගෙන කළ පින වගේම සීලය මුල් කරගෙනත් ප්‍රමාණය ඉක්මවා අධික ලෙස පින් කරගෙන තිබෙනවා. ඒ දෙවිවරු හතරදෙනා, අනෙක් දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් බලවත් වෙනවා. ඒ දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණය, දිව්‍ය සැපය, දිව්‍ය යසස, දිව්‍ය අධිපතිභාවය, දිව්‍ය රූප, දිව්‍ය ශබ්ද, දිව්‍ය ගන්ධ දිව්‍ය රස, දිව්‍ය පහස යි.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ හතරවැනි පුද්ගලයා ගැන. ඔහු දානය වගේම සීලයත් මුල් කරගෙන අධිකව පින් රැස් කර ගන්නවා. නමුත් ඔහු භාවනාමය පින තම ජීවිතයට රැස් කර ගන්නේ නැහැ. ඔහු මරණින් මතු චාතුම්ම හා රාජික දිව්‍ය ලෝකය ඉක්මවා තව්තිසා දෙව් ලොව ඉපදෙනවා.

ඒ දෙව්ලොව ප්‍රධානියා සක් දෙවිඳු යි. සක් දෙවිඳු පෙර ජීවිතයන්හි දානය වගේම සීලය මුල් කරගෙන බොහෝ පින් කරගෙන තිබෙනවා. ඒ පිනෙන් අනෙක් දෙවිවරු අභිබවා සක් දෙවිඳු පෙර කී කරුණු දහයකින් අධිපති බව දරනවා.

අප සිතන්න ඕනෑ මිනිස් ලෝකයේ ඉපදුණ සියලුම දෙනාට පිනක් කර ගැනීමට සුළු කාලයයි ලැබී තිබෙන්නේ. ඒ සුළු කාලය අපතේ යවා තමා ගැන මහත් වූ ආඩම්බරයෙන්, මාන්නයෙන්, අන් අයගේ අගුණ සොයමින් කාලය ගත කරනවා. මේ ලැබුණ මිනිස් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන්නේ නැහැ. අපි දන්නේ ම නැතුව වයසට ගිහින් මරණයට පත් වෙනවා. ඉන්පසු ඔහුට අවාසනාවන්ත ජීවිතයක් ලැබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ හත්වැනි පුද්ගලයා ලෙස වදාළා යම් කෙනෙක් දන් දීම වගේම සිල් රැකීමත් අධික ලෙස කරනවා. නමුත් භාවනාව කර ගන්නේ නැහැ. ඔහු කය බිඳී මරණයට පත් වූ පසු පෙර කී සියලු ලෝක පසුකර යාම දිව්‍ය ලෝකයේ ඉපදෙනවා. ඒ දෙව් ලොව අධිපතිබව දරන ප්‍රධානියෙක් සිටිනවා. ඒ සුයාම දිව්‍ය පුත්‍රයා. ඔහු පෙර කළ අධික පින් නිසා අනෙක් දෙවිවරු අභිබවා පෙර කී කරුණුවලින් බබළනවා.

එනිසා අප සිතිය යුතුයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා දන්දීම වගේම සිල් රැකීම සම්බන්ධයෙන් තෘප්තිමත් විය යුතු නැහැ. දානය සහ සීලය ජීවිතයේ අයහපත පිණිස පවතින්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ හය වැනි පුද්ගලයා ලෙස මෙසේ වදාළා. මොහු දන්දීම වගේම සිල් රැකීමත් ප්‍රමාණය ඉක්මවා අධික ලෙස කර ගන්නවා. එහෙත් භාවනාමය පින කර ගන්නේ නැහැ. කරගත් බලවත් පින නිසා මරණින් මතු තුසිත දෙව් ලොව ඉපදෙනවා. අනෙක් දෙවිවරු අභිබවා අධිපතිභාවයෙන් යුතුව සන්තුසිත දිව්‍ය පුත්‍රයා නමින් ඉපදෙනවා. ඒ දේවේන්ද්‍රයා තුසිත දෙව්ලොව ප්‍රධානියා. ප්‍රමාණයට වඩා අධිකව පින් කරගත් නිසා මේ සන්තුසිත දිව්‍ය පුත්‍රයා අනෙක් දෙවිවරු අභිබවා පෙර කී කරුණු දහයෙන් ප්‍රධාන වෙනවා.

හත්වැනි පුද්ගලයා ලෙස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා යම් පුද්ගලයෙක් මිනිස් ලෝකයේ දී බොහෝ සෙයින් දන් දී සිල් රැක අප්‍රමාණ පින් රැස්කර ගන්නවා. එහෙත් පෙර පුද්ගලයන් ලෙස ම ජීවිතයට භාවනාමය පින කරගන්නේ නැහැ.ඔහුගේ බලවත් පින නිසා නිම්මාණරතී දෙව්ලොව ඉපදෙනවා. ඒ දෙව් ලොව ප්‍රධාන දෙවියා සුනිම්මිත දිව්‍ය රාජයා. ඒ දිව්‍ය පුත්‍රයා අනෙක් දෙවිවරුන්ට වඩා පෙර කී කරුණු දහයකින් අධිපතිබව දරනවා.

එසේම අට වැනි පුද්ගලයා ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් පුද්ගලයකු මිනිස් ලෝකයේ දී අධික ලෙස දන් දීමත්, අධික ලෙස සිල් රැකීමත් කරනවා. ඒ පුද්ගලයා මරණින් මතු පරනිම්මිතවසවත්තී දිව්‍ය ලෝකයේ ඉපදෙනවා. වසවත්තී ඒ දිව්‍ය ලෝකයේ ප්‍රධානියා යි. ඔහු අනෙක් දෙවිවරු අභිබවා කරුණු දහයකින් යුතුව බබළනවා. අධිපතිභාවය දරනවා.

පෙර කී සියලු දෙනා පුරුදු කර තිබෙන්නේ දානය සහ සීලය පමණ යි. ඒ පිනෙන් අපට ලැබෙන්නේ සැපය පමණ යි. එනමුත් කෙනෙක් භාවනාව දියුණු කර පළමු ධ්‍යානය හෝ උපදවා ගත්තා නම් පෙර කී සියලු ලෝක ඉක්මවා බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා.

එනිසා ස්වල්ප වශයෙන් හෝ දන් දෙන්නේ නැත්නම්, සිල් රකින්නේ නැතිනම් මිනිස් ලෝකයේ පවා ඉපදෙන්නට තිබෙන අවස්ථාව අහිමි වී නිරයේ, තිරිසන් ලෝකයේ, පේ‍්‍රත ලෝකයේ අසුර ආදී ලෝකවල ඉපදී දුක්ඛිත ලෙස මහා දුකක් විඳීමට සිදු වෙනවා.

අපට දැන් දන් දීමට වගේ ම, සිල් රැකීමටත් අවස්ථාව උදා වී තිබෙනවා. තමන්ගේ ජීවිතයට යහපත උදාකර ගන්න නම් ත්‍රිවිධ රත්නය කෙරහි ශ්‍රද්ධාව බලවත්ව තිබෙන්න ඕනේ. තමන්ට දන් දීමට දෙයක් තිබෙන්නත් ඕන. දානය පිළිගැනීමට පිරිසක් සිටින්නටත් ඕන. මේ සියලු කාරණා එකතු වෙලා යම් දෙයක් කිරීමට ලැබීම ඉතා දුර්ලභ යි. ඒ දුර්ලභ අවස්ථාව අද අපට ලැබී තිබෙනවා. ඒ දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමු.

නවම් පුර අටවක පෝය

පෙබරවාරි 08 අඟහරුවාදා පූර්වභාග 06.18 පුර අටවක ලබා 09 බදාදා පූර්වභාග 08.33 ගෙවේ.
08 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]