[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

වෙසක් අව අටවක

මැයි 20 අඟහරුවාදා පූ.භා 05.53 අව අටවක ලබා 21 බදාදා පූ.භා. 04.57න් ගෙවේ.
20 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10

සත්වගට සෙත සැදූ අසිරිමත් සම්බුදු නුවණ

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ නව අරහාදී සම්බුදු ගුණයන්ගෙන් ද, දසබල ඤාණයන්ගෙන් ද, සිවු විශාරද ඤාණයන්ගෙන් ද සමන්විත වූ සේක. අනන්ත බුද්ධ ඤාණයන්ගෙන් යුතු වූ භාග්‍යවතුන් වහන්සේ සතු කිසිදු ශ්‍රාවකයකුට සාධාරණ නොවූ ෂඩ් අසාධාරණ ඤාණ නම් සුවිශේෂී සම්බුදු ගුණ සමුදායක් තිබුණි. ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණය භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති ඉතා ම සුවිශේෂී ඤාණයකි. එහිදී භාග්‍යවතුන් වහන්සේ දෙවියන්, බඹුන්, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි දමනය කළ යුතු පුද්ගලයන්ගේ ධර්මාවබෝධය කරා යාමේ කුසලතාවය මැනවින් දක්නා සේක. එනම් තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් තුළ කෙලෙස් අඩු සත්වයනුත්, කෙලෙස් බහුල සත්වයනුත්, තියුණු ඉඳුරන් පිහිටා ඇති සත්වයනුත්, මෘදු ඉඳුරන් පිහිටා ඇති සත්වයනුත්, මනාකොට බුදු නුවණින් දකිනා සේක. එමෙන්ම සුන්දර වූ ආකාර ඇති සත්වයනුත්, අසුන්දර වූ ආකාර ඇති සත්වයනුත්, පහසුවෙන් අවබෝධ කළ හැකි සත්වයනුත්, පහසුවෙන් අවබෝධ කළ නොහැකි සත්වයනුත් ඉතා මැනවින් බුදු නුවණින් දකිනා සේක. එසේම භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණයෙන් යුතු ව සත්වයන් දෙස බලද්දී ඇතැම් සත්වයන් පරලොව කෙරෙහිත්, අකුසල් කෙරෙහිත් බය දකිමින් වාසය කරන බවත්, ඇතැම් සත්වයන් පරලොව කෙරෙහිත්, අකුසල් කෙරෙහිත් බය රහිත ව වාසය කරන බවත් දකිනා සේක. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් අඩු සත්වයන් ලෙස දකින්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියයන් මැනවින් පිහිටා ඇති සත්වයන් ය. එහිදී භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධා රහිත වූ, කුසීත වූ, සිහි මුළා වූ, අසමාහිත සිත් ඇති, දුෂ්ප්‍රාඥ පුද්ගලයන් මහත් වූ කෙලෙස් ඇති සත්වයන් වශයෙන් බුදු ඇසින් දකිනා සේක. ඒ අයුරින් ම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත පුද්ගලයා තියුණු ඉන්ද්‍රියයන් ඇත්තෙක් වශයෙනුත්, එම ඉන්ද්‍රියයන් යන්තමින් පිහිටා ඇති පුද්ගලයා හෝ එම පංච ඉන්ද්‍රියයන්ගෙන් තොර පුද්ගලයා හෝ මෘදු වූ ඉඳුරන් ඇති පුද්ගලයා හෝ ලෙසත් අවබෝධ කර ගනී.

සම්බුදු තෙමඟුල සිහි කර සැදැහෙන පිළිවෙත් සපුරා ලබමු නිවන් සුව

මේ කාලවකවානුව තුළ උන්වහන්සේ පිළිබඳ සිදු වූ සියලු උපතක් ම බෝසත් උපතකි. ඒ සියල්ල බෝසත් කෙනකුගේ උපත් වන බැවිණි. විශේෂයෙන් බෝසත් උපත ලෙස ව්‍යවහාර කරන්නේ සිදුහත් කුමරුගේ උපතයි. බුදු බව ලැබීමට අදාළ පාරමිතා සම්පූර්ණ කොට ලැබුව උපත එය නිසාත්, බෝසතාණන් වහන්සේ සසරෙහි ලැබු අවසාන උපත නිසාත් මෙය විශේෂීත කොට සලකනු ලැබේ. එවකට ශාක්‍ය වංශික රාජ්‍යයක් වූ කපිල වස්තුවේ රජ කළ සුද්ධෝදන රජුගේ වැඩිමහලු පුත්‍ර රත්නය ලෙස මහාමායා දේවිය කුසින් සිදුහත් කුමරු බිහිවූයේ මේ වෙසක් පුන් පෝ දිනයේ ය. තුසිත දෙව්ලොවින් චුත ව මහාමායා දේවියගේ කුසට පිවිසිය බව මජ්ක්‍ධිම නිකායේ අච්චරියධම්ම සූත්‍රයෙහි වදාළ සේක. ඒ සිදුවීම මහාමායා දේවිය සිහිනෙන් දැක ඇත. සුදු ඇත්පැටවකු සුදු නෙළුම් මලක් සිය සොඬයෙන් දරාගෙන තමාගේ කුසට ඇතුළු වන සිහිනයක් දුටු බවයි. විශ්වයේ එක්තැනක සිදුවන දෙයක් සුළු වශයෙන් හෝ සෑමතැනට ම දැනෙන බව නූතන විද්‍යාඥයන් ද හෙළි කර ඇත. එහෙත් එම පැතිරීම ඒවායේ ස්වභාවය අනුව විවිධ වේ. බුද්ධත්වයට සුදුසුකම් සපුරා උපන් සිදුහත් කුමරුගේ උපතෙහි ද විවිධ සිදුවීම් ඇති බව සඳහන් වෙයි. දරු ගැබ මේරීමෙන් පසුව සිය මවුපියන්ගේ නිවෙසට මහාමායා දේවිය කැඳවා ගෙන යන අතර, ලුම්බිණි සල් උයනේ දී දරු උපත සිදු විය. කලාතුරකින් ලොවට පහළවන බුදුරදුන්ගේ උපත උන්වහන්සේගේ ඉගැන්වීම් අගය කරන ජනයා මංගල්‍යයක් ලෙස සලකති. මංගල්‍යය නම් යහපතකි. විවාහ වීම, ගෙයකට පිවිසීම, අභිෂේක ලැබීම වැනි මඟුල්වලින් ඇති වන බලය සීමිත ය.

 

මරණයේ බිය බිඳ හළ කුලුණු ගුණයක මහිමය

නිදහස් භාරතයේ ප්‍රථම අග්‍රාමාත්‍යවර ජවහර්ලාල් නේරුතුමා වරෙක අනුරාධපුරයේ මහමෙව්නා උයනට පැමිණියේ ය. එහි වූ සමාධි පිළිම වහන්සේ දැක මවිතයට පත් වූ මෙතුමා ඉන් අසීමිත සැනසීමක් ලැබූහ. සැදැහැයෙන් යුතු අමුතු හැඟීමකින් තම සිත පැහැර ගැනීමට මේ පිළිම වහන්සේ සමත් වූ බව ද, අතිශය පහන් බවක් මේ බුදුරුව තම සිතට ගෙනදුන් බව ද පැවසීම අතිශයෝක්තියක් නොවන බැව් ශ්‍රී නේරුතුමා සිය ජීවන සිදුවීම් ලියූ පොතේ සටහන් කර තැබුවේ ය. ලංකාවේ මිතුරකුගෙන් ලද සමාධි පිළිමයේ රුව ඩෙහරාඩුන් සිරිමැදිරියේ දේශපාලන සිරකරුවකු ලෙස කල්ගෙවද්දී ඔහු තම නෙත ගැටෙන සේ තබා ගත්තේ ය. හදේ දුක් දොම්නස්, කලකිරීම් ඉවතහැර ධෛර්යය, සැනසීම හා අධිෂ්ඨානය තමා වෙත ලබා දීමට මේ බුදුපිළිමයෙහි වූ උපශාන්ත බව උපකාරවත් වූ බැව් එතුමා තවදුරටත් සඳහන් කළහ. බුදුරදුන් දිවමන් ව වැඩ සිටි සමයේ සැවැත්නුවර අදින්න පුබ්බක මසුරු බමුණුතුමා තමාගේ පාණ්ඩු රෝගයට පිළියම් නොයෙදුවේ ඉන් තම වස්තුව, සම්පත ක්ෂය වන නිසාවෙනි. රෝගය උත්සන්න ව, නුදුරේම තම පුුතු මරණයට පත්වන බැව් නියත ලෙස දත් මසුරු බමුණා රෝගී මට්ටකුණ්ඩලී ගෙපිළෙහි ඇඳක් තබා ඒ මත නිදි කරවූවේ ය. එයැම මට්ටකුණ්ඩලී හට භාග්‍යය ගෙන දුන්නේ ය. ඔහු ලෙඩ ඇඳේ හිඳ කඳුළු සලද්දී අදින්නපුබ්බක පියාණන් ඉවත බලාගත්ත ද තිලොව මෙත් කුලුණු බුදුපියාණෝ ගව් ගණන් මඟ ගෙවා මට්ටකුණ්ඩලිගේ භව ගමන සුවපත් කරන්නට බමුණු ගෙදර මිදුලට වැඩමවූ සේක. සව්සත සනසා ලූ කරුණාවේ මූර්තිය - තිලොව මෙත් මුදිතා ධාරාව අදහාගත නොහැකි ලෙසින් මට්ටකුණ්ඩලී නෙත් මානයේ මිහිකත සනහ සනහා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ද, අසූවක් අනුව්‍යංජනයන්ගෙන් ද, බැබැළි බැබැළී වැඩ සිටියේ ය. අසමාන බුදු අසිරිය දැකීමෙන් පිනා ගිය සිතින් බලවත් චිත්ත ප්‍රසාදයෙන්, මට්ටකුණ්ඩලීහු නිදා පිබිදියාක් මෙන් මිය පරලොව ගියෝ තව්තිසා දිව්‍යභවනේ දිව්‍ය විමානයක දිව් සෙනඟ පිරිවරා දිව්‍ය පුත්‍රයකු ව උපන්නාහ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 















 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]