සත්වගට සෙත සැදූ අසිරිමත් සම්බුදු නුවණ
දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ නව අරහාදී සම්බුදු ගුණයන්ගෙන්
ද, දසබල ඤාණයන්ගෙන් ද, සිවු විශාරද ඤාණයන්ගෙන් ද සමන්විත වූ සේක.
අනන්ත බුද්ධ ඤාණයන්ගෙන් යුතු වූ භාග්‍යවතුන් වහන්සේ සතු කිසිදු ශ්‍රාවකයකුට සාධාරණ
නොවූ ෂඩ් අසාධාරණ ඤාණ නම් සුවිශේෂී සම්බුදු ගුණ සමුදායක් තිබුණි.
ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණය භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති ඉතා ම සුවිශේෂී ඤාණයකි.
එහිදී භාග්‍යවතුන් වහන්සේ දෙවියන්, බඹුන්, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත,
දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි දමනය කළ යුතු පුද්ගලයන්ගේ ධර්මාවබෝධය කරා යාමේ
කුසලතාවය මැනවින් දක්නා සේක.
එනම් තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් තුළ කෙලෙස් අඩු සත්වයනුත්, කෙලෙස් බහුල
සත්වයනුත්, තියුණු ඉඳුරන් පිහිටා ඇති සත්වයනුත්, මෘදු ඉඳුරන් පිහිටා ඇති සත්වයනුත්,
මනාකොට බුදු නුවණින් දකිනා සේක. එමෙන්ම සුන්දර වූ ආකාර ඇති සත්වයනුත්, අසුන්දර වූ
ආකාර ඇති සත්වයනුත්, පහසුවෙන් අවබෝධ කළ හැකි සත්වයනුත්, පහසුවෙන් අවබෝධ කළ නොහැකි
සත්වයනුත් ඉතා මැනවින් බුදු නුවණින් දකිනා සේක. එසේම භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය
පරෝපරියත්ති ඤාණයෙන් යුතු ව සත්වයන් දෙස බලද්දී ඇතැම් සත්වයන් පරලොව කෙරෙහිත්,
අකුසල් කෙරෙහිත් බය දකිමින් වාසය කරන බවත්, ඇතැම් සත්වයන් පරලොව කෙරෙහිත්, අකුසල්
කෙරෙහිත් බය රහිත ව වාසය කරන බවත් දකිනා සේක.
මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් අඩු සත්වයන් ලෙස දකින්නේ ශ්‍රද්ධා, විරිය, සති,
සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියයන් මැනවින් පිහිටා ඇති සත්වයන් ය. එහිදී
භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධා රහිත වූ, කුසීත වූ, සිහි මුළා වූ, අසමාහිත සිත් ඇති,
දුෂ්ප්‍රාඥ පුද්ගලයන් මහත් වූ කෙලෙස් ඇති සත්වයන් වශයෙන් බුදු ඇසින් දකිනා සේක.
ඒ අයුරින් ම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත
පුද්ගලයා තියුණු ඉන්ද්‍රියයන් ඇත්තෙක් වශයෙනුත්, එම ඉන්ද්‍රියයන් යන්තමින් පිහිටා
ඇති පුද්ගලයා හෝ එම පංච ඉන්ද්‍රියයන්ගෙන් තොර පුද්ගලයා හෝ මෘදු වූ ඉඳුරන් ඇති
පුද්ගලයා හෝ ලෙසත් අවබෝධ කර ගනී.