[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අව අටවක පෝ දා 2025-05-20

පුරුදු කළ යුතු පින්කම්

මෙවර ද වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමාවට පත්වූයේ ලක්දිව පුරා බොදු දනන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි නියැළෙමින් අපමණ කුසල රැස් කර ගනිමිනි.

දාන, ශීල, භාවනා පින්කම් අතර මේ වෙසක් මංගල්‍යය සමයේ දී ද දානමය පින්කම කැපී පෙනුණි. කොපමණ අග හිඟකම් තිබුණත් ශ්‍රද්ධා සිත පෙරදැරි ව බොහෝ පිරිස් ගමින් ගම - දොරින් දොර දන්සල් ඉදිකරමින් තවත් කෙනකුගේ සා පිපාසා නිවා නිහතමානී සතුටක සුවය විඳි අයුරු දුටුවෙමු.

සිංහල බෞද්ධයා කවදත් දීමෙහි ඇළුණෙකි. ස්වභාවික ආපදා අවස්ථාවක දී දුකට, විපතට පත්ව අසරණ වන අයට පිහිට වන්නට හේ දෙවරක් නොසිතන්නේ ය.

එවැනි අත්දැකීම් ලාංකේය සමාජයට දුලබ නොවේ. තමන් සතු දෙයක් නිර්ලෝභී ව තවත් කෙනකුට පරිත්‍යාග කිරීම, දන්දීම යම් පුද්ගලයකුට පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. ටිකෙන් ටික හෝ පුරුදු කර සසරට ගෙන යා යුතු උතුම් පුරුද්දකි. ලෝභී චේතනාව සසර මඟ දිගු කරන්නකි. දුක්ඛිත සසරින් එතෙර වීමේ මඟට පිවිසීමට නම් අපහසුවෙන් හෝ දීම පුරුදු කළ යුතු ය.

බුද්ධ කාලයේ චුල්ලේකසාටක නමින් දුප්පත් බමුණෙක් විය. ඔහුටත්, බිරිඳටත් වූයේ එකම උතුරු සළුවකි. එය පෙරවූයේ ගමනක් යන අවස්ථාවක පමණි. මේ දෙදෙනා ම සැදැහැ ඇත්තෝ ය. දිනක් සැවැත්නුවර ධර්ම දේශනා පින්කමක් විය. දෙදෙනාටම පෙරවීමට ඇත්තේ එකම උතුරුසළුව බැවින් බැමිණිය දවල් බණ ඇසීමට ගියා ය. බමුණා රාත්‍රියේ බණ ඇසීමට ගියේ ය. දහම් ඇසූ බමුණා අපමණ පී‍්‍රතියට පත් විය. එහෙත් ධර්ම දේශනාවසානයෙහි පූජා කිරීමට කිසිවක් නොවූයෙන් දුකට පත්වුණි. කල්පනාකාරී වූ බමුණාට තමන් පොරවා සිටින සළුව හෝ පූජා කරන්නට සිත් වුණි. එහෙත් තමන්ටත්, බිරිඳටත්, ගෙදරින් පිටත යන කල පෙරවීමට ඇති මේ එකම සළුව පූජා කරන්නේ කෙසේ දැයි සිතා පසුබට විණි.

එහෙත් සැදැහැ සිත බලවත් වන්නේ නැවතද සළුව පූජා කරන්නෙමි'යි සිත් ඇත්තේ එලෙස කිහිප අවස්ථාවක ම ලෝභී සිත හා නිර්ලෝභී සිතිවිලි අතර සටනක යෙදෙන්නට බමුණාට සිදු විය. අවසානයේ දීමෙහි සිත ජය ගත්තේ ය. සළුව පූජා කොට දිනුවේ, දිනුවෙමි’යි තෙවරක් හඩනඟා කීයේ සිත පිනා ගිය සතුටිනි.

පිරිස් අතර දහම් ශ්‍රවණය කරමින් සිටි කොසොල් රජු මේ බමුණා පිළිබඳ විමසා “දුප්පතෙක් වුව ද මොහු කළ පිනක මහිම” යැයි පවසා ඒ චුල්ලේකසාටක බමුණාට බොහෝ ධන ධාන්‍යාදිය ලැබෙන්නට සැලැස්වීය.

මේ පිළිබඳ සංඝයා වහන්සේ ධර්ම ශාලාවෙහි කළ සාකච්ඡාව නිමිති කොට කුසල් කිරීමෙහි යුහුසුළු ව අකුසලයෙහි සිත වළකාගත යුතු බවත්, පින් කිරීමට අලස වන්නාගේ සිත පවෙහි ඇලෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

මේ වෙසක් සමයේ දීමෙහි ඇළුණු සිත තව තවත් වර්ධනය කරමින් පින් කුසල් රැස් කිරීමට වෙර දරමු.

වෙසක් අව අටවක

මැයි 20 අඟහරුවාදා පූ.භා 05.53 අව අටවක ලබා 21 බදාදා පූ.භා. 04.57න් ගෙවේ.
20 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]