මරණයේ බිය බිඳ හළ කුලුණු ගුණයක මහිමය
උදම්මිට ධම්මානන්ද හිමි
නිදහස් භාරතයේ ප්‍රථම අග්‍රාමාත්‍යවර ජවහර්ලාල් නේරුතුමා වරෙක අනුරාධපුරයේ මහමෙව්නා
උයනට පැමිණියේ ය.
එහි වූ සමාධි පිළිම වහන්සේ දැක මවිතයට පත් වූ මෙතුමා ඉන් අසීමිත සැනසීමක් ලැබූහ.
සැදැහැයෙන් යුතු අමුතු හැඟීමකින් තම සිත පැහැර ගැනීමට මේ පිළිම වහන්සේ සමත් වූ බව
ද, අතිශය පහන් බවක් මේ බුදුරුව තම සිතට ගෙනදුන් බව ද පැවසීම අතිශයෝක්තියක් නොවන
බැව් ශ්‍රී නේරුතුමා සිය ජීවන සිදුවීම් ලියූ පොතේ සටහන් කර තැබුවේ ය. ලංකාවේ
මිතුරකුගෙන් ලද සමාධි පිළිමයේ රුව ඩෙහරාඩුන් සිරිමැදිරියේ දේශපාලන සිරකරුවකු ලෙස
කල්ගෙවද්දී ඔහු තම නෙත ගැටෙන සේ තබා ගත්තේ ය. හදේ දුක් දොම්නස්, කලකිරීම් ඉවතහැර
ධෛර්යය, සැනසීම හා අධිෂ්ඨානය තමා වෙත ලබා දීමට මේ බුදුපිළිමයෙහි වූ උපශාන්ත බව
උපකාරවත් වූ බැව් එතුමා තවදුරටත් සඳහන් කළහ.
බුදුරදුන් දිවමන් ව වැඩ සිටි සමයේ සැවැත්නුවර අදින්න පුබ්බක මසුරු බමුණුතුමා තමාගේ
පාණ්ඩු රෝගයට පිළියම් නොයෙදුවේ ඉන් තම වස්තුව, සම්පත ක්ෂය වන නිසාවෙනි. රෝගය
උත්සන්න ව, නුදුරේම තම පුුතු මරණයට පත්වන බැව් නියත ලෙස දත් මසුරු බමුණා රෝගී
මට්ටකුණ්ඩලී ගෙපිළෙහි ඇඳක් තබා ඒ මත නිදි කරවූවේ ය. එයැම මට්ටකුණ්ඩලී හට භාග්‍යය
ගෙන දුන්නේ ය. ඔහු ලෙඩ ඇඳේ හිඳ කඳුළු සලද්දී අදින්නපුබ්බක පියාණන් ඉවත බලාගත්ත ද
තිලොව මෙත් කුලුණු බුදුපියාණෝ ගව් ගණන් මඟ ගෙවා මට්ටකුණ්ඩලිගේ භව ගමන සුවපත් කරන්නට
බමුණු ගෙදර මිදුලට වැඩමවූ සේක.
සව්සත සනසා ලූ කරුණාවේ මූර්තිය - තිලොව මෙත් මුදිතා ධාරාව අදහාගත නොහැකි ලෙසින්
මට්ටකුණ්ඩලී නෙත් මානයේ මිහිකත සනහ සනහා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ද, අසූවක්
අනුව්‍යංජනයන්ගෙන් ද, බැබැළි බැබැළී වැඩ සිටියේ ය. අසමාන බුදු අසිරිය දැකීමෙන් පිනා
ගිය සිතින් බලවත් චිත්ත ප්‍රසාදයෙන්, මට්ටකුණ්ඩලීහු නිදා පිබිදියාක් මෙන් මිය පරලොව
ගියෝ තව්තිසා දිව්‍යභවනේ දිව්‍ය විමානයක දිව් සෙනඟ පිරිවරා දිව්‍ය පුත්‍රයකු ව
උපන්නාහ. ඉන් දින කිහිපයකට පසුව බමුණු නිවෙසේ දී බුදු පාමොක් මහ සඟනට දුන් දාන
පුණ්‍යකර්මයට සැපැත් මට කොඬුල් දෙව්පුත්හු බුදු බණ අසා නිවන් මඟ තිර ලෙස ම විවර කර
ගත්තෝ ය. සෝවාන් ඵලයෙහි පිහිටියෝ ය. බුදු අසිරියෙන්, දෙව් අසිරි ලද මට්ටකුණ්ඩලී
කතාව දැනගත් බමුණු නිවෙසට ආ අන් බමුණෝ ද බුදුගුණ මහිමයෙන් මවිතයට පත්වූහ.
කළුවර මහ රැයක සීතල මළමිනියකට බැඳුණු පුංචි දරුවෙක් භීතියෙන් වෙව්ලමින්, විලාප
නඟමින් කෑ මොර දුන්නේ ය. දුෂ්ට සුළු පියාගේ කෲරකම්වලට බඳුන් ව සත්හැවිරිදි සෝපාක
දරුවා එලෙස නඟන අඳෙීනා බුදුසවනත වැකුණි. බුදුපියාණන් වහන්සේ අසරණ සෝපාක සොයා සොහොනට
වැඩම කළහ. තමා සොයමින් විහාරයට පැමිණි මෑණියන්ට බුදු සමිඳු දෙසූ බණ අසා සත්
හැවිරිදි පුංචි සෝපාක නිවන් දුටුවේ ය. රහතන් වහන්සේ නමක් වූයේ ය.
එදා කොසොල් රජුගේ පුරෝහිත බමුණාගේ පුත් අහිංසක කුමරුවෝ දිසාපාමොක් ඇදුරුතුමන් සෙවණේ
ශබ්ද ශාස්ත්‍ර ප්‍රගුණ කළෝ ය. ඉගෙනීමේ බුහුටිකම් නිසා ගුරු හද දිනූ කුමරුවෝ අන්
සිසුනගේ ඊර්ෂ්‍යාවට පාත්‍ර වූවෝ ය. ගුරුවරයා හා සිසුවා බිඳීමට දිසාපාමොක් ඇදුරු
බිරිය හා අහිංසකයා අතර නො මනා මිත්‍ර සන්තවයක් ඇතැයි කියා සෙස්සෝ ඇදුරුතුමන්ට ගතු
කීහ. ඉන් කෝපයට පත් ඇදුරුතුමාණෝ අහිංසකගේ විනාශය පතා උපායශීලී ව ඔහු නසන්නට “දහසක
ඇඟිලි මාලාවෙන්” ගුරු පූජා නියම කළෝ අනෙකකු ලවා අහිංසකගේ නැසීම දකිනු රිසියෙනි.
අපමණ ගුරු බැතින් ගුරු උපදෙස සිතට ගත් අහිංසක කුමරුවා මිනිසුන් මර මරා ඇඟිලි මාලයට
ඇඟිලි එකතු කළේ ය. ප්‍රචණ්ඩ ව හැසිරෙන මිනීමරු අංගුලිමාල ජීවග්‍රහණයෙන් ගැනීමට
කොසොල් රජු සේනාව යැව්වෝ ය.
ඊට පළමු බුදුරදහු අඟුල්මල් සොයා කැලෑවට වැඩිසේක් මව් මරා ඇඟිලි ගැනීමෙන්, නොමඟ ගිය
කුමරුවා නිරා දුකට පත්වීම වළකනු පිණිසයැ. එසඳ අංගුලිමාලයෝ බුදුරදුන් හඹා ලුහුබැන්දෝ
ඔහු අරමුණ ඉටුකර ගැනීමට යැ. එහෙත් බුදුරදුන්ගේ " මම නැවතී සිටිමි. ඔබ ද නවතින්න” යන
කාරුණික බුදුවදන ඔහුට ප්‍රකෘති සිහිය ගෙන දුන්නේ ය. චණ්ඩ අංගුලිමාල බුදුරදුන් ළඟ
වැඳ වැටුණි. අසීමිත කරුණා මහිමයෙන් නිවන් මඟට වන්හ.
සැවැත්නුවර සිටු දුවක් සිටුගෙදර මෙහෙකරු හා හාද වී රහසින් පැනගොස් ඔහු හා දිවි
ගෙව්වා ය. දෙවන දරුවා ලැබීමට ආසන්න ව මව්පිය රැකවරණ පතා ගැබ්බර සිටු දියණිය තම කුඩා
පුතු සමඟින් සැවැත්නුවර බලා පිටත් වූවා ය. අතරමඟ දී තමා හා දරුවා සොයා පැමිණි
සැමියා මොවුනට හමුවුණි. මහ මඟදී ම ඇය දරුවකු වැදුවා ය. ඇදහැලුණු ධාරානිපාත වැස්සෙන්
දරුවන් හා බිරිය රැකීමට ඔහු අවට වූ කැලෑ රොදට වහාදිව ගියේ කොළ අතු රැගෙන ඒමටයි.
එහෙත් පසුදා පහන් වන තුරුම ඔහු පැමිණියේ නැත. එහි වූ නාගයකු දෂ්ට කිරීමෙන් ඔහු
මියගොස් තිබුණි. ස්වාමි වියෝගයෙන් කඳුළු සල සලා මව්පිය සිටුගෙදරට පිය මනින
සිටුදියණිට ගං තෙරකින් එතෙර වීමට තිබුණි. එහිදී ගිජුලිහිණියෙක් කිරිකැටි දරුවා
ඩැහැගත්තේ ය. අනෙක් දරුවා ජලපහරට වැටී මරුමුවට පත් වුණි. ස්වාමි පුරුෂයා ද,
දෙදරුවන් ද අහිමිවැ හදේ දුක් ගිනි මව්පියනට කියා සැනසෙන්නට සිටුදියණිය හඬ හඬා
සිටුගෙදරට පිය මැන්නා ය. අතරමග දී නුවර වැසියකුග් කථාබහින් අකුණු සැරක් වැදුණාක්
මෙන් ඇගේ හදවත වේදනාවෙන් පුපුරන්නට විය. ඊයේ රාත්‍රියේ ඇදහැලුණු අනෝරා වැස්සේ
අකුණක් වැදීමෙන් සිටුමැදුර ගිනිගෙන බිමට සමතලා වූ බවත්, ඊට යටවී මව්පිය දෙපළ ද,
සොයුරා ද මියගිය බවත්, අහසට නැඟෙන දුමාරය ඔවුන් දැවෙන සොහොනින් නික්මෙන බවත් අත
දිගුකර පෙන්වමින් නුවරවැසියා සිටු දියණියට පවසා සිටියේ ය. පි‍්‍රය විප්‍රයෝගයෙන්
උමතු වූ ඇය සිහිසුන් ව ඇඳිවත පවා නොමැති ව දුවන්නට වූවා ය. නිරුවතින් දුවන උමතු කතට
ඇතැම් නුවර වැසියෝ ගල්මුල් ගැසූහ. එළවූහ. සිහි නැති පටාචාරා ජේතවනාරාමයට දිවගොස්
බුදුපාමුල වැටී පියවි සිහි ලද්දී බවදුක නසා සිව්පිළිසිඹියාපත් රහත් උත්තමාවියක්
වූවා ය.
සිය ප්‍රාණසම එකම දරුවාගේ වියෝව දරාගත නොහැකි වූ සැවැත්නුවර කිසාගෝතමිය මළ දරුවාගේ
මෘතදේහය කරපින්නා ගෙන තැන තැන ඇවිදිමින් අසීමිත දරු පෙමින් ඇය දරුවාට බෙහෙත් සෙව්වා
ය. බුදුපියාණන් වහන්සේ කරුණාවෙන් ඇය අමතා දරුවාගේ ලෙඩට බෙහෙත් වදාළේ අබ මිටක් ගෙන
එන ලෙස දන්වමිනි. පසුව එය නොමළ ගෙයකින් විය යුතු බවත් බුදුරදහු දැන්වූහ. ගෝතමිය
වීථියෙහි ගෙයක් ගෙයක් පාසා ගොස් අබ සෙව්ව ද නොමළ ගෙයක් නොවීය. මෙලෙස මඟ ඇවිදින
ගෝතමියට කාරණාව අවබෝධ වුණි. මළ දරුවා කැරකොප්පුවට දමා ඇය නැවත ජේතවනාරාමයට පිය
මැන්නා ය. නැඟණියනි! අබ ලැබුණා දැයි බුදුරදුහු විමසූහ. අබවලින් පළක් නැත. ස්වාමීනි,
කාරණය දැනගතිමි’යි කීවා ය. මෙලොව සැවොම මරණයේ සැඩ පහරට හසුවන බවත්, ඉන් මිදෙන අයකු
ලොව නැති බවත් දත් කිසාගෝතමිය මෙහෙණි අරමක බවුන් වඩා මරණ දුක ද සසර දුක ද හැර රහත්
මෙහෙණියක් වූවා ය.
ඉහත වූයේ මහා සමුදුර සේ ගැඹුරු බුදු කරුණාවෙන් ජල අංශුවකටත් අල්ප නිදසුන් කිහිපයකි.
ඒ වුව බුදුගුණ අනුගමනයට උත්සුක කවරකුට වුව සෑහේ. සැබෑවට ම කරුණාබර හදවත මුළු ලොවට ම
අමිල ශාන්තියක් ගෙන දෙයි. |