අසූ කෝටියක් ධනය පැරදූ
සද්ධා ධනය
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අතීතයේ බරණැස් නුවර සිටු කුලයක උපත ලැබුවා අපගේ බෝසතාණන් වහන්සේ. අලුත උපන් මේ
කුමාරයා රන්වන් පාටින් බබළනවා. මව්පියෝ බබළන ලස්සන මේ දරුවාට ‘චුල්ලබෝධි‘ කියලා නම්
තැබුවා.
දඹදිව ඒ වන විට කීර්තියට පත් එකම අධ්‍යාපන ආයතනය වුණේ තක්ෂිලා නුවර දිසාපාමොක්
ආචාරීන්ගේ අධ්‍යාපන ආයතනය යි. කුමාරයාත් අනෙක් ශිෂ්‍යයන් සමඟ ඉතා උනන්දුවෙන් එහි
අධ්‍යයන කටයුතු කළා. තරුණ වසසේ දී ම සියලු ශිල්ප නිමා කරලා නැවතත් සිටු මාලිගයට
පැමිණියා. මව්පියන්ගේ ඊළඟ අපේක්ෂාව වුණේ ගුණ යහපත් කුමාරිකාවක් හොයලා තරුණ පුතාට
විවාහ කරදීමයි. චුල්ලබෝධි කුමාරයා කැමැති කුමාරිකාවන් පිළිබඳ ව විමසා බැලුවා. ඒ හැම
අවස්ථාවක ම මව්පියන්ට කියා සිටියේ ‘මට විවාහයෙන් වැඩක් නෑ. මට පැවිද්දට යන්න ඉඩ
දෙන්න‘කියලා. අවසානයේ මව්පියන් සතුටු කරන්න අවශ්‍ය නිසා විවාහයකට කැමැති වෙන්න සිදු
වුණා. චුල්ලබෝධි කුමාරයාට විවාහ කර දුන්න තරුණිය දිව්‍යාංගනාවක් වගේ ලස්සනයි. එයට
හේතු වෙලා තිබුණේ ඇගේ ගුණධර්මයි. ඇයටත් විවාහ වෙන්න සිදු වෙලා තියෙන්නේ මව්පියන්ගේ
කැමැත්ත නිසා. වෙනම මාලිගාවක්, වෙනම යාන වාහන, නිවසට අවශ්‍ය කාම සම්පත් විඳීන්න ඕන
කරන හැම සම්පත් ම ලබා දුන්නා. සුවපහසු ජීවිතයකට අවශ්‍ය පියවර ගත්තා. ධනය පවරා
දුන්නා. මේ විදිහට කාලයක් යනකොට මව්පියන් මිය ගියා. මව්පියන් මිය යන තෙක් ම මේ
දෙදෙනා මධුසමය ගත කිරීමක් තබා දෙදෙනා අතර රාගික සිතින් බැලීම් මාත්‍රයක්වත් හෙලුවේ
නෑ. දෙදෙනා අතර කල්‍යාණ මිත්‍ර සම්බන්ධයක් පවත්වා ගෙන යමින් බඹසර හැසුරුණා. දවසක්
චුල්ලබෝධි කුමාරයා මෙහෙම හිතුවා.
 ‘මම මව්පියන් සතුටින් තැබුවා. ඒ අයට අවශ්‍ය යුතුකම් සහ වගකීම් ඉටු කළා. මම දැන්
බොහෝම නිදහස්. විවාහයට පෙර ඇති වෙලා තිබුණු අදහසට දැන් හොඳම කාලය ඇවිත් තියෙනවා.
බිරිඳ සමග කතා කරලා පිළියමක් යොදා ගන්න ඕන“ යි තීරණය කරගෙන පසු දින බිරිඳ නිදහසේ
ඉන්න වෙලාවක් බලලා චුල්ලබෝධි කුමාරයා මෙහෙම කිව්වා.
‘සොඳුර, අපට හිමිවෙලා තියෙන ධනය දැන් අසූ කෝටියකටත් වැඩියි. සේවක සේවිකාවන්, යාන
වාහන ආදී හැම සම්පත් ම තියෙනවා. මේවා භුක්ති විඳීමින් ඔයා සැප සේ ජීවත් වෙන්න. මම
හිමාලයට යනවා පැවිදි වෙන්න. මට මගේ ජීවිතයට අර්ථ සිද්ධියක් කර ගන්න ඕන‘යි කියා
සිටියා.
ඒ වෙලාවේ බිරිඳ කියනවා ‘ස්වාමිනි, ඔබ වහන්සේට මේ සම්පත් අලුයම විසි කරන කෙළ පිඬක්
වගේ නම්, එසේ විසි කරන මේ සම්පත් මම ගන්නේ නෑ. මටත් මේ වස්තු සම්පත්වලින් වැඩක් නෑ.
මටත් පැවිද්දට අවසර දෙන්න‘යි ඉල්ලා සිටිනවා. ඒකට චුල්ලබෝධි කුමාරයාගේ කැමැත්ත හිමි
වෙනවා. දෙදෙනා ම කතා කරගෙන සිටු මාලිගා, යාන වාහන, අසූකෝටියකට අධික ධනය ආදී
සියල්ලක් ම දුප්පතුන්ට දන් දීලා පැවිදි වෙස් අරගෙන හිමාලයට යන්න ගියා. දස වසරක් ම
හිමාලයේ තාපස ජීවිතය ගත කළා. දවසක් නුවරට පැමිණියා ආහාරයට අවශ්‍ය ලුණු ඇඹුල් ආදිය
අරගෙන යන්න. නුවර ඇවිත් නිදහසේ ඉන්න තියෙන එකම තැන තමයි රාජ උද්‍යානය. උයන්පල්ලාගේ
කැමැත්ත
ඇතිව එතැන නවාතැන් ගත්තා. පසු දින රජතුමා පිරිවරින් ඇවිත් උයන දැකලා සතුටට පත්
වුණා. ඒ අතරේ ඈත කෙළවරක තාපස යුවළ ඉන්නවා දැකලා එතැනට ගොඩවුණා. තාපසිකාව නම්
දෙවඟනක් වගේ ලස්සනයි. රජතුමාගේ කාමාශාව වැඩි වුණා. ළඟට ම ගිහින් තාපසයාගෙන් අහනවා
‘මේ තාපසිය ඔබගේ කවුරුද? ‘කියලා, ‘මගේ ගිහි කල බිරිඳ‘ දැන් තවුස් ජීවිතයක් ගත
කරනවා‘යි උත්තර දුන්නා. ‘තාපසය, නුඹගේ තාපසිකාව
බලෙන් පැහැරගෙන ගියොත් නුඹ මොකද කරන්නේ? නුඹට තරහක් එන්නේ නැද්ද?‘යි විමසා සිටියා.
තරහ එන්න පුළුවන්. තරහ ඇති වෙන්නේ නෑ‘යි කියන්න බෑ. ඒ කෝපය අනුන්ට නො දැනෙන්න අඩු
කර ගන්න ඕන‘යි උත්තර දුන්නා.
රජතුමා ඒ කතාව අහලා තාපසකම හොඳට පුරුදු පුහුණු කරලා ද කියලා බලන්නත්, තමන්ගේ
කාමාශාව වෙනුවෙනුත් ‘තාපසිය“ රාජමාලිගයට අරගෙන යන්න රාජ පුරුෂයන්ට නියෝග කළා. ඇය
විලාප තියද්දීම රාජ පුරුෂයන් ඇදගෙන යන්න පටන් ගත්තා. චුල්ලබෝධි තාපසතුමා ඇය දෙස
හැරිලා බලලා නිහඬ වුණා. වචනයක්වත් මුවින් පිට කළේ නෑ. තරහ ගත්තේ නෑ. තාපසයාගේ
මුහුණු දෙස බලමින් ම රජ්ජුරුවෝත් එතැනින් පිටත් වී යන්න ගියා. මාලිගයට ගිය රජතුමා
‘පෙම්බරිය නුඹ මගේ දහසය දහසක් තරම් වන අන්තඞපුරයට අගමෙහෙසිය වෙන්න‘යි ඉල්ලා සිටියා.
අගබිසෝකමෙන් මට වැඩක් නෑ. මට යන්න ඉඩ දෙන්න‘ යි කුමරියගේ ඉල්ලීම වුණා. කාමරයකට දමා
වසා තැබුවා. ඒත් ඇය වෙනස් වුණේ නෑ. රජතුමා පසු දින තනියම උයනට ගියා. යන කොට
තාපසතුමා පරණ සිවුරක ඉරුණු තැනක් ගෙත්තම් කරනවා දැක්කා. සද්ද නොකරම පිටුපසින් ගොස්
සමීපයේ පෙනී සිටියා. ඒත් තාපසතුමා බැලුවේ නෑ. හැරුණේ වත් නෑ. ඒ නිසා ඉදිරියෙන් පෙනී
සිටියා. ඒත් හැරුණේවත්, බැලුවේ වත් නෑ. එතකොට අහනවා ඔබට කෝප යන්නේ නෑ කිව්වා. දැන්
මොකද මේ කෝප අරගෙනයි’ කියලා. මෙතෙක් වේලා ඔබ සමීපයේ හිටියත් ඔබ මට කතා කළේ නෑ. මා
දිහා බැලුවේ නෑ. එසේ කරන්නේ කෝපයෙන් නේදැයි ඇහුවා.
‘රජතුමනි, මගේ හිතේ කෝපය උපන්නා, ඒත් මම එය ගින්නට වතුර දමන්නා සේ සිංසිඳුවා ගත්තා.
රජතුමනි, කෝපය නම් ලීදඬු දෙකක් අතුල්ලලා ගින්නක් මතු කර ගන්නවා වගේ වැඩක් දෙදෙනෙක්
අතර කෝප ගැනීම දෙදෙනාගේ ම විනාශයට හේතුවක්. ඒක පීඩාකාරී දෙයක්. එය නිවා දැමිය යුතු
දෙයක්‘යි රජතුමාට ධර්මානුශාසනා කළා.
තාපසිකාව අරගෙන ගියත් මේ තාපසයා මා කෙරෙහි කෝප ගත්තේ නෑ ‘යි පැහැදී තාපසිකාව නැවතත්
බාරදී උයනේ වාසය කරන්නට ආරාධනා කරලා, ඇප උපස්ථාන කරමින් පෝෂණය කළ බවත්, තාපසිකාවගේ
මරණින් පසු තාපසතුමා හිමාලයට ගිහින් භාවනා කරලා පංචාභිඤ්ඤා අෂ්ට සමාපත්ති උපදවාගෙන
මරණින් පස්සේ බඹලොව උපත ලැබූ බවත් ජාතක පොතේ චුල්ලබෝධි ජාතකයේ සඳහන් වෙනවා. තමන්ට
කොතරම් වටිනා දෙයක් වුණත්, තමා කෙරෙහි කොපමණ අපවාද, දෝෂ පැමිණියත් කෝප ගන්න එපා.
කෝපයෙන් තමනුත්, තමන්ව කෝපයට පත් කළ පාර්ශ්වයත් යන දෙපිරිස ම විනාශයටත්,
අපකීර්තියටත් පත් වෙනවා. ඒ වගේම පරලොව දුගතියට පත් වෙනවා.
කෝප නො ගන්නා අයගේ ශරීරය හා මුහුණු රන්වන් පාටින් බබළනවා. ඔහු ව හෝ ඇය ව හෝ දකින
අයට නැවත නැවතත් දකින්න හිතෙනවා. ඒ නිසා මෛත්‍රී සිතින් ම, ඉවසීමෙන් ම තම ජීවිතය ගත
කරන්න පුරුදු වෙන්න. එයයි යහපත් ජීවිතයකට කියා දෙන සම්බුද්ධ දේශනාව. එයයි ජීවිතයේ
අර්ථවත් භාවය. |