සම්බුදු තෙමඟුල සිහි කර සැදැහෙන
පිළිවෙත් සපුරා ලබමු නිවන් සුව
ශාස්ත්‍රපති
දෑරංගල මංගල නාහිමි
දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දී එදා සුමේධ නම් වන තාපසතුමා විවරණ ලැබීය. එය ඈත
අතීතයේ සිදුවීමක්. එතරම් කාලයක් පාරමිතා පිරුවේ අප බෝසතාණන් වහන්සේ ම ය.
මේ කාලවකවානුව තුළ උන්වහන්සේ පිළිබඳ සිදු වූ සියලු උපතක් ම බෝසත් උපතකි. ඒ සියල්ල
බෝසත් කෙනකුගේ උපත් වන බැවිණි. විශේෂයෙන් බෝසත් උපත ලෙස ව්‍යවහාර කරන්නේ සිදුහත්
කුමරුගේ උපතයි. බුදු බව ලැබීමට අදාළ පාරමිතා සම්පූර්ණ කොට ලැබුව උපත එය නිසාත්,
බෝසතාණන් වහන්සේ සසරෙහි ලැබු අවසාන උපත නිසාත් මෙය විශේෂීත කොට සලකනු ලැබේ.
එවකට ශාක්‍ය වංශික රාජ්‍යයක් වූ කපිල වස්තුවේ රජ කළ සුද්ධෝදන රජුගේ වැඩිමහලු පුත්‍ර
රත්නය ලෙස මහාමායා දේවිය කුසින් සිදුහත් කුමරු බිහිවූයේ මේ වෙසක් පුන් පෝ දිනයේ ය.
තුසිත දෙව්ලොවින් චුත ව මහාමායා දේවියගේ කුසට පිවිසිය බව මජ්ක්‍ධිම නිකායේ
අච්චරියධම්ම සූත්‍රයෙහි වදාළ සේක.
ඒ සිදුවීම මහාමායා දේවිය සිහිනෙන් දැක ඇත. සුදු ඇත්පැටවකු සුදු නෙළුම් මලක් සිය
සොඬයෙන් දරාගෙන තමාගේ කුසට ඇතුළු වන සිහිනයක් දුටු බවයි.
විශ්වයේ එක්තැනක සිදුවන දෙයක් සුළු වශයෙන් හෝ සෑමතැනට ම දැනෙන බව නූතන විද්‍යාඥයන්
ද හෙළි කර ඇත. එහෙත් එම පැතිරීම ඒවායේ ස්වභාවය අනුව විවිධ වේ. බුද්ධත්වයට සුදුසුකම්
සපුරා උපන් සිදුහත් කුමරුගේ උපතෙහි ද විවිධ සිදුවීම් ඇති බව සඳහන් වෙයි. දරු ගැබ
මේරීමෙන් පසුව සිය මවුපියන්ගේ නිවෙසට මහාමායා දේවිය කැඳවා ගෙන යන අතර, ලුම්බිණි සල්
උයනේ දී දරු උපත සිදු විය.
කලාතුරකින් ලොවට පහළවන බුදුරදුන්ගේ උපත උන්වහන්සේගේ ඉගැන්වීම් අගය කරන ජනයා
මංගල්‍යයක් ලෙස සලකති. මංගල්‍යය නම් යහපතකි. විවාහ වීම, ගෙයකට පිවිසීම, අභිෂේක
ලැබීම වැනි මඟුල්වලින් ඇති වන බලය සීමිත ය. ස්වල්ප කාලීන ය. බුදු බව ලැබීමෙන් ලොවට
සිදුවන යහපත අසීමිත ය. දිගුකල් පවතින්නක් ද වේ. එහෙයින් මෙය පළමුවන බුදු මඟුල ලෙස
සලකා තිබේ.
අතරමඟ දී දරු උපත සිදු වූ නිසා ආපසු සැමියාගේ මාලිගයට කැඳවා ගෙන එනු ලැබුව මහාමායා
දේවිය නොබෝ දිනකින් අභාවප්‍රාප්ත වූවා ය. එකල රජ පවුල්වල පැවැති සිරිතට අනුව
සුද්ධෝදන රජතුමා මහාමායා දේවියගේ බාල සොහොයුරිය මහා ප්‍රජාපතී කුමරිය විවාහ කර
ගත්තේ ය. මහාමායා දේවිය අභාවප්‍රාප්ත වන විට ප්‍රජාපතී දේවිය දරු ගැබක් දරා සිටියා
ය. නන්ද කුමරු නමින් පසු කලෙක පැවිදි වූයේ එම කුමාරයාය. එහෙයින් මහාමායා දේවිය
පරලොව සැපත් වුව ද දරුවන් දෙදෙනාට ම කිරි පෙවීමට ඇය සමත් වූවා ය.
රජ ගෙදර සැපෙන් වැඩෙමින් ශිල්ප ඉගෙන නිසි පරිදි යශෝධරා කුමරිය සමඟ විවාහ වුව ද
සිදුහත් කුමරු සිටියේ ගිහිගෙයි ඇල්මක් නැතිව ය. කාමාශාවන් මඬිමින් නෙක්ඛම්ම
පාරමිතාව පුරා නිම කළ කෙනකුට රජ සැපතෙහි හෝ කාමයෙහි හෝ සිත ඇලීමක් සිදුවීම කිසිසේත්
ම සිදුවිය නොහැක්කකි. එහෙත් සිරිතට අනුව පුතකු උපදින තෙක් ගිහිගෙයි විසූ සිදුහත්
කුමරු මවුපියන්ගේ හැඬීම නොසලකා ගිහිගෙයින් නික්ම ගියහ. තමා නැසෙන සුළු තත්ත්වයක
සිටිමින් නැසෙන සුළු දේ ළගා කර ගැනීමට සිතීම අනුවණකමක් යි සිතූ තමන් වහන්සේ නැසීම
නතර කිරීමේ මඟක් සොයා පිටත්වූ බව උන්වහන්සේ දේශනා කර තිබේ.
අශ්වයකු පිට නැඟී දකුණු දෙසට ගමන් කර ගංගා නම් ගඟෙන් එතෙර වී මගධයට පැමිණි
උන්වහන්සේ පැවිදි වෙස් දරාගෙන එවකට ශාස්තෘවරුන් ලෙස නම් දරා සිටි ආලාරකාලාම හා
උද්දකරාම යන තවසුන්ගේ අතැවැසියකු ලෙස ද සුළු කාලයක් ගත කර ඇත. එහෙත් ඔවුන්ගේ
ඉගැන්වීම්වල තමන් සොයා ආ දේ නොතිබුණූ නිසා ඔවුන් හැර ගොස් තනිව ම පර්යේෂණයෙහි
යෙදුණූ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවල යෙදුනු සේක.
මහාසීහනාද සූත්‍රයේ සඳහන් වන පරිදි එම කාලයෙහි නො විඳපු දුකක් නැතැයි, මැරෙමින් හා
උපදිමින් සසර සැරිසරන්නේ ආශාව නිසා බව තේරුම්ගත් උන්වහන්සේ ආශා කරන සැප ලබා ගෙන
විඳීමෙන් ආශාව නැති කළ හැකි දැයි විමසූ කල උන්වහන්සේට පෙනී ගියේ එසේ කිරීම ගින්න
නිවීමට පිදුරුගොඩ ගැසීම වැන්නක් බවයි.
ආශා කරන දේ සම්පූර්ණයෙන් ම නොදී නවතාලීමෙන් ආශාව නතර කළ හැකි බව දැඩිව පරීක්ෂා කරන
උන්වහන්සේ ශරීරයට දැනෙන බඩගින්න පවා නොසලකා හැර ඇත. තද ශීත කාලයේ රාත්‍රියේ එළිමහනේ
හා දහවල් කාලයේ ගස් යටට ගොස් සෙවණේ ගතකර ඇත. එහිදීි උන්වහන්සේ වටහා ගත්තේ සීතල
වැඩිතරමට උණුසුමට ආශාව වැඩිවන බවයි. පිපාසය වැඩිවන තරමට වතුරට ආශාව වැඩි වන්නා සේ
ශරීරයට, දුක් දීම ද ආශාව වැඩි කිරීමක් බව සැලකූ උන්වහන්සේ ශරීරයට සැප දීම වන
කාමසුඛල්ලිකානුයෝගය ද, දුක්දීම වූ අත්තකිලමතානුයෝගය ද යන දෙකම අතහැර මධ්‍යම
ප්‍රතිපදාව අනුගමනය කළහ.
වයස විසි නවයේ දී රජ සැප අත්හැර වන ගත වූ බෝසතාණන් වහන්සේ එතැන් සිට ගත කළ
සාවුරුද්ද ම රජගහනුවර සිට උරුවේලා දනව්ව තෙක් විහිදී ඇති කඳුවැටියේ ගතකර ඇත.
උරුවේලාවෙහි නේරඤ්ජනා නදී තීරයෙහි වැඩී තිබුණූ බෝධි මූලයෙහි වැඩ සිටිමින් සියලු
කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ මේ වෙසක් පුන් පෝ දිනයේ දී ය.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පසුව බුද්ධාන්තරයක් ම සැඟවී තිබුණු බුදු බව ලොවට
හෙළි වූ දිනය ලොවට මඟුල් දිනයක් විය. මේ දෙවන බුදු මඟුල යි.
තමන් වහන්සේ ලබා ගත් සත්‍යාවබෝධය අන් අයට ලබා දීම උන්වහන්සේගේ තෙවන පියවර විය. සති
කිහිපයක් බෝරුක මුල ගත කළ උන්වහන්සේ පළමුව දහම් දෙසීමට තෝරා ගත්තේ පස්වග මහණුන්
වහන්සේ ය.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්දෙනා ආඪ්‍ය වූ බමුණු පවුල්වල
උපන් බුද්ධිමත් අය වූහ. සසර කලකිරී ගිහිගෙය හැර දමා සත්‍යය සොයමින් වනගත ව සිටි මේ
පස්දෙනා බුදුරදුන් දුෂ්කර ක්‍රියා කරන කාලයේ උන්වහන්සේට උපස්ථාන ද කළහ. එම කාලයේ දී
එම පස්දෙනාගේ අවංක භාවයත්, බුද්ධියත් දැන සිටි නිසා පළමුවරට දහම් දෙසීමට උන්වහන්සේ
ඔවුන් තෝරා ගත්හ. එම පස්දෙනා සොයා වැඩම කළ අපගේ ශාස්තෘන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ
කර ගත් සත්‍යය දේශනා කළහ. මෙහිදී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ නමුත් එක නමක්වත්
එයින් පූර්ණ සත්‍යාවබෝධය ලබා ගැනීමට සමත් වූයේ නැත. එයින් එක නමක් පමණක් “යමක
හටගැනීමක් තිබේ නම් එය නැතිවී යාම ද ඒකාන්තය” යන සත්‍යය අවබෝධ කර ගත්තේ පසුවදා
අනන්ත ලක්ඛන සූත්‍රය ඇසීමෙනි.
අප මෙලොව උපන්නේ මක් නිසා ද, මරණින් පසු අපට සිදුවන්නේ කුමක්ද? සුගතියේ ඉපදීමට
සැපෙන් ජීවත්වීමට කුමක් කළ යුතු ද, දුක්බර ජීවිතවලට යන්නේ කුමක් නිසා ද, සසරෙහි අප
මැරෙමින් හා උපදිමින් සැරිසරන්නේ කුමක් නිසා ද? මෙම ඉපදීම නතර කරන්නේ කෙසේ ද, ගත
කරන ජීවිතය සැනසිල්ලෙන් ගතකරන්නේ කෙසේ ද යන කරුණු පිරිසුදුව නිවැරැදි ලෙස දේශනා කළ
සේක. අසූවයසක් ගිය පසු උන්වහන්සේ කුසිනාරා නුවර සමීපයෙහි උපවර්තන සල් උයනෙහි සැතපී
පිරිනිවන් පෑ සේක. තුන්වන බුදු මඟුල මෙය වේ. |