[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ඉසුරුබර අනාගතයකට සවිමත් පදනම් තනන පොරණ හෙළ දරුවන්ගේ අමිල ඉගැන්වීම්

කාලය කා දැමීම, අරුත් සුන් කථාව ජාතියේ නස්පැත්තියට - පරිහානියට හේතුවෙයි. ද්වේශයෙන් රත්වී මෝහයෙන් මුළා වී එකිනෙකාට දොස් පරොස් නගන, කවට, මුසා බස් කියන කාලයේ නිස්කාරණ අල්ලාප සල්ලාපයට යොදන වේලාව තුළ තම වත්තපිටිය සරුපල යුතු තුරු ගොමු ඇති අලංකාර ගෙවත්තක් කර ගැනීමට කෙනකු වෙහෙසෙයි නම්, එදිනෙදා පරිභෝජන වියදම ඉන් පිරිමසා ගත හැකි වෙයි. කුඩා භූමි ප්‍රමාණයක වුව කරපිංචා ගසක්, රණවරා ගසක්, දෙහි, ඉඟුරු, කහ, මිරිස් පැළ කිහිපයක් කංකුං, මුගුණුවැන්න, ගොටුකොළ පලා වර්ග කිහිපයක්, හාතවාරිය, පොල්පලා, කෝමාරිකා, අක්කපාන ආදී ඖෂධ පැළ ටිකක් වවා ගැනීම අසීරු නොවෙයි. හිත ඇත්නම් පත කුඩාද? කීවා සේ වුවමනාව, ඕනෑකම උත්සාහය ඇති කල බඳුන්වල වුව ඉඩපහසුවේ හැටියට මෙම කටයුතු කළ හැකි ය. එදා බත් ගස ලෙස හැඳින් වූ කොස්ගස මිනිස් කුසගිනි පමණක් නොව මදුළු ගෙන ඉවත ලන කොස්කට්ට එදා අපේ ඇත්තෝ කරුණාබර හදවතින් ලෝකයාට පස්ගෝරස දන්දෙන කිරි එළදෙනට ලබා දුන්හ. කොස් කොළ, එළු, ගව සත්වයනට ආහාරයකි. එසේම මධුමේහය වැනි රෝගාබාධයනට ද කොස් කොළ යෝග්‍යය. ඉදුණු වැල වරකා පෝෂ්‍යදායක මිහිරි පලතුරකි. විවිධ මාදිලියෙන් සකසා රසවත් ව්‍යාංඤ්ජනයක් ලෙස ආහාරයට ගත හැකි කොස් ඉඩ ඇති පරිද්දෙන් ගෙවත්තක වවා ගැනීමට ඥානවන්ත හෙළයා ක්‍රියා කළහ. පෙරකී පරිදිම රම්පෙ, කරපිංචා, ඉඟුරු, කහ, මිරිස් ද, ගස්ලබු, කෙසෙල් ද ගෙවත්තක පිළිවෙළට වවා ගැනීමෙන් ගෙවත්තේ අලංකාරයට ද, සශ්‍රීක බවට ද ගතේ සිතේ නිරෝගී බවට මෙන්ම පවුලේ ආර්ථික නිරෝගිතාවට ද මහෝපකාරී වෙයි. ගහකොළ වැවීමට කෙනකු දරන වෑයම සතා සීපාවාගේ ද හිත පිණිස පවතියි. පලබර, මල්බර තුරු ඇති පියදසුන හාත්පස සුන්දර කරයි. විඩාබර මිනිස් සිත පුබුදා සුව සහනය ගෙනඑයි. එනිසා මේ බැව් හොඳින් දැන සියලු දුක්ඛ දෝමනස්සයන් අකා මකා දමමින් කාලය නොමරා නැති නාස්ති නොකොට උත්සාහයෙන් වීර්යයෙන් වැඩ කිරීම බුද්ධිමතාගේ සිරිතයි. පැහැබර හෙටක් වෙනුවෙන් හෙතෙම අලස නොවී ක්‍රියා කරයි. එම යහදැක්ම අවබෝධය හා අධිෂ්ඨානශීලී කැපවීම, සිරිලක් රන් දෙරණේ දොරින් දොර රන් උල්පත් පාදා ගැනීමට මැනවින් පිහිටාධාර වෙයි.


නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]