[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුම ා- 58 කොටස: දුටුගැමුණු රජතුමා අසරු සේනාවට පළා යන්නට අණ කරයි

දුටුගැමුණු මහ රජතුමා - 58 කොටස:

දුටුගැමුණු රජතුමා අසරු සේනාවට පළා යන්නට අණ කරයි

“හොඳයි. තොප ඉක්මනින් එන්නට ඕනෑ. රජතුමා පැමිණි විට අපත් මාළිගාවට යාමට අදහස් කරන නිසා”

“හොඳමයි. මාහිමිපාණෙනි, ඔවුන් පැමිණ සිටියහොත් අඩහෝරාවක් ඇතුළත මෙහි එන්නෙමු.”

මාහිමියන් වැඳ උපතිස්ස බණ්ඩාර සිලාපස්ස පිරිවෙනෙන් පිටත් වූයේ සැකයෙන් යුතුව ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කපටියකු වන මොහු කෙරෙහි විශ්වාසය තැබිය යුතුද?

සිරිනාග දෙස තීක්ෂණ ව බැලූ මහාසිව මාහිමියෝ ඔහු පිළිබඳ සැකයක් මතු කළහ.

“සිරිනාග, තොප දස දහසක බල සේනාංකයක් ගෙන දිගාමඩුල්ලට පැමිණ තිස්ස කුමාරයාට ජය අත්කර දුන්නා. මෙය තොප කෙරෙහි අප තැබූ විශ්වාසය බිඳ වැටීමට හේතුවක් වුණා.”

සැබෑවයි. මාහිමිපාණන් වහන්ස, ආවේ කැමැත්තකින් නොවෙයි. එළාර මහ රජතුමා බල කළා. මිත්‍ර මහ සෙනෙවිගේ පුත්‍රයකු ලෙස පෙනී සිටියේ මගේ ආරක්ෂාවට, ඒත් සටනක් ඇති වුණා නම් අපේ සේනාංකය කරන්නේ පලායෑම පමණයි.”

“තොප ඒ ගැන එම බළ සේනාංකයට ඉඟියක් දී තිබුණාද?

එසේය මාහිමිපාණන් වහන්ස, විහාරමහා දේවියගේත් කැමැත්ත යුද්ධය නොවෙයි. අපට දීඝාභය සෙනෙවිතුමා උපදෙස් දුන්නේ මව් බිසොවගේ කැමැත්ත අනුව කටයුතු කරන්නයි. ඒ නිසා තොප නමට පමණක් යුද්ධයට එකතු වුණාම ඇති”යි මම ඔවුනට කීවා.

“තොප සැබෑවටම තිස්ස කුමාරයාට සේවය කළා.”

“නැහැ. එසේ හැඟෙව්වා පමණයි”

බළ සේනාවේ මුලටම ආවේ මම. චූලංගණියේ දී දුටුගැමුණු රජතුමා අසරු සේනාවක් සමඟ අප ඉදිරියට ආවා. සටනක් ඇති නොවන බව මම තේරුම් ගත්තා. මම අපේ බල සේනාංක සීරුවෙන් තැබුවා.”

දුටුගැමුණු රජතුමා අසරු සේනාවට පලා යන්නට අණ කළා. තවත් එක් අසරුවකු සමඟ ඉදිරියට ආවා. තිස්ස කුමාරයා ඉදිරියට ආවේ එයින් පසුවයි. රජතුමා සිය සගයාත් සමඟ පලා ගියා. තිස්ස කුමාරයා එතුමා ලුහු බඳින්නට පටන් ගත්තා. මහ රහතන් වහන්සේලා ඉදිරි මඟ වඩිනු දැක හැරී ආවා.”

“ඉතින් ඒකයි ජයග්‍රහණය. ඒත් අනුරාධපුරයට වාර්තා වුණේ සිවුරඟ සෙනා පිරිවරා පැමිණි දුටුගැමුණු රජුගේ පරාජයට සිරිනාග මහ සෙනෙවියාගේ සටන් වික්‍රමය හේතු වූ බවයි.”

‘එසේය මාහිමිපාණන් වහන්ස, ඒ නිසා මට වාසි රැසක් අත්පත් කර ගන්නට හැකි වුණා. කාගේත් විශ්වාසය තහවුරු වීම තමයි ලොකුම වාසිය. විහාර මහා දේවීන් වහන්සේ හඳුනා ගන්නට ලැබුණා. කතාබහ කරන්නට අවස්ථාව ලැබුණා. හිතවත් කමක් ඇතිකර ගත්තා.

තිස්ස කුමාරයාගේ විශ්වාසය දිනාගැනීම ඔහු ප්‍රවේශව සිටින වැරැදි මාර්ගය ගැන සිතන්නට සැලැස්වීම, සටනෙහි වීරයා වෙමින් උතුරු රාජ්‍යයේ ආරක්ෂක මහ සෙන්පතියා බවට පැමිණීම.

“එයින් තොප අදහස් කරන්නේ වඩාත් පහසුවෙන් ඔවුන් රවටා ගන්නට ඉඩ ලැබීම වුවත්, අපට කරන්නට අදහස් කරන සේවයට බාධා පැමිණෙනවා නේද?

බැලු බැල්මට මටත් එසේ සිතෙනවා. නමුත් දැන් යොදා ඇති සැලසුම් අනුව එම වැඩ කොටස සාර්ථකව කෙරේවි.

මගේ පියා බෝධිනාග දැන් මිත්‍ර මහ සෙනෙවිතුමාගේ තානායමේ භාරකරු, අයිතිකරු . එහි දැන් ස්ත්‍රී ධූර්ත කිසිවෙක් නෑ. කුඩා සම්මන්ත්‍රණ ශාලාවක් තිබෙනවා. ඇතැම් විට දීඝනාග පවා රහස් සාකච්ඡා පැවැත්වීමට එතැන යොදා ගන්නවා. එමගින් අපට බොහෝ දේ දැනගන්නට පුළුවන්.

“තොප දෙවන වර ආවේත් කැමැත්තකින් නොවෙයි. උපතිස්සගේ ආරක්ෂක සේනාංකයට මැදි වුණෙත් වුවමනාවෙන්මයි”

“ආවේ කැමැත්තෙන්. මා අකමැති වුණා නම් එන්නේ විජිතපුර සෙනෙවි උපතිස්ස. එයින් විය හැකි හානිය සලකා එන්නට කැමැති වුණා. එහෙත් සිංහල ආරක්ෂක භටයන් අතට අසු වූයේ වුවමනාවෙන්මයි.

“එයින් තොප අදහස් කළේ කුමක්ද?

“තිස්ස කුමාරයාට ආරම්භයේදී ම බාධාවක් ඇති කිරීම. උතුරෙන් ආ විසිදහසක පමණ වූ සේනාංකයට නායකත්වයක් නැති කිරීම, එමඟින් ඔවුන් දුර්මුඛ කිරීම.

“හොඳයි මීළඟට තොප අදහස් කරන්නේ කුමක්ද? තොපට යළිත් එළාර රජු වෙතට යන්නට බැහැ නොවේද? දිගාමඩුල්ලට තොප කැටුව ආ විසිදහසම දුටුගැමුණු සේනාංකයට ඇතුළත් වීම තොපට සමාවක් නොලැබෙන වරදක් වේවි.”

“අපේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට නම් මා සිටිය යුත්තේ උතුරේයි. මාහිමිපාණන් වහන්ස”

“ඒ සඳහා තොප කුමක් කළ යුතු ද?”

එළාර මහ රජතුමා වෙත හෝ දීඝජන්තු මහ සෙනෙවිතුමා වෙත රහස් පතක් යැවීමයි. එය මට කළ හැකියි. මාගම රජයෙන් දූතයකු යැවීම උත්තර මහ ඇමතිතුමා විසින් කෙරෙන්නට ඕනෑ”

“මිත්‍ර මහ සෙනෙවිගේ පුත් නොහොත් සිරිනාග මහ සෙනෙවි අපේ අත්අඩංගුවට පත්ව සිටී. ඔහු දේශද්‍රෝහියකු ලෙස සලකා මරණීය දණ්ඩනය හිමි කොට ඇත. අපේ අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව ඔහු බේරා ගැනීමට නම්, අනුරාධපුරයෙහි චරපුරුෂ චෝදනාව යටතේ සිරගත කොට ඇති සියලු දෙනාම නිදහස් කොට, කසාතොටින් මෙතෙර උපතිස්ස බණ්ඩාර සෙනෙවිට භාරදිය යුතුයි. අපේ දූතයා පැමිණ තෙදිනක් ඇතුළත එම ප්‍රතිචාරය නොදැක්වුව හොත් නියමිත දඬුවම සිරිනාග මහ සෙනෙවිට ලැබෙනු ඇත.”

නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]