[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කොළමුන්නේ ලොකු හාමුදුරුවෝ

කොළමුන්න, ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරාධිපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ ගල්ගොඩ ශ්‍රී මහාවිහාර පාර්ශ්වයේ උපප්‍රධාන සංඝනායක, ශාසන කීර්ති ශ්‍රී ගෞරවාර්හ කොළමුන්නේ ශ්‍රී සුමනවංසාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේ නමකි.

අපේ සුමනවංස නා හිමියන් යම් කාර්යයක් ආරම්භ කරන්නේ පරිපූර්ණ වශයෙන් අවසන් කිරීමේ සැලසුම ඇතිව ය. එබැවින් උන්වහන්සේ වේලාවට වැඩ කිරීමෙන් පමණක් නොව ‘විධිමත් සැලැස්මක් යටතේ ඇරඹූ කටයුත්ත නිමා කළ යුතු ය’ යන ආදර්ශය ද තම ආශි‍්‍රතයන්ට ලබා දෙයි. කොළමුන්න විහාරස්ථානයේ ඉපැරැණි ධර්මශාලාව ඉවත් කර, දර්ශනීය නව ධර්මශාලා මන්දිරයක් ඉදිකිරීමේ සුවිසල් කාර්යභාරය උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය සහ සැලසුමකට වැඩ කිරීමේ ප්‍රතිඵලයකි.

අටලෝ දහමින් කම්පා නොවීම උන්වහන්සේ තුළ මා දුටු තවත් සුවිශිෂ්ට ගුණාංගයකි. අධිෂ්ඨානශීලිත්වයත් ස්ථිරසාර ය. ශක්තිමත් ය. නොසෙල්වෙන සුළු ය.

අපේ සුමනවංස නායක හාමුදුරුවන් වහන්සේ සිය ශිෂ්‍යවරයන් වහන්සේලා ඇති දැඩි කරන්නේ පිය සෙනෙහසිනි. තමන්ට වඩා, තමන්ගේ ශිෂ්‍යයන් දැන උගත්කම් ඇති කරගෙන ශාසනික, සාමාජික, අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ඉටුකරන විශිෂ්ට සේවාවන් දැක කොළමුන්නේ ලොකු හාමුදුරුවන් වහන්සේ නිහඬව ම විඳින්නේ අප්‍රමාණ සතුටකි. කොළමුන්න ශ්‍රී බිම්බාරාම විහාරාධිකාරී, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති, අපේ කල්‍යාණ මිත්‍ර ශාස්ත්‍රපති කිංචිගුණේ චන්දවිමල හිමියන් ඇතුළු ශිෂ්‍යවරයන් වහන්සේලාට විහාරස්ථානයේ වගකීම් පවරා, ඒ ශිෂ්‍යයන්ගේ සාර්ථකත්වය දැක ආශිර්වාද කරන ශ්‍රේෂ්ඨ ආචාර්යයන් වහන්සේ නමක ලෙස මම උන්වහන්සේ අතිශයින්ම අගය කරමි.

කොළමුන්න, ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරාධිපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ ගල්ගොඩ ශ්‍රී මහාවිහාර පාර්ශ්වයේ උපප්‍රධාන සංඝනායක, ශාසන කීර්ති ශ්‍රී ගෞරවාර්හ කොළමුන්නේ ශ්‍රී සුමනවංසාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආයුරාරෝග්‍ය සම්පත්තිය ද චිරජීවනය ද සැලසේවා.

****

ගෝනදුවේ ගුණානන්ද නා හිමි⁣පාණෝ ශාසන සේවා කීර්ති පරියත්ති විශාරද ගෞරව නාමයෙන් පිදුම් ලබති

1956 වසරේ උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත්ව,1963 වසරේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්වූ,අපේ පින්වත් අතිපූජ්‍ය ගෝනදුවේ ගුණානන්ද නා හිමියෝ 65 වසරක් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් තම දිවිය කැප කළ අති උදාර සංඝ පීතෘන් වහන්සේ නමකි.

මහා විහාර වංශික ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්තෘ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි සරණංකර මහා ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 136ක් ගත වීම නිමිති කරගෙන ,සම්බුද්ධ ශාසන චිරස්ථිතිය වෙනුවෙන් ජීවිත නිරපේක්ෂව, උන්වහන්සේ විසින් සිදු කරන ලද උදාරතර ආගමික හා සමාජ සේවාවන් අනුස්මරණය කොට වර්තමාන භික්ෂු සමාජයට ශාසන චිරස්ථිතිය සඳහා අදාළ හැඟීම් හා අධිෂ්ඨාන ජනිත කරලීම අරමුණු කොටගෙන , පසුගිය දා බත්තරමුල්ල තලංගම අපේ ගම ජනකලා ශ්‍රවණාගාරයේදී පැවැති ආදි කර්තෘ ගුණානුස්මරණ දිනයේ දී ශාසන සේවා කීර්ති පරියත්ති විශාරද ගෞරව නාමයෙන් උන්වහන්සේ පිදුම් ලැබූහ.

දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන්ම තම ජීවිතයෙහි වැඩි කොටසක් ම කැප කළ අප පින්වත් නා හිමියෝ , තමන් වහන්සේට ලැබුණ බොහෝ දේ කැප කරමින් මේ රටෙහි දුවා දරුවන් සදාචාර සම්පන්න හා ගුණ ගරුක විනයවත් දරු පිරිසක් බවට පත් කොට ගුණ යහපත් පිරිසක් බවට පත් කිරීමට දැරූ වෑයම අති මහත් ය.

1982 වසරේ සිට දහම් පාසල් සිසු සිසුවියන⁣ට නොමිලේ දහම් පොත පත ලබා දීම, දිස්ත්‍රික් දහම් පාසල් අරමුදල හඳුන්වා දීම,දහම් පාසල් ගුරු පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම, දහම් පාසල් සතියක් ක්‍රියාත්මක කිරීම,දහම් පාසල් කොඩි දිනයක් හඳුන්වා දී ඉන් ලැබෙන ප්‍රතිපාදන සමස්ත දහම් පාසල් පද්ධතියේම වැඩ කටයුතුවලට යෙදවීම,”දහම් සරසවියක්”ආරම්භ කොට දහම් පාසල් ගුරුභවතුනට වසර දෙකක ඉතා සාර්ථක පුහුණුවක් ලබා දී ජාත්‍යන්තර පිළිගනු ලබන උපාධියක් දක්වා උසස් අධ්‍යාපනය ලබා ගෙන , ගෞරවාදරයට පත් වු දහම් ගුරුභවතුන් හැටියට තම සේවාව සිදු කරගෙන යාමට දහම් පාසල් ගුරුවරුනට ශක්තිය ලබා දීම, සසුනෙන් සෙවණ වැඩ සටහන යට⁣තේ පැවිදි වන කුල දරුවන්ගේ දෙමාපියන⁣ට නිවාස ලබා දෙන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, උන් වහන්⁣සේගෙන් සිදු වු ප්‍රධාන සේවාවන් අතර වේ.

දහම් පාසල් සඳහා පමණක් නොව ජාතික හා සමාජයීය වශයෙන් ද උන්වහන්සේ විසින් සිදු කරන ලද සේවාවන් අපට අමතක කළ හැකි නොවේ.

මත් ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම,අන්‍ය ආගම්කරණයට එරෙහි වීම පෙරටු කරගෙන අභීතව සටන් වැදුණහ.

ගෝනදුවේ ගුණානන්ද නා හිමියන් වහන්සේ විසින් එදා මෙදා දක්වා සිදු කළ ජාතික ආගමික හා සමාජමය සේවාවන් අගය කළ ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අති ගෞරවාර්හ මාහිමිපාණන් වහන්සේ පුමුඛ කාරක සංඝ සභාව විසින් “සිරි මහ විහාර වංසාලංකාර සද්ධර්ම වාගීස්වරාචාර්ය ශීු සුමනතිස්ස ගෞරව නාම සම්මුතිය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරය ප්‍රදානය කරන ලදී.

උන් වහන්සේ විසින්, රටේ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නඟාසිටුවීමට සිදු කරන ලද අති උදාර සේවාවන් ඇගයීමට ලක් කළ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභාව විසින් උන් වහන්සේ වෙත, “ශාසන සේවා කීර්ති පරියත්ති විසාරද”යන ගෞරව නාමය රාමඤ්ඤ මහා නිකායේ , අතිපූජ්‍ය මහා නායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශී‍්‍ර විමල මහා නායක හිමිපාණන් වහන්සේ විසින් මහා සංඝයා වහන්සේ පෙරටු කර ගත් විශේෂ උත්සවයක දී ,ගෞරව සම්ප්‍රයුක්තව පිළිගන්වන ලදී.

නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]