[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කව

නිවීම

නොදැන කෙළවර සසර දිගු ගමනකි නොනැවතුණු
රාග ද්වේෂ මෝහ පිරී ඉතිරුණු හිත්ය හැමතැන විසිරුණු
පොදි ගැසුව කෙලෙස් කඳු දිනෙන් දින ඉහළ නැඟුණු
තාවකාලික දිවියට සැප මිස අනිත්‍ය නොවැටහේ නිරතුරු

අඳුරු කුටියක දැල්වෙනා පහනකි හුදකලාවේ
ආලෝකයෙන් දැවි දැවි නිවී යයි නිදහසේ
සොයා යාමට සැනසුම කාලයේ වැලි මං තලාවේ
නිවීමට අතහැරිය යුතු ය සැම දේ මේ භවේ

සුපසන් ව සිත නිවා නොපතා නිරතුරු මතු භවය
සැම සතට විමුක්තිය ලැබ දේ නිරාමිසය
එකම මඟක අරමුණ සිත නොවෙනස් වීමය
නොවැටහුණු නමුදු සැමට නිවන යනු නිවීමය

****

බුදුහිමි වඳිමි

පාරමි පුරන ලද
මරු පරදවන ලද
සදහම් දෙසන ලද
බුදුහිමි ගනිමි වැඳ

****

ගුණ දම් පුරමු

බිහිසුණු ලෙඩ දුකින් මුලු ලොව වෙළී ඇත
නිම් නැති ලෙස සිරුරු පොළොවට යටව ඇත
පෙරත් මේ වගේ දුක්ගිනි දම් සිසිලෙන් නිවී ඇත
අදත් හැම දුකට දහමින් විසඳුම් ලැබෙනු ඇත

ඊර්ෂ්‍යා ක්‍රෝධ මද මානය හදවත් තුළ රන්දා
මිනිසා නොමිනිස්ව වැජඹෙයි සදහට ඉන්නටදෝ මන්දා
අයුක්තිය අසාධාරණයට තම ගත සිත බන්දා
වැජඹෙනු බලා සොබාදහමත් විරසක විය මෙදා

ආගම් භේදයෙන් තොර කාටත් පන්සිල්වල බලය
ඒ තුළ රැඳී ඇත දයා කරුණා මෙත් ගුණය
සතා සිව්පාවා ගහකොළ වෙත නොපෑවොත් හද තුළ ඒ ගුණය
ගොනා පසුපස ඇදෙන රෝදය මෙන් පෙළයි කළ කම්වල පලය

****

දැවෙන භව කතර

දුලබ මනු ලොව
උතුම් මව් කුස පසිඳුරන් එළිය කර
මනෝකය දවට ගෙන
ලැබ සෙනෙහෙ මා පිය

වඩා උස් මනස
දස මස නිමා කර
මනු ලොව සිරි විඳිනට
දෙදෙනකුට මා පියව

පෙර සසරේ පිනට..........
සුභ තත්පරයකින්
නිමව වේලා පත්කඩ
කර්ම රැස පොදි බැඳ

නෙත් කදුළු වගුරගෙන
වී මිනිස් සිරුරක්
බිහි වූ දා ලෙයින්
රුහිරු බිඳු කිරි රසේ

හයිය වී මුදු මොළොක් ගත
ලෙන්ගතු නමකි සුරතල්
මගෙ රන් පුත මැණික
ගලන සිතිවිලි ගඟක

ඉඳුරන් දිවෙන
සොයා දුර මාවත
විඳින්නට දහම
කුසල අකුසල...........

ළමා තුරුණු විය
දැනුම් මඟ නිමා කර
හැඩකර උතුම් සිත
දිවෙන නිසි කල

පළඳවා සළු පිළි මනා
සොයා රන් හුය
කුමර කුමරිය
දරු සෙනෙහෙ පිරිමදින

නිමා දැක මැදිවිය
ළඟා වී මහලු විය
පවට මිස පිනට නැත
බැඳී සෝදා සිත් මල

දරා සිත වැළපෙන
නියත මිහිමත
කඩා ඇද වැටෙන
සසර ගමනේ දිනෙක

සොයා යළි සසර මඟ
“ගිනිගෙන දැවෙන....”

****

දුක දුරලමු

නැවතුණ තැන ඉඳන් හිරු හිනැහෙනවා
දුදන දනා හිරුගේ වටේ හනික දුවනවා
එළිය අඳුර පින් පව් ලෙස හඹා ඇදෙනවා
මෙතේ බුදුන් දක්නට උවැසියො පෙරුම් පුරනවා

ගෞතම හිමි දෙසූ දහම අමා
සන්දිට්ඨිකයි අකාලිකයි දනිමි මෙමා
අරි අට මඟ නොදැන යන ගමනකි පමා
දම් කඳ දැක කරගනු සසර දුක නිමා

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]