[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉසුරුබර අනාගතයකට සවිමත් පදනම් තනන පොරණ හෙළ දරුවන්ගේ අමිල ඉගැන්වීම්

ඉසුරුබර අනාගතයකට සවිමත් පදනම් තනන පොරණ හෙළ දරුවන්ගේ අමිල ඉගැන්වීම්

ගොයම් කළ යුතු කාලයේ නොවපුරා අස්වනු නෙළන කල අහසට දෙඅත් එසැවීම කම්මැළියාගේ සිරිතයි. අනෙකාගේ යස ඉසුරට සුසුම් නොහෙළා උත්සාහයෙන් වීර්යයෙන් ක්‍රියා කිරීමෙන් මෙලොව දියුණුවට ද, පරලොව සුගතියට ද, බුදු, පසේ බුදු, මහරහත් බවින් සව් කෙලෙස් නසා නිවනට මඟ පාදා ගැනීමට ද අවස්ථාව උදාවෙයි.

කාලය කා දැමීම, අරුත් සුන් කථාව ජාතියේ නස්පැත්තියට - පරිහානියට හේතුවෙයි. ද්වේශයෙන් රත්වී මෝහයෙන් මුළා වී එකිනෙකාට දොස් පරොස් නගන, කවට, මුසා බස් කියන කාලයේ නිස්කාරණ අල්ලාප සල්ලාපයට යොදන වේලාව තුළ තම වත්තපිටිය සරුපල යුතු තුරු ගොමු ඇති අලංකාර ගෙවත්තක් කර ගැනීමට කෙනකු වෙහෙසෙයි නම්, එදිනෙදා පරිභෝජන වියදම ඉන් පිරිමසා ගත හැකි වෙයි.

කුඩා භූමි ප්‍රමාණයක වුව කරපිංචා ගසක්, රණවරා ගසක්, දෙහි, ඉඟුරු, කහ, මිරිස් පැළ කිහිපයක් කංකුං, මුගුණුවැන්න, ගොටුකොළ පලා වර්ග කිහිපයක්, හාතවාරිය, පොල්පලා, කෝමාරිකා, අක්කපාන ආදී ඖෂධ පැළ ටිකක් වවා ගැනීම අසීරු නොවෙයි. හිත ඇත්නම් පත කුඩාද? කීවා සේ වුවමනාව, ඕනෑකම උත්සාහය ඇති කල බඳුන්වල වුව ඉඩපහසුවේ හැටියට මෙම කටයුතු කළ හැකි ය.

එදා බත් ගස ලෙස හැඳින් වූ කොස්ගස මිනිස් කුසගිනි පමණක් නොව මදුළු ගෙන ඉවත ලන කොස්කට්ට එදා අපේ ඇත්තෝ කරුණාබර හදවතින් ලෝකයාට පස්ගෝරස දන්දෙන කිරි එළදෙනට ලබා දුන්හ. කොස් කොළ, එළු, ගව සත්වයනට ආහාරයකි. එසේම මධුමේහය වැනි රෝගාබාධයනට ද කොස් කොළ යෝග්‍යය.

ඉදුණු වැල වරකා පෝෂ්‍යදායක මිහිරි පලතුරකි. විවිධ මාදිලියෙන් සකසා රසවත් ව්‍යාංඤ්ජනයක් ලෙස ආහාරයට ගත හැකි කොස් ඉඩ ඇති පරිද්දෙන් ගෙවත්තක වවා ගැනීමට ඥානවන්ත හෙළයා ක්‍රියා කළහ.

පෙරකී පරිදිම රම්පෙ, කරපිංචා, ඉඟුරු, කහ, මිරිස් ද, ගස්ලබු, කෙසෙල් ද ගෙවත්තක පිළිවෙළට වවා ගැනීමෙන් ගෙවත්තේ අලංකාරයට ද, සශ්‍රීක බවට ද ගතේ සිතේ නිරෝගී බවට මෙන්ම පවුලේ ආර්ථික නිරෝගිතාවට ද මහෝපකාරී වෙයි. ගහකොළ වැවීමට කෙනකු දරන වෑයම සතා සීපාවාගේ ද හිත පිණිස පවතියි.

පලබර, මල්බර තුරු ඇති පියදසුන හාත්පස සුන්දර කරයි. විඩාබර මිනිස් සිත පුබුදා සුව සහනය ගෙනඑයි. එනිසා මේ බැව් හොඳින් දැන සියලු දුක්ඛ දෝමනස්සයන් අකා මකා දමමින් කාලය නොමරා නැති නාස්ති නොකොට උත්සාහයෙන් වීර්යයෙන් වැඩ කිරීම බුද්ධිමතාගේ සිරිතයි. පැහැබර හෙටක් වෙනුවෙන් හෙතෙම අලස නොවී ක්‍රියා කරයි. එම යහදැක්ම අවබෝධය හා අධිෂ්ඨානශීලී කැපවීම, සිරිලක් රන් දෙරණේ දොරින් දොර රන් උල්පත් පාදා ගැනීමට මැනවින් පිහිටාධාර වෙයි.

අරුණ කිරණ මිහිමත වැටෙන්නට මත්තෙන් අවදිවන සියොත් සමූහයාගේ මිහිරි හඬ නාදය, කඩිසරවැ, අන්ලස්වැ දවස ඇරඹීමට අපට විධානයක් බඳු ය. හෝරා මාපක නොතිබූ එදා කාලයේ දී සැවුළා, කුකුළා, වේලාව කියාපාන්නට හඬලද්දී බොහෝ අය නිදිගැට පිස අවදිවූහ. නිදා පිබිදි තැන් පටන් පක්ෂි සමූහයා ද, කෘමි සතුන් මෙන්ම සිව්පා සත්වයෝ ද එදිනෙදා ඔවුනගේ කාර්යයන්හි සුපුරුදු පරිදි අවුල් වියවුලෙන් තොරව නිමග්න වෙති.

වනේ පුරා සොයා ගොසින් කෝටු ගෙනැවිත් අගේට කැදලි තනන්නට සියොත් කැළ වෙරදරති. මල් ගොමු කරා පියාසර කර මල්මී ගෙනැවිත් වද බඳින මීමැස්සා මී පැණි මහෞෂධය ලෝකයට තිළිණ කරයි. උදෑසන පටන් අඳුර වැටෙනතුරු මී මැස්සා ස්වකීය කාර්යභාරයේ අනලස්ව යෙදෙයි. කුඩා කුඹලා බෝල බෝල මැටි එක එක ගෙනැවිත් කුඹල්ගෙය බඳියි. පායන කාලයේ රෑ දවල් මහන්සි වී කන්ට දේ කුහුඹියා රැස් කරයි. වැසි වසින වර්ෂා කාලයේ දී ඌ තම නිවස්නට වී ආරක්ෂිතව තුටින් කල් ගෙවයි. කුඩා කුහුඹුවාගේ අනලස්බව, අනාගත සැලසුම ද දියුණු මනසැති අප තුළ පවතී දැයි ඇඟ බඩ කඳින් ලොකු මිනිසා කල්පනා කළ යුතු ය.

පුංචි වේයා තුඩින් තුඩ ගළපා මහා තුඹසක් නිර්මාණය කරයි. නොදන්නා අයකු මේ මහා තුඹසෙහි නිර්මාණකරු පුංචි වේයා දැයි මවිතයට පත්වෙයි. පක්ෂි ලොවැ දක්ෂතම නිමැවුම්කරු වූ වඩුකුරුල්ලා තනන, නිමවන දර්ශනීය වඩු කුරුලු කූඩුව ලොවක් විස්මිතයට පත් කරයි.

කොටන් අදින, බර ගෙන යන ගවයා, අලියා, විඩා නොතකා, බරයි නොකියා එම කටයුත්තේ දිගටම යෙදෙයි. හිස්, මුසා, පරුෂ බස් තෙපළමින් කාලය කාදැමීමක් මේ සතුන් තුළින් විද්‍යමාන නොවෙයි. උසස් මනසකට හිමිකම් කියන මිනිසා සිතුම් පැතුම් , ඇවැතුම් පැවැතුම් අතින් සැබැවින් ම උසස් දැයි සිතා බැලීම වටියි.

ගොයම් කළ යුතු කාලයේ නොවපුරා අස්වනු නෙළන කල අහසට දෙඅත් එසැවීම කම්මැළියාගේ සිරිතයි. අනෙකාගේ යස ඉසුරට සුසුම් නොහෙළා උත්සාහයෙන් වීර්යයෙන් ක්‍රියා කිරීමෙන් මෙලොව දියුණුවට ද, පරලොව සුගතියට ද, බුදු, පසේ බුදු, මහරහත් බවින් සව් කෙලෙස් නසා නිවනට මඟ පාදා ගැනීමට ද අවස්ථාව උදාවෙයි.

එදා මහ බෝසත්තුමා ස්වකීය මව්තුමිය සමඟ වෙළෙඳාම පිණිස නැව් ගමනක් යද්දී හාත්පසින් හමා ආ දැඩි කුණාටුවකින් නැව පෙරළී විනාශ විය. ගුණ බර මෑණියන්ගේ පණ කඳ මළකඳක් වන්නට නොදුන් මේ සූර වීර, ධීර තෙදබලැති අයෝමය පුරුෂ රත්නය දෙවි දේවතාවන්ගේ ද ආශිර්වාද ලබා උදම් රළ හා පොර බදිමින් මහ සයුර පීරා ගොඩබිම සොයා දින ගණනාවක් වෙරවීරියෙන් මව් තොමෝ කරපිට නංවා පිහිනූ අනුවේදනීය කතා පුවත බෞද්ධ අපට හුරුපුරුදු ය.

එබඳු ආකාරයෙන් කවර වූ හෝ දුකක්, කරදරයක්, බාධාවක්, දුෂ්කරතාවන් මැඩ පවත්වා පරීක්ෂාකාරී නුවණින් උට්ඨාන වීර්යයෙන් යුතුව සැපතකට පෙරළා ගත හැකි ආකාරයට මෙම කතා පුවත මනා දෘෂ්ටාන්තයකි.

සසර සැඩ පහරට හසුව අනන්ත දුක්ඛ දෝමනස්සයනට හසුවූ අනන්තාපරිමාණ සත්ව සංහතියකට නිවන් මඟ හෙළිපෙහෙළි කොට දී සදාකාලික සැපතක් උරුම කර දෙන්නට, මහ බෝසතාණන් වහන්සේ සම්බෝධිය පිණිස, සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක කලක් වීරිය පාරමි බුද්ධාංකුර ධර්මතාව පිරූසේක. පසේබුදු, මහරහත් උතුමන් ද වීරිය පාරමිතාව සපිරූ උතුමෝ වෙති. මෙබඳු උතුමන්ගේ උත්කෘෂ්ට වෑයම, දෘඪ වීර්යය ආදර්ශයට ගෙන ක්‍රියා කිරීම භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසේ ම වගකීමයි. එයින්ම බෞද්ධකම අරුත් ගැන්වෙයි.

එදා බෝ මැඩ සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ සම්මා සම්බෝධිය ලබා ගත්තේ ද, සසර පුරා පිරූ මහා වීර්යයක ප්‍රතිඵලයක් වශයෙනි. තිලොව උතුම් බුද්ධත්වය වීර්යයෙන් හීන වූවකුට ලබා ගැනීම තබා සිතා ගැනීමටත් උගහට ය. එබඳු උත්තරීතර අවබෝධයක් අත්පත් කරගත හැකි වන්නේ ද වීර්යවන්තයන්ටම යැ. සම්, මස්, ලේ, නහර, ඇට, වියළී ගිය ද සම්බෝධිය ලබා මිස මින් නොනැඟිටිමි ය යන චතුරංග සමන්වාගත වීර්යයෙන් යුතුවැ බුද්ධත්වය පතා අතිදීර්ඝ සසර පුරා පිරූ වීර්යයේ උත්කෘෂ්ට ප්‍රතිලාභය සිදුහත් බෝසතුන් සම්බෝධිය පසක්කර ගැනීම යැ. දේව බ්‍රහ්ම මිනිස් සැමට මෙලොව පරලොව සුබසෙත ද, පරම නිෂ්ඨාවෙන් සැනසීම ද, අත්වූයේ උන්වහන්සේ සසර පුරා පිරූ වීර්යයේ මහිමයෙනි.

නූපන් කුසල් උපදවා ගැනීම, උපන් කුසල් වැඩිදියුණු කර ගැනීම ද, නූපන් අකුසල් නූපදවා ගැනීම, උපන් අකුසල් දුරුකිරීමට ක්‍රියා කොට ආධ්‍යාත්මික බලයේ දොරගුළු විවර කර නිර්වාණාවබෝධය දක්වා නොපසුබට උත්සාහයෙන් වැඩ කිරීම දුක ජය ගැනීමේ මාවත, අපේක්ෂා කරන්නාගේ පිළිවෙතයැ.

එනිසා බුද්ධිමත් බෞද්ධයා ලෞකික දියුණුව උදෙසා ද, ලෝකෝත්තර සුවය සඳහා ද, යම් කටයුත්තක නිරත වේ ද එය වීර්යයෙන් ම අරඹයි. ආරම්භක ධාතු නම් මෙයයි.

ආරම්භ කළ කටයුත්ත නොනවත්වා වෙර වීරිය යොදා කම්මැළි, කුසීතකම් හැරදමා ඉදිරියටම පවත්වා ගෙන යාම නික්කම ධාතුවයි.

පැමිණෙන මුහුණපාන්නට සිදුවන කවර අභියෝගයක් හමුවේ වුව නොසැලී, නොපැරදී සියලු බාධා උවදුරු මැඩ අභිමතාර්ථ සාධනය දක්වා බලවත් සේ වෙර වීරිය යෙදීම පරක්කම ධාතුවයි.

එනිසාම සසර බැමි සිඳ දමා විමුක්ති සුව අරබයා ලෝකෝත්තර මඟට පිළිපන්වැ චිත්තාභ්‍යන්තර අභ්‍යාසයේ ව්‍යාවෘතවැ නිර්වාණධ්‍යාශයෙන්ම ක්‍රියා කරන බුද්ධිමත් පැවිද්දා අපමණ වෙර වීරිය දරා උට්ඨාන වීර්යයෙන් ක්‍රියා කොට උසස් ආධ්‍යාත්මික තලයන් ස්පර්ශ කිරීමට සමත් වෙයි.

ධනයෙන්, වස්තුවෙන් හීනයකු වුව බලවත් වීර්යයෙන් අධිෂ්ඨානශීලීව, අපේක්ෂා සහගතව ක්‍රියා කළහොත් සරුසාර ජීවිතයක මිහිරි පල බුක්ති විඳීමේ භාග්‍යය එබඳු අනලස් ශූර තැනැත්තාට උදාවෙයි. සත්‍ය ලෙසින් ම ගේ දොර, යාන, වාහන, හරක බාන ඇති සරුදිවිය මෙලොව සැපතට උත්සුක නොවන කම්මැළි අලසයා, උසස් ලොව්තුරු සැපය කෙලෙස අත්පත් කර ගනීද? එදා සාරිපුත්ත, මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ ද, මහා කාශ්‍යප, ආනන්ද, අනුරුද්ධ, සෝණ, රට්ඨපාල, රාහුල, බක්කුල මහරහත් උතුමන් වහන්සේ ද, දෑසට නිදි නොදී සයනයක පිට නොතබා වසර ගණනාවක් ම උතුම් රහත්ඵලය පිණිස තුන් ඉරියව්වෙන් පමණක් වීර්යයෙන් ක්‍රියා කළ ආකාරය සිහි කිරීමෙන් ආධ්‍යාත්මික විපුල පල අත්පත් කර ගැනීම පිණිස කෙසේ වෙර වීරීය වැඩිය යුතු ද යන්න සිතා ගැනීම දුෂ්කර නොවෙයි.

පුරාණ කාලයේ ආරණ්‍ය සේනාසනයක සක්මන් භාවනාවේ යෙදුණු පීතිමල්ල තෙරුන් වහන්සේ නොදැක මස් වැද්දකු වන මෘගයකුට එල්ල කළ හී පහරක් භාවනායෝගී තෙරුන් වහන්සේට වැදුණි. සැත සිරුර තුළටම කිඳා බැස්ස ද දැඩි වේදනාව පසෙකලා හීය ඉවත්කර තණපත්වලින් තුවාලය වසා ඉමහත් වීර්යයෙන් ශරීර වේදනාව අභිබවා යන ආධ්‍යාත්මික දියුණුව සොයා උන්වහන්සේ භාවනාවේ නිමග්න වූ සේක. මෙලෙස ගත් දැඩි උත්සාහයෙන් ම සව් කෙලෙස් නසා මහරහත් ඵලය අත්පත් කර ගත්හ.

දෙවනපෑතිස් රජ දවස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවීමෙන් මිස්සක පව්ව සිසාරා සිරිලක පැතිරුණු සදහම් ජීවවායුව ආඝ්‍රාණය කළ හෙළයෝ, සදහම් මී පානයෙන්, මෙලොව දියුණුව ද, පරලොව සුගතිය ද අත්පත් කර ගත්හ.

මහා මංගල ව්‍යග්ඝපජ්ජ, සිඟාලෝවාද, සූත්‍ර දේශනාවන්හි හරය, සාරය මැනවින් ග්‍රහණය කර තම දිවි පෙවෙත සකසා ගැනීමට අපේ මුතුන් මිත්තෝ ප්‍රඥා සම්පන්න වූහ.

එයම ලක්වැසියනගේ දෙලෝ සංවර්ධනයට ද, සමාජ ප්‍රගමනයට ද , දේශයේ සමෘද්ධියට ද ඉවහල් විය. දේශ දේශාන්තරයන්හි පතළ කිතුගොස් නංවමින් ද, පැරකුම් රජ දවස පෙරදිග ධාන්‍යාගාරය නමින් ලොවැ විකුම් පෑමට ද, ස්වයං පෝෂිත ජාතියක සාඩම්බරණීයත්වයෙන් ජගත් සම්මානනීයත්වයට පාත්‍රවීමට ද බුදුදහමේ ආලෝකය ද, ප්‍රඥාසම්පන්න හෙළයන්ගේ උට්ඨානවීර්යය ද මහෝපකාරී විය. උදාගිරිපව්වෙන් හිරු මිහිකත සිපගත් අරුණෝදයේ පටන් හිරු බැස යන ගොම්මන දක්වා ම අපේ ඇත්තෝ මහපොළොව හා හරිහරියට ක්‍රියාකාරී වැ දහඩිය වගුරුවා වැවේ දියවරින්, කෙතේ රන් අස්වනු පුබුදුවන්නට ඇපකැප වූහ. ඒ උතුම් ව්‍යායාමය මතුපරපුරට අනගිභවනීය දායාද ධන නිධාන, උරුම කරවීමට හේතු භූත විය.

රුහුණේ කුඹුරු සරුසාරයි එක හීයයි
මින්නේරියේ ජන පදයයි වෙල් යායයි
රජරට පළාතේ පමණක් වැව් සීයයි
මේවා බලන්නට මෙන් ඉරහඳ පායයි

කොළඹ යුගයේ දීප්තිමත් කවියකු වූ පී.බී.අල්විස් පෙරේරා ශූරීන් රචනා කළ මගේ රට පද්‍ය පන්තියෙන් එදා හෙළයන්ගේ අනලස් ජීවන ක්‍රියාදාමය මොනවට පිළිබිඹුවෙයි. සරුසාර කුඹුරු යායකින් රුහුණ පැහැගැන්වුණේ ද, මින්නේරියේ වෙල් ජනපද ඇතිවූයේ ද, රජරට පළාතේ වැව් සියගණන් ඉදිවී කෙතේ අස්වැන්න සරු කළේ ද, අනලස් හෙළයාගේ වෙර වීරියට පින්සිදුවන්නටයැ. පොරණ හෙළ දරුවන්ගේ සොඳුරු අතීත පාඩම්, අමිල ඉගැන්වීම්, ඉසුරුබර අනාගතයකට සවිමත් පදනමක් වෙයි. ඉගෙන කියාගන්නා දරුවකු වුවද මේ සොඳුරු අතීත යටගියාව උගෙන කොපමණ දුක් කම්කටොලු තිබුණ ද දුක් තැවුල් අකා මකා ‘දැන ඉගෙන ගත්කම තමයි කෙනෙකුගෙ වත්කම යැයි සිතා ගුණ නුවණින් යුතුවැ වෙරවීරියෙන් සුබ අනාගතයකට මඟ පාදා ගත යුතු ය.’

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල්ගිය රෙදි වැරලි ඇඳ දැලිකුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා

ඉදිරි වැඩ තකා අපේ ළමා පරපුර කෙසේ සකස්විය යුතු ද යන්න වදන් කවි පොතේ එන ඉහත කවිය පෙන්වාදෙයි. අපමණ දුෂ්කරතා වැරෙන් ජය ගන්නට අතිමහත් ජවයක් බලයක් මෙයින් උත්පාදනය වෙයි.

“ඉර උදාවන්නට
පළමුව නැඟිට සිහිකොට
අලසකම් දුරුකොට
කරන් වැඩ පළ දියුණු වන්නට”

සිරිත්මල්දම රචනා කළ ඇම්.ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් තුමාගේ ඉහත කවිය, ජාතියක් නඟන්නට, සවිමත් මතු පරපුරක් සදන්නට ජව සම්පන්න සමාජයකට මහාර්ඝ ඔවදනකි. මනා පෞරුෂයකින් හෙබි සවිබල ජාතියකට මනා පදනමකි.

දැවී අළු වී ගිය ද අළු මතින් යළි නැඟී සිටින ෆීනික්ස් පක්ෂියා ලෙසින් වැටුණ සැමවිටම අපි නැඟී සිටිමු. කුඩා කල ගතේ සමබර බවක් නොමැතිව දෙදණින් වැටුණු සැමවිටම අපි දෙපයින් නැගිට්ටෙමු. ඒ අතීත සොඳුරු අත්දැකීම් සිහිපත් කර දිවි ගමනේ වැටුණු හැමවිට යළි හනික නැගිටීමට උත්සාහ ගනිමු. එයැම අපේ දියුණුවයි. එලෙස නොපසුබස්නා වීර්යයෙන්, සිහියෙන් යුතුවැ තිදොරින් සංවරවැ ධාර්මිකව දිවි ගෙවන තැනැත්තා යසසින් වැඩෙන්නේ ය.

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති

නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]