[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

කර්මය හා එහි ස්වභාවය

පොසොන් මාසය අතීතයේ ලක්දිව සැණකෙළි පැවැත්වූ සමයකි. එකල පොහොය දිනය අතිශය උත්කර්ෂවත් දිනයක් විය. මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළේ බුද්ධ වර්ෂයෙන් 236 වර්ෂයේ පොසොන් මස පුරපසළොස්වක පොහෝ දිනයි. උන්වහන්සේ වැඩම කළ එම අවධියේ ලක්දිව රජ කළ දෙවනපෑතිස් රජතුමා හතළිස් දහසක් පමණ රටවැසියන් පිරිවරාගෙන මිස්සක පව්ව අසල මුව දඩයමෙහි සැරිසරමින් සිටියේ ය . රජතුමා දුටු මිහිඳු හිමියන් ඔහු සමඟ සුහද කතාබහක යෙදුණේ ය. තිස්ස රජතුමා බුදු දහම වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය නුවණක් හා තැන්පත් මනසක් ඇත්තකු බව මිහිඳු හිමියන්ට වැටහිණි.. ඔවුනොවුන් හඳුනා ගැනීමෙන් පසුව මිහිඳු හිමියෝ රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. මෙම සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ තෙරුවන් කෙරෙහි ප්‍රසාදයට පත්වන තැනැත්තකු ක්‍රමයෙන් කාය, වචී සංවරයෙහි පිහිටා චාරිත්‍ර වාරිත්‍ර සීලයන්හි හික්මී සැනසීම ලබන අන්දමයි. එසේ ම භික්ෂු ජීවිතයේ විවිධ අවස්ථා, බෞද්ධ දර්ශනයෙහි අග්‍රඵලය වූ අර්හත්වය, චතුරාර්ය සත්‍ය වැනි ප්‍රධාන ඉගැන්වීම් ද මෙහි අන්තර්ගත වේ. දෙවැනි දිනයේ රජ ගෙදරට වැඩි මිහිඳු හිමියන් දන් වළඳා අවසානයේ දී මාළිගාවට රැස්ව සිටි පිරිසට විමාන වත්ථුවෙන් හා පේතවත්ථුවෙන් කර්මය හා විපාකය පැහැදිලි කරමින් ධර්ම දේශනා පැවැත්විය. මෙම දේශනාවෙන් කළ කම්ඵල විඳිමින් දිව්‍ය ලෝකයෙහි හා පේ‍්‍රත ලෝකයෙහි වාසය කරන මිය ගිය ඥාතීන් ගැන විශේෂයෙන් විස්තර කොට ඇත. මිහිඳු හිමිගේ දම් දෙසුම් ඇසීමට මාළිගාවට පිවිසීමට අවසර නොලත් රටවැසියන් රජ පවුලට පමණක් ධර්ම ලාභය බෙදා ගැනීමට නොදී තමන්ට ද ධර්ම දේශනා කරන ලෙස හඬ නැඟීය. ඒ අනුව අධික පිරිසක් සිටි නිසා මිහිඳු හිමිට ධර්ම දේශනා කිරීමට ඇත්හල සූදානම් කර දුන්නේ ය. බණ ඇසීමට විශාල පිරිසක් පැමිණියහ. ඇත්හල ඉඩ මදි විය. නගරයෙන් බැහැර ව පිහිටි නන්දන උයන ද ධර්ම දේශනා කිරීමට සූදානම් කළේ ය. මිහිඳු හිමියන් රැස්ව සිටි පිරිසට දේශනා කළේ ඉතා වැදගත් අර්ථ ඇති සූත්‍රයන් ය. ප්‍රථමයෙන් දේශනා කළ දේවදූත සූත්‍රයෙන් උන්වහන්සේ කුසල අකුසල කර්මයන්හි විපාක පැහැදිලි කළ සේක. මෙයින් අදහස් කළේ පවෙහි ආදීනව කෙරෙහි බිය උපදවා මිනිසුන් පවින් වැළැක්වීමයි. ඊළඟට දේශනා කළ බාල පණ්ඩිත සූත්‍රයෙන් බාලයා හෙවත් අඥානයා තම අවිද්‍යාව නිසා පව් කොට මෙලොව පරලොව දෙකෙහි ම දුක් විඳින සැටිත්, අවිද්‍යාවෙන් මුලා නොවුණු පණ්ඩිතයා පාපයෙන් වැළකී කුසල් කොට දෙලොව සැපවිඳින අන්දමත් විස්තර කොට ඇත. මෙම දේශනා තුළින් මිහිඳු හිමියන් අපේක්ෂා කළේ අභිනව ශ්‍රාවක පිරිසගෙ ආධ්‍යාත්මික සංවර්ධනය යි.


පොසොන් අව අටවක

ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]