පොසොන් අව අටවක පෝ දා
2025-06-18
මායාවට නොරැවටෙමු
ඉපදීම දුකකි. නිවන් දකින තුරු ඒ දුකෙන් නිදහස් වීමට කිසිවකුට නො හැකි ය. අපි ඇසින්
රූප දකිමු. කනින් ශබ්ද අසමු. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කරමු. දිවෙන් රස විඳිමු.
කයෙන් මුදු මොළොක් ස්පර්ශ හා සිතෙන් අරමුණු ස්පර්ශ කරමු. එහිදී සුඛ - දුක්ඛ -
අදුක්ඛම සුඛ ලෙස වේදනා සකස් කර ගනිමු. ඒ නැවත ඉපදීමේ මගයි.
මම, මගේ, මම වෙමි, මේ මගේ ආත්මයයි ලෙස අල්ලා ගැනීම තුළ සත්ත්වයා බොහෝ කර්ම රැස්
කරයි. සම්බුදු දහමේ ඉගැන්වෙන්නේ අල්ලා නොගන්නා ලෙසයි. එහෙත් අවිද්‍යාවෙහි ගිලුණු
සත්ත්වයාට ඒ ධර්මාවවාදයෙහි වටිනාකම් නොතේරේ.
ඒ නිසා ම සසර දිගු කර ගන්නා අතරම විවිධ අකුසල කර්ම රැස් කර ගනිමින් අපමණ දුක්ඛ
දෝමනස්සයන්ට ගොදුරු වෙයි. එහෙත් තමන්ගේ පඤ්චස්කන්ධයේ යථා ස්වභාවය තේරුම් ගන්නට
අප්‍රමාදි වෙනවා නම් තමන් අතින් සිදුවන බොහෝ පව්, අකුසල මඟ හැර දෙලොව ජීවිතය ම
සුවපත් කර ගත හැකි ය.
රූපය නිසා බොහෝ පිරිස් වැරැදි මඟ යති. සම්බුදු දහමේ ඉගැන්වෙන්නේ රූපය පෙණ පිඬුවක්
වැනි බව ය. පෙණ පිඬ නැඟී, පැවතී බිඳී යයි. ඒ බිඳීම හටගත් ක්ෂණයෙහි, මද දුරක් පාවී
ගොස්, විශාල දුරක් ගොස් හෝ මුහුදට වැටුණු විට හෝ බිඳී යයි. මිනිස් රූපය ද එසේ ය.
සමාජය දෙස විමසිලිමත් වූයේ නම් එය වටහා ගැන්ම අසීරු නොවේ. පෙණ පිඬ හටගත් මොහොතේ ම
බිඳී යන්නා සේ ඉපදුණු සැටියේ ම මිය යන අය වෙති. අල්පායුෂ ව මිය යන්නෝ ද වෙති. ආයු
කෙළවර මිය යන්නෝ වෙති. මේ අසාර බව වටහා ගෙන තමන්ගේ සිතිවිලි ක්‍රියාකාරකම් යහපත්
ලෙස හසුරුවා ගන්නට උත්සාහ කරන්නේ නම් රූපයෙහි නො ඇලෙන්නේ නම් යහපත් අවසානයක් උදාකර
ගත හැකි ය.
වේදනාව දිය බුබුලක් වැනි බව ධර්මයෙහි ඉගැන්වීමයි. දිය බුබුලට ද බලයක් නැත. අතට
ගන්නට පවා නොහැකි ය. ඒ සා දුර්වල ය. අපි සිතින් ගන්නා වේදනාව ද දියබුබුලක් හා සමාන
ය. සැප - දුක් යන කවර වේදනාවක් වුව කලක් පවතින්නේ නැත. නිත්‍ය නැත. එහෙයින් වේදනා
පසුපස යාම අර්ථ විරහිත ය. අප බොහෝ අයහපත් දෑ රැස් කරන්නේ එය තේරුම් ගන්නට උත්සාහ
නොකිරීම නිසා ය.
සංඥා මිරිඟුවක් හා සමාන ය. සිතෙහි උපදින සංඥා සිතිවිලි නුවණින් පරීක්ෂා කරන්නේ නම්
එහි හිස් බව වටහා ගැන්ම අසීරු නැත. එවිට සංඥාවෙහි බැඳීමෙන් වන අයහපතින් වැළකිය හැකි
ය.
කෙසෙල් කඳෙහි හරයක් නැත. අප රැස්කරන සංස්කාරයෝ ද සසර දුක් ලබා දෙන්නේය. හිස් ය.
අරටුවක් නැති කෙසෙල් කඳ මෙනි.
විඤ්ඤාණ නම් සිතයි. සිත මායාවක් වැනි බව සම්බුදු දහමේ ඉගැන්වීමයි. මායාකරුගේ දර්ශනය
ස්වල්ප කාලයකට ය. අපගේ විඤ්ඤාණය ඊට ද කෙටි ය. හටගෙන ක්ෂණයක් පැවතී විනාශ වෙයි. රූප,
වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන මේ පඤ්චස්කන්ධයේ සත්‍යය තේරුම් ගැනීමට අප්‍රමාදී
වීම දුක් සහිත සසර මඟ නිමාවට මඟකි. |