වින්දනයෙහි ගිජුවීම සදාචාරය පිරිහීමේ ඇරඹුමයි

වින්දනයෙහි ගිජුවීම සදාචාරය පිරිහීමේ ඇරඹුමයි

බුදු දහමේ ස්වභාවය වන්නේ අප ඉදිරියෙන් ඇති ගැටලුව හා ප්‍රස්තුතය තේරුම් ගැනීමයි. එ මඟින් ඉපදීම, ලෙඩවීම හා මහලුවීම දුකක් යනුවෙන් අපට දුක්ඛ සත්‍යය අවබෝධ කර දෙයි. දුක කියන ප්‍රශ්නය මතු කර එය තේරුම් කර දෙයි.

මේ ආකාරයෙන් ගැටලු හා ප්‍රශ්න පළමුව හැදෑරීම බුදු දහමේ ස්වභාවය යි. බුදු දහමෙන් නිතර ම සිදුවන්නේ සමාජය තුළ අවබෝධයක් ඇති කිරීමට උත්සාහ කිරීමයි. එවැනි ධර්මාවබෝධයක් පවතින සමාජයක් වුව ද, බොහෝ සේ පරිහානියට ලක්වෙමින් පවතී. සමාජ පරිහානියට පත්වීම ම අනාගතය ගැටලුකාරී කරයි.

මිනිසුන් විවිධ දුසිරිත්වලට පොළඹවන මූලික හේතුව සැබැවින් ම රැඳී ඇත්තේ ඔවුන්ගේ සිත් සතන් තුළ ම බව බුදු දහම ඉතා පැහැදිලිව ම පෙන්වා දෙයි. අසීමිත අපේක්ෂාවෝ මින් මූලික වෙති. මිනිසුන් සුසිරිතට පොළඹවන මූලික හේතු සාධක ද එලෙසින් ම රැඳී පවත්නේ ඔවුන්ගේ සිත්සතන් තුළ ය. අවම අපේක්ෂා ඇති බව ඉන් මූලික වෙයි.

මහණෙනි, නොවඩන ලද නොදියුණු සිත තරම් අහිත, අවැඩ, දුක් සලසන අන් කිසිවක් මම නොදනිමි. එසේම මහණෙනි, වඩන ලද දියුණු සිත තරම් හිත වැඩ සලසන, සැප එළවන අන්කිසිවක් ද මම නොදකිමි'යි අංගුත්තර නිකාය ඒකක නිපාතයෙහි බුදුරජාණන් වහන්සේ වදාළහ. සතුරකු, වෛර කරන්නකු සිදුකරන අයහපතටත් වැඩි අයහපතක් වරදට පෙළඹුණු, නොමඟ ගිය සිත නිසා සිදු වෙයි. මව්පිය නෑදෑයන්ගෙන් සිදුවන යහපතටත් වැඩි යහපතක් සුමගට ගිය සිත නිසා සිදුවන්නේ යැයි ධම්මපදය ද උගන්වයි. දුසිරිත් මෙන්ම, සුසිරිත් ද සචේතනික ය. සිතාමතා කරනු ලැබේ යැයි නොයෙක් විට බුදුරජාණන් වහන්සේ වදාළහ. සියල්ලට ම සිත ප්‍රධාන වේ. කය ද, වචනය ද දුසිරිත්වලට මෙන් ම සුසිරිත්වලට ද යොමු කරන්නේ සිතයි. තමාටත්, සමාජයටත් අහිත මෙන් ම හිතසුව උදා කරන්නේ ද සිතයි. මේ අනුව නූතනයෙහි සමාජය තුළ සිදුවන දුසිරිත්, අපරාධ, නොමිනිස්කම් ආදියෙහි මූල බීජය ද රැඳී ඇත්තේ මිනිස් ආධ්‍යාත්මයෙහි ම බව කිව යුතු ය.

මේ අනුව දුසිරිත්, අපරාධ, නොමිනිස්කම්වලින් තොර සදාචාර සම්පන්න සමාජයක් බිහිවන්නේ මූලික වශයෙන් ම මිනිස් සිත් සතන් දියුණු වන තරමට ය.

අසීමිත අපේක්ෂාවන් විසින් උසිගන්වනු ලබන සිත් සතන් ඇති මිනිස්සු සාරධර්ම නොසලකති. ඔවුනට සදාචාරයෙන් ඵලක් නැත. මත් වූ, උමතු වූ සිත් ඇත්තෝ සදාචාරය උපහාසට ලක් කරති. ධර්මය අධර්මය නොසලකති. ඔවුන් සොයන්නේ පහසුවෙන් දිවි ගෙවන මඟ ය. එනම් අදහැමි මඟ ය. ජීවත්වන අදහැමි මඟ පහසු ය. එනම් විලිබිය නැතිව ගුණමකු ව, යුක්තියෙන් සදාචාරයෙන් පැනයමින් පවට බිය නැති ව, කිලිටි පැවතුම් ඇති ව දිවි ගෙවීමයි. ඒ නොමිනිස් ජීවිතය පහසු ය. එහෙත් ඒ පසුපස එන්නේ දුක් ගැහැටයි. දැහැමින් දිවි ගෙවීම වූ කලි දුෂ්කර ය. විලිබිය ඇති ව, නිබඳව ම පිරිසුදු දැහැමි පිළිවෙතෙහි පිහිටා පවට බියෙන්, දිවි ගෙවීම අපහසු ය. එහෙත් ඒ පසුපස එන්නේ සැපයි. සැනසුමයි. සතුටයි. මේ ධම්මපද පාප වග්ගයෙහි බුදුරජාණන් වහන්සේ කළ විවරණයයි.

දික් සඟිය මහා නිදාන සූත්‍රය අනුව අපරාධ, දුසිරිත්වලින් පිරුණු ශෝචනීය සමාජය බිහිවන්නේ අසීමිත අපේක්ෂාවන්ගෙන් මුසපත් වූ මිනිසුන් නිසා ය. වින්දනයෙහි ගිජු වන මිනිසා තුළ තණ්හාව උපදින්නේ ය. ඒ අසීමිත තණ්හාව නිසා ඔවුහු ධනය ද, සැපය ද, බලය ද, සොයන්නේ ය. සෙවීම නිසා ලැබීම වේ. ලැබීම නිසා ඇගයුම් දීම සිදුවෙයි. ඇගයීම නිසා ඇල්ම ඇති වේ. ඇල්ම නිසා මගේ ය යන බලවත් සනිටුහන වේ. එයින් අත්පත් කර ගැන්ම වේ. එයින් මසුරුකම උපදියි. මෙසේ ආධ්‍යාත්මික හේතු පාදක කොටගත් විවිධ චර්යාවන් ඔස්සේ අනේකවිධ වූ අකුසල ධර්මයන් බහුල වන්නේ ය.

ඒ තුළින් පැහැදිලි වන්නේ සැබැවින් ම ස්ථාවර සදාචාරාත්මක සමාජයක් බිහිවීමට නම්, මිනිස් සිත් සතන් පිරිසුදු විය යුතු බව ය. මිනිසුන් ආධ්‍යාත්මික වශයෙන් දියුණු විය යුතු බව ය. පිටතින් මෙන් ම ඇතුළතින් ද ඔවුන් නිර්මල විය යුතු ය. තණ්හාව, ඊර්ෂ්‍යාව, වෛරය, ද්වේෂය, මෝහය, මානය ආදී මානසික තත්ත්වයන් පිරිහී ගිය සිතුම් පැතුම් මිනිස් ආධ්‍යාත්මයෙහි රජ කරනතාක් සැබෑ සදාචාර ගුණධර්ම ඇති සමාජයක් බිහිවන්නේ නැත. අසීමිත අපේක්ෂාවන්ගෙන් තොර අල්පේච්ඡ චින්තාවන්, ද්වේශයෙන්, වෛරයෙන් තොර, මෛත්‍රී කරුණා චින්තාවන්, හිංසනයෙන් තොර අවිහිංසා චින්තාවන් වඩා වර්ධනය කරනු පිණිස නැවත නැවතත් උත්සාහ වැඩීම මැනැවයි බුදුරජාණන් වහන්සේ වදාළහ.

අප දුසිරිතට පොළඹවා දුක් ඇති කරන පාප ධර්මයන්ගෙන් සිත රැක ගත යුතු ය. එසේ රැක ගැනීම ම සැප ගෙන දෙන්නේ යැයි ධම්මපද චිත්තවග්ගය උගන්වයි. දාන, ශීල, භාවනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ උගන්වා ඇති සියලු පින්කම් එසේ මිනිස් ආධ්‍යාත්මය සංවර්ධනය කර ගැනීමට උපකාරී වන්නේ ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව් බඹ විහරණයෝ ම මිනිස් සිත්හි දියුණුව පිණිසම වෙත්. එබඳු උසස් සිතුම් පැතුම් ඇත්තෝ සමාජ විරෝධීන් නොවෙති. ඔවුහු දානයෙන් එනම් සුබසාධනයෙන් අර්ථචර්යාවෙන් එනම් පරාර්ථකාමිත්වයෙන්, සමානාත්මතාවයෙන් එනම් උස්මිටිකම් නොසලකා ගුණයෙන් යුක්ත වෙති. එබැවින් ම සර්ව සාධාරණ දැහැමි මිනිස්සු වෙති.

සදාචාර පරිහානිය විෂයයෙහි තුඩුදෙන බාහිර හේතු සාධක ද ඇති බව බුදුදහම පිළිගනියි. ආර්ථිකය සීමාවන්තික ව නැඟීමෙන් ද, ආර්ථිකය බෙහෙවින් වැටී ගිය කල්හි ද මානව සදාචාරය කෙරේ අහිතකර බලපෑම් කරයි. චක්කවත්තී සීහනාද සූත්‍රයට අනුව ජනතාවගේ ආර්ථික සුරක්ෂිතතාව පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු ය. එසේ නොවන කල්හි ධනෝපායන මාර්ග නැති වීමෙන් දිළිඳුකම වැඩිවන්නේ ය. එසේ දිළිඳු බව වර්ධනය වීමේ ප්‍රතිඵලය වන්නේ සොරකම ද, මං පැහැරීම ද වැඩිදියුණු වීමය. ඒ හා සමඟ ම මිනිස් ඝාතන ද වර්ධනය වෙයි. බොරුකීම, කේලාම්කීම, කාම අපරාධ ආදිය ද ඒ හා එක්ව වර්ධනය වේ. අනේකවිධ වූ කලිකලහයෝ ද, සාපරාධී ක්‍රියාවෝ ද වැඩිදියුණු වෙත්, නීතිය ද, සාමය ද, සදාචාරය ද සැකෙවින් කිවහොත් සමාජ ගැටලු ද නිර්මාණය වෙයි. සදාචාරාත්මක සාමකාමී සමාජයක් බිහිකරලීමේ වැදගත්කම දස සක්විතිවත්වල බුදුදහම නිර්දේශ කර ඇත.

ආර්ථික සුරක්ෂිතාව භෞතික දියුණුවේ පදනම ලෙස සැලකේ. උපරිම ඵලදායිතාවයෙන් යුතු ව කටයුතු කිරීම, උපයාගත් සම්පත් විධිමත් ව රැක ගැනීම, යහපත් සමාජ ආශ්‍රය, අය වැය සම ව පවත්වා ගෙන යාම ද, පුද්ගලයාගේ දියුණුවට අවශ්‍ය වේ. ආර්ථික දියුණුව හා ධාර්මික දියුණුව ද එකිනෙකට උපකාරී ය. සමගාමී ය. සාපේක්ෂය.

අන්ධයා එනම්, දෑස ම නැති තැනැත්තා ද එක් ඇසක් ඇත්තා ද, ඇසුරු නොකළ යුතු ය. ඇසුරු කළ යුත්තේ දෑස ම ඇත්තවුන් යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. මෙහි දෑසම නැති තැනැත්තා යනු ආර්ථික දියුණුව මෙන් ම ධාර්මික දියුණුව ද නොසලකා ක්‍රියා කරන්නා ය. එක් ඇසක් ඇති තැනැත්තා යනු ඒ දෙකින් එකක් පමණක් සලකන්නා ය. දෑසම ඇති තැනැත්තෝ ඒ දෙපැත්ත ම සිතා කටයුතු කරති. ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. වඩාත් සුරක්ෂිත සාමකාමී ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකර ගත හැක්කේ එක් අතෙකින් ආධ්‍යාත්මික දියුණුව, ධාර්මික සමෘද්ධිය ද අනෙක් අතින් භෞතික දියුණුව ද, ආර්ථික සමෘද්ධිය ද අත්වැල් බැඳගත්විට ය.

පොසොන් අව අටවක

ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]