කෙලෙස් බරින් නිදහස් වෙන්නට අප්‍රමාදී වන්න

කෙලෙස් බරින් නිදහස් වෙන්නට අප්‍රමාදී වන්න

මට අතහැර ගන්න අපහසු අකුසල්, වැරැදි අද සිට අතහරිනවා. මම සිල්වත් වෙනවා. ගුණවත් වෙනවා. මෙත් සිත පුරුදු කරනවා. කරුණා සිත වැඩිදියුණු කරනවා කියා අධිෂ්ඨානයක් ඇතිකර ගෙන වරදින් අත මිදෙනවා නම්, ගුණ පුරනවා නම් ඒ ජීවිතවලට ආලෝකය උදාවෙනවා

මේ ලෝකයට ඉතාම කලාතුරකින් පහළ වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස දහම් දෙසනවා.

උන්වහන්සේ රාග, ද්වේෂ, මෝහය ප්‍රහාණය කොට තම ශ්‍රාවකයාට ද රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරවීම පිණිස දහම් දේශනා කරනු ලබනවා. ලෝ සතුන් කෙරෙහි මහත් වූ දයානුකම්පාවෙන් සසරේ තිබෙන දුක කියා දෙනවා.

සසර ගමනක වෙළී පැටලී ගමන් කරන අපේ සිතේ කෙලෙස්වලින් කිලිටිවෙලා තිබෙන්නේ. අපේ ජීවිත මේ කෙලෙස් නිසා වෙහෙසට, පීඩාවට පත්ව තිබෙන්නේ. කෙලෙස්වලින් නිරන්තරයෙන් බැට කන අපට පිහිට පිළිසරණක් හදා ගන්න තිබෙන්නේ, ධර්ම මාර්ගයට පිවිසීමෙන් පමණ යි. සිතේ ඇතිවන අකුසල් බැහැර කරන්නට අපට විශාල ධෛර්යයක්, අධිෂ්ඨානයක් වගේ ම කැපකිරීමකුත් අවශ්‍ය වෙනවා. සිතේ ඇතිවන අකුසල් අතරින් එක අකුසලයක් හෝ බැහැර කරන්නට තරම් අපේ සිත ශක්තිමත් නම් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ම ශ්‍රාවකයා ඔහුයි. එය උතුම් බුද්ධ පූජාවක් ද වෙනවා.

දිනකට එක මොහොතක් තමා වෙනුවෙන් වෙන් කරගෙන ඇසූ දහම් පදයක් ජීවිතයට ගළපාගෙන තමාට අත්හරින්නට අමාරු, අපහසු වැරැද්දක්, අකුසලයක් අත් හරින්නට උත්සාහ කරනවා නම්, රකින්නට අමාරු සිල් පදයක් රකින්නට උත්සාහ කරනවා නම් එය තමන්ගේ ශාස්තෘන් වහන්සේට කරන සැබෑ ම උපහාර පූජාවක් වෙනවා. ඒක මල් ලක්ෂයක් පූජා කළාට වඩා, පහන් දහසක් දැල්වූවාට වඩා උතුම් පිනක් වෙනවා.

ධර්මය නම් වූ කැඩපතට එබී ඔබ ඔබේ ජීවිතය දෙස බලද්දී ඔබට ඔබේ ජීවිතය ගැන හොඳින් පෙනෙන්නට පටන් ගන්නවා. එවිට ඔබට සිතේවි මගේ ජීවිතයේ මේ අඩුපාඩු මේ අකුසල්, මේ දුර්ගුණ තිබෙනවා කියා.

එනිසා තමන්ගේ ශාස්තෘන් වහන්සේට උපහාර පිණිස ප්‍රතිපත්ති පූජාවක් ලෙස “මට අතහැර ගන්න අපහසු අකුසල්, වැරැදි අද සිට අතහරිනවා. මම සිල්වත් වෙනවා. ගුණවත් වෙනවා. මෙත් සිත පුරුදු කරනවා. කරුණා සිත වැඩිදියුණු කරනවා කියා අධිෂ්ඨානයක් ඇතිකර ගෙන වරදින් අත මිදෙනවා නම්, ගුණ පුරනවා නම් ඒ ජීවිතවලට ආලෝකය උදාවෙනවා.

එදා අපගේ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවර උපවර්තන සල් උයනේ දී සල් රුක් සෙවණේ පිරිනිවන් මංචකයේ වැඩ සිටින මොහොතේ බොහෝ ආශ්චර්ය දේ සිදු වුණා. අකාලයට පිපී ගිය මලින් ඒ සල් රුක් වනය වැසී ගියා. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ සල් මල් ගිලිහිලා බුදු සිරුර මත පතිත වුණා. පූජා පිණිස දිව්‍ය මදාරා මල් බුදු සිරුර මතට වැටෙන්නට පටන් ගත්තා. දිව්‍ය සඳුන් කුඩු අහසින් වැටෙද්දී හාත්පසින් ම සුගන්ධයෙන් සුවඳවත් වුණා. දිව්‍ය තූර්ය නාද අහසේ වාදනය වුණා. සියල්ල දන්නා, සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

“පින්වත් ආනන්ද, මෙ පමණකින් නම් තථාගතයන් වහන්සේට සත්කාර, ගෞරව සිදු කළා වන්නේ නැහැ. බුහුමන් දැක්වූවා වන්නේත් නැහැ. පින්වත් ආනන්ද, යම් භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයෙක් වේවා උපාසිකාවක් වේවා මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුතු ව වාසය කරයි ද, ඔහු තථාගතයන් වහන්සේට පරම වූ ප්‍රතිපත්ති පූජාවෙන් සත්කාර කරන, ගෞරව කරන, බුහුමන් දක්වන කෙනෙක් වෙනවා.

එහෙම නම් අපගේ ශාස්තාන් වහන්සේ පවා සැබෑ ම බුද්ධ වන්දනාව, උපස්ථානය ලෙස සැලකුවේ ශාස්තෘන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත්වීමයි. ධර්මය කියන්නේ කුමක් ද? ඉවසීම ධර්මය යි. ඊර්ෂ්‍යා නො කිරීම, සිල්වත් වීම ධර්මය යි. අකුසල් බැහැර කිරීම, කුසල් උපදවා ගැනීම ධර්මය යි. ආර්ය සත්‍ය අවබෝධයට කැපවීම ධර්මය යි.

දිනකට සුළු වේලාවක් වෙන්කර ගෙන අපට සිතන්න පුළුවන්නම් මම ඉවසීම නම් වූ උතුම් ධර්මය අද සිට පුරුදු කරනවා කියා. ඒ ගුණ ධර්මය තුළින් ඔහුට හෝ ඇයට හෝ බොහෝ දේ ජය ගැනීමට අවස්ථාව තිබෙනවා.

ඔබේ පවුල තුළ, රැකියා ස්ථානයේ, සමාජයේ කො තැනක හෝ ඉවසීම නමැති ගුණය සිතේ දරාගෙන ඔබ ඒ ඒ අවස්ථාවට මුහුණ දෙනවා නම් අපගේ ජීවිතයේ ප්‍රශ්න විසඳාගන්න හැකියාවක් තිබෙනවා. සිදුවිය හැකි බොහෝ අකුසල් වළක්වා ගන්නටත් පුළුවන්. සිත රැකගෙන පරලොව ජීවිතයට ආරක්ෂාව සලසා ගන්නත් පුළුවන්. තථාගතයන් වහන්සේට උත්තම උපහාර පූජාවක් පවත්වන්නටත් පුළුවන්.

ඈත අතීතයේ නාරද නමින් එක්තරා තාපසයෙක් ජීවත් වුණා. ඒ කාලයේ අබුද්ධෝත්පාද යුගයක්. දහස් ගණන් ශිෂ්‍ය පිරිසක් පිරිවරා ගෙන බොහෝ ගරුබුහුමන් ඇතිවයි ඔහු වාසය කළේ. නමුත් තමන්ට ගුරුවරයෙක් ඕන කියන අදහස මේ තාපසතුමාට තිබුණා. ඔහුට දැන ගන්නට ලැබුණ ඉතාමත් කලාතුරකින් උත්තම මනුස්ස රත්නයක් මේ ලෝකයට පහළ වෙනවා කියලා. උන්වහන්සේ අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තරෝ, පුරිස දම්ම සාරථි, සත්ථා දේව මනුස්සානං බුද්ධ, භගවා කියන අසිරිමත් ගුණයන්ගෙන් යුක්තයි කියලා. ඉතින් මේ තාපසතුමා සිතුවා මේ උත්තම පුරුෂයාට මමත් පූජාවක් පවත්වන්නට ඕනෑ. ගෞරව දක්වන්නට ඕනෑ කියලා.

තාපස ආරාමයට පහළින් ගලා බසින ස්ථානයක් ඒ සඳහා තෝරා ගත්තා. ගංගා ඉවුරේ වැලි එකතු කර තම දෑතින් ම වැලි සෑයක් ඉදිකළා. සෑයට පුද සත්කාර කළා. දිනක් තාපසතුමාට සිතුණා. නිකෙලෙස් මුනිවරයෙක්ට මම කොහොමද මේ කෙලෙස් සහිත කිළිටි සිතින් පුද පූජා කරන්නේ. පිරිසුදු සිතින් උන්වහන්සේට පුදන්නට ඇත්නම් කෙ තරම් හොඳ ද කියා කල්පනා කළා.

දිනක් සෑයට වන්දනාමාන කරලා මේ තාපසතුමා වැලි සෑයට නුදුරින් භාවනා කරන්නට පටන් ගත්තා. සෑය නිමිති කරගෙන ශාස්තෘන් වහන්සේට මහත් ගෞරව සිතින් යුතු ව භාවනා කළා. ඔහුගේ සිතේ අකුසල් ක්‍රමයෙන් දුරු වුණා. අකුසල් දුරු කරන ප්‍රතිපදාවේ සිට ඔහු ශාස්තෘන් වහන්සේ ඇසුරු කළා. සැබෑ ම බුද්ධ පූජාව එය නොවේ ද? ඒ සිතේ ආනුභාවය ඔහු දිගට ම පවත්වා ගෙන ගියා. මරණින් මතු සුගති ලොව උපන්නා.

අපගේ ශාස්තෘන් වහන්සේ ලොව පහළ වෙලා ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියා දෙමින් ලෝ වැසියන්ට මහත් කරුණාවෙන් දුක, දුකේ හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය වදාරමින් ලෝක සත්වයා දුකෙන් මුදවන දහම කියා දෙමින් ලොව වැඩ වාසය කරන සමයේ අර තාපසතුමා දෙව්ලොවින් චුත ව මනුලොව උපත ලැබුවා. හත් හැවිරිදි වියේ දී බුදු සසුනට පැහැදී පැවිදි ව, සියලු කෙලෙස් නසා උතුම් අරහත්වයට පත්වුණා. එය කෙ තරම් අපූරු ප්‍රතිපත්ති පූජාවක් ද?

එහෙම නම් යම් කෙනෙක් තමාගේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් ආමිස පූජා සිදු කරනවාත් සමඟ ම, තථාගතයන් වහන්සේට වඩාත් ළං වෙන්න, සමීප වෙන්න, උත්සහ කළයුතු වෙනවා. එයට හොඳම ක්‍රමය තමයි තමාගේ ජීවිතය ධර්මයට කැප කරමින්, ගුණධර්ම එකින් එක ජීවිතයට හුරුකර ගනිමින් උතුම් පින් රැස් කර ගැනීමට උත්සාහ කිරීම, එය සැබෑ ම බුද්ධ පූජාවයි!

පොසොන් අව අටවක

ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]