නිවන් දකින තුරු උපකාරී වන
ආමිෂ පූජාව
මෙකල බොදුනුවන් අතර ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා යන පුණ්‍ය ක්‍රියා සිදුකිරීම
සම්බන්ධයෙන් නොයෙක් මතවාද පවතී. මෙම මතවාද ගොඩනැඟීම සඳහා උපයෝගී කර ගන්නා කරුණු
ද්විත්වයක් ඇත. එනම්, සත්‍ය කරුණු සහ සිතිවිලි මත පදනම් වූ පුද්ගලානුබද්ධ කරුණු ය.
ඇතැමෙක් තම පුද්ගලික මත හැරදමා, නිවැරැදි ලෙස තේරුම් ගත් ධර්මය ඇසුරින් ගොඩනඟාගත්
නිවැරැදි ක්‍රියාපිළිවෙත් අනුගමනය කරති. එසේ වුව ද, තම මතය ම නිවැරැදි සේ සැලකීමට
කැමති ඇතැමෙක්, සත්‍ය ධර්ම කරුණු දනිතත්, නො දනිතත්, තම මතය ඇසුරින් ගොඩනඟා ගත් නො
වැදගත් ක්‍රියාපිළිවෙත් ම අනුගමනය කරති.
ඇතැම්හු බුදුරජාණන් වහන්සේ විසින් ආමිස පූජාවන් ප්‍රතික්ෂේප කරන ලද්දේය’ යි වරදවා
වටහා ගෙන සිටින බැවින්, ආමිස පූජා පැවැත්වීම ප්‍රතික්ෂේප කරති. බුදුරජාණන් වහන්සේ
විසින් කිසිවිටෙකත් ආමිස පූජා පැවැත්වීම ප්‍රතික්ෂේප කර නොමැත. මහා පරිනිබ්බාන
සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බව
දේශනා කර ඇතිවාක් මිස ආමිස පූජා නො පවත්වන්නැ’ යයි හෝ ආමිස පූජාවෙන් ඵලක් නැතැ’යි
හෝ දේශනා කර නැත.
ඇතැම්හු බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අනවශ්‍ය අයුරින් අවධාරණය කිරීම හේතුවෙන්,
බුද්ධ දේශනාවෙහි යම් පිළිවෙතක් අඩු වටිනාකමක් ඇති දෙයක් සේ දැක්වුවහොත් එය නො කළ
යුතු දෙයක් ලෙස වරදවා දැක්වීම නිසා මෙවැනි ගැටලු රැසක් නිර්මාණය වී තිබේ. ආමිස
පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම්යැයි සිදුකළ දේශනාව ඇතැමුහු විසින් අනවශ්‍ය
අවධාරණයකට ලක්කරමින් බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවන් ප්‍රතික්ෂේප කරන ලද ය’ යනුවෙන්
සාවද්‍ය ලෙස ඉදිරිපත් කරති.
බුදුරජාණන් වහන්සේ කිසිවිටෙකත් ආමිස පූජාවන් ප්‍රතික්ෂේප නො කරන නමුත්, ආමිස
පූජාවන්ට මුල්තැනදීමට වඩා, බුදුරජාණන් වහන්සේ නමක විසින් පමණක් අනාවරණය කළ හැකි
නිර්වාණගාමී ප්‍රතිපත්ති පිළිපැදීම හරහා උන්වහන්සේගේ කැපවීමෙන් නිසි ප්‍රයෝජන
ගැනීම, එනම්, ප්‍රතිපත්ති පූජාව වඩාත් උතුම් බව දේශනා කළ සේක.
අබුද්ධෝත්පාද කාලයන්හි ද සීල, සමාධි, ප්‍රඥා වඩන ධර්මානුකූල ප්‍රතිපදාවන් නො නැසී
පවතින නමුත් නිවන විශේෂයෙන් අරමුණූ කර ගත් සීල, සමාධි, ප්‍රඥා ප්‍රතිපත්ති ජීවමානව
පවතිනුයේ බුද්ධෝත්පාද කාලයක දී පමණි.
බුද්ධෝත්පාද කාලයක් ක්‍රමයෙන් ඉකුත් ව යන විට සිදුවනුයේ, එම නිර්වාණගාමි
ප්‍රතිපත්ති නිසි අයුරින් පුහුණුවන බුද්ධ ශ්‍රාවක පිරිස් අඩුවී යාම නිසා එම
ප්‍රතිපත්ති ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් ව යාම යි. එවිට, බුද්ධෝත්පාද කාලයෙන් පසු වුව
ද, මිනිසාට දුක නැති කිරීමේ වුවමනාව බලවත් ව පවතින නමුත් දුක නැති කිරීම පිණිස
කුමක් කළ යුතු ද යන්න වටහා ගත නොහැකි තත්ත්වයක් පැන නැඟේ. එවැනි කාලවල දි පවා
බෝධිසත්ත්වයන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා විඳින දුක් නිමා කිරීමේ ප්‍රතිපදාව දැන
ගැනීමට සිත යොමුකරන නමුදු, තවමත් පාරමිතා සම්පූර්ණත්වයට පත්වී නොමැති හෙයින් ද,
චතුරාර්ය සත්‍යය තමා විසින් ම අවබෝධ කර ගැනීමට හේතුවන ඤාණය මුහුකුරාගොස් නොමැති
බැවින් ද, එම ප්‍රතිපදාව අනාවරණය කර ගැනීමට උන්වහන්සේ අපොහොසත් වේ. එබැවින්,
උන්වහන්සේ සත්ත්වයා විඳින අයහපත් කර්ම විපාක අවම කිරීමේ අරමුණින් යුතු ව ඔවුන්
අකුසලයෙන් වළක්වමින්, කුසලයෙහි යෙදවීමට ධර්මාවවාද ලබා දෙමින් මිනිසාට පිහිට වෙති.
නිවනෙහි රසය දැනගත් නමුත්, පිළිවෙත් පිරීමෙහි ප්‍රමාද වු දෙව් මිනිසුන්හට,
නිර්වාණාවබෝධය සඳහා වන ප්‍රතිපදාව දැන ගැනීමට ලොව සම්මා සම්බුදු රජාණන් වමන්සේ නමක්
පහළවන තෙක් සිටීමට සිදු වේ. මහා බෝධිසත්ත්වයන් වහන්සේ නමක් මිනිස් ලොව මවු කුස
පිළිසිඳ ගැනීම ම ඔවුන්ගේ සියලු දුක් නිමා කිරීමකට සමාන වන්නේ කෙ දිනක හෝ උන්වහන්සේ
ගිහි සැපත හැරදා ගොස් බුද්ධත්වයට පත්ව නිවන් මඟ හෙළිකර දි උපකාර කරන බැවිනි.
එබැවින් ම ඔවුහු බෝධිසත්ත්වයන් වහන්සේ මවුකුස පිළිසිඳගත් දිනයෙහි ම මහත් වූ
ධර්මානුකූල පී‍්‍රතියක් ලබති.
මින් පැහැදිලි වන කරුණක් වනුයේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම කො පමණ දුර්ලභ
කරුණක් ද යන්න ය. බුද්ධෝත්පාද කාලය ද බෝසත් උපතෙහි සිට ඉදිරියට සදාකල් නො පවතී.
සියල්ලෙහි අනිත්‍ය ස්වභාවය පසක් කරමින්, ධර්මය උපදිනවාත් සමඟ ම එහි නැසීම ද ඇරඹේ.
එනම්, බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයෙන් ලොව නුවණැස පාදන කල, තවකෙක් ධර්මය විකෘතිය
කරමින් ජනයා මුලා කිරීමට ක්‍රියා කරති. ලොව කුමන කලෙක වුව ද සමාජයෙන් වැඩි
ප්‍රමාණයක් ධර්මය නිසි අයුරින් වටහා නො ගන්නෝ වෙති. යම් බුද්ධ ශ්‍රාවකයකුට ධර්මය
අවබෝධ කර ගැනීමටත්, ධර්මානුකූල ප්‍රතිපත්ති පිළිපැදීමටත් සිදුවනුයේ මෙවැනි අභියෝග
හමුවේ ය.
එම අභියෝග සියල්ල ජයගත් අයකුට පවා ඇති මහත් ම අභියෝගය නම් තමා ජය ගැනීම යි. එනම්,
තමා ස්කන්ධයන පහක් ලෙස දැකීමට පුහුණුවීම යි. එ මඟින් තණ්හාව දුරුවීමට සැලැස්වීම යි.
පි‍්‍රයයන්ගෙන් වෙන්වීම අතර ඇති වඩාත් දරුණු ම වේදනා ඇතිකරන වෙන්වීම නම්, තම තමන්
කෙරෙන් වෙන්වීම හෙවත් තම පඤ්චස්කන්ධයක් පමණක් බව දැකීම යි. කො පමණ කලක් ගත වී හෝ
පිටස්තරයකුගේ වෙන්වීම දරා ගැනීමට ක්‍රමෝපායන් සොයාගත හැකි ය. නමුත්, තමාට තමාගෙන්
වෙන්වන්නට සිදුවීම සිතීම පවා මහත් බියක්, ශෝකයක් ඇති කරවයි. එබැවින්, නිවනෙහි
සැනසිලිභාවය විඳිනු කැමති තැනැත්තාට ජය ගැනීමට ඇති වඩාත්ම දුෂ්කර වූ අභියෝගය මෙය
යි. එය අපහසු නමුත් කළ හැක්කක් බව නිර්වාණාවබෝධය ලද සෑම උතුමකු ම පෙන්වා දී ඇත.
ගැටලුව වනුයේ ඒ සඳහා පිළිවෙත් පිරීමට සුදුසු පරිසරයක් සොයා ගැනීමයි.
නිවන් අවබෝධය සඳහා සුදුසු කාලය වනුයේ චතුරාර්ය සත්‍යය ආදි වූ බුදුරජාණන් වහන්සේ නමක
විසින් පමණක් හෙළි කළ හැකි ධර්ම කොට්ඨාස ජීවමාන ව පවතින ත්‍රිවිධ රත්නය ලොව වැඩ
වෙසෙන කාලය යි. එනම් බුද්ධෝත්පාද කාලය යි. බුද්ධෝත්පාද කාලය ද යම් කාලයකට පසු අවසන්
වන්නේ වේ. ආමිස පූජාවෙහි ඇලී නො සිට ප්‍රතිපත්ති පූජාවෙහි වැඩ වශයෙන් යෙදෙන්නට
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයා උනන්දු කරනුයේ ඉහත අභියෝගකාරි තත්ත්වයන් මැනවින්
අවබෝධ කළ බැවිනි.
ආමිස පූජාව යනු, ධර්මාවබෝධය මූලික කොටගෙන බොහෝ අවබෝධයෙන් කළ යුත්තක් වන නමුත්, මෙකල
බොහෝ දෙනෙක් ආමිස පූජාව යනු විසිතුරු දෑ කිරීම යනුවෙන් වරදවා තේරුම් ගෙන
ආධ්‍යාත්මික ගුණ වැඩෙන පරිදි නොව, බාහිර අලංකාරය ඉස්මතු වන පරිදිත්, කෙලෙස් වැඩෙන
පරිදිත් “පූජා” නමින් හඳුන්වන ක්‍රියාවන්හි යෙදෙති. කාලය ගෙවා දැමීමටත්, කුමක් හෝ
කළේ ය’ යි කියා සිතා සනසා ගැනීමටත් මෙවැනි ක්‍රියාවන්හි නිරත වීම භාවනාදිය වැඩීමට
වඩා, ධර්මය අවබෝධ කර ගැනීමට වඩා ඉතා පහසු ය. අතීතයෙහි ද, මෙකල ද මල් පූජාකිරීම
සිදුවුව ද, මෙකල මෙන් නොව, අතීතයෙහි සැදැහැතියන් මල් පූජා කළේ බොහෝ අවබෝධයෙනි.
එබැවින්, නිසි පරිදි ආමිස පූජාවන්හි යෙදෙන්නේ නම්, එය ද අසීරු කටයුත්තක් බව මෙකල
සමාජය නො දනිති.
ආමිස පූජාවෙන් නිවන් අවබෝධ කළ නොහැකි නමුත්, නිවන් මඟට පිවිසීමටත්, එහි රැඳී
සිටීමටත්, තම දිවිපැවැත්ම පීඩාවෙන් තොරව ධාර්මික ව පවත්වා ගැනීමට අවශ්‍ය කුසල
ශක්තිය රැස් කිරීමටත් එමඟින් ලැබෙන පිටිවහල ඉතා වැදගත් ය. නමුත්, එය තම නිවන් මඟට
ආධාරකයක් ලෙස සලකනු විනා වැඩි මහන්සියකින් තොර ව නිවන් ලද හැකි මඟකි’යි සිතීම
මුළාවකි.
අකුසලයට ඇළුණු හැසිරීම සහිත අපගේ සසර ගමන මහ සයුරෙහි නැවත ගමනට සම කරන්නේ නම්, නිවන
නමැති ගොඩබිම දක්වා සේන්දුවන ගමනට බොහෝ කාලයක් ගත වේ. එසේම ගමනාන්තය සොයා ගැනීම ද
අපහසුය. එසේ වූ කල, ක්‍රමයෙන් ගොඩබිම කරා ළඟාවන ගමනේ දී පුහුදුන් ලෝකයාගෙන් විහිදෙන
“අකුසල්” නමැති සැඩපහර හමුවේ අප නො මඟ ගසාගෙන නො ගොස් පැමිණි මඟ රඳවා ගැනීමට උපකාර
වන නැංගුරමක් ලෙස ආමිස පූජා සැලකිය යුතු ය. එම ආමිස පූජා යනු, අවබෝධය හා ත්‍රිවිධ
රත්නය පිළිබඳ ගෞරවය මුසු වූ සිතෙහි සන්සිඳීම ඇතිකරවන ආකාරයේ පූජාවන් මිස, මෙකල
සිදුකෙරෙන නොයෙක් පෙරහර, නැටුම් ගැයුම් ආදි කෙලෙස් අවුස්වන ආකාරයේ ක්‍රියා නොවේ.
එබැවින්, මෙම උතුම් ආමිස පූජාවන් කවරකු විසින් හෝ ප්‍රතික්ෂේප නො කළ යුතු ය. නිසි
අවබෝධයෙන් ම සිදුකළ යුතු ය. නිවන් දක්නා තෙක් තමාට උපකාර වන්නේය’යි සලකා බොහෝ
ගෞරවයෙන් යුතුව සිදුකළ යුතු ය. මෙසේ ආමිස පූජාව ආධාරයෙන් නිවන් මඟ රැඳෙමින්
නිර්වාණාවබෝධය පිණිස කළ යුතු පිළිවෙත් සඳහා වැඩි අවධානයක් යොමු කරමින් තම විමුක්තිය
සලසා ගැනීම පිණිස බුදුවදන නිසියාකාර ව වටහා ගැනීමට තරම් අප නැණවත් විය යුතු ය.
ටී. සේනානායක |