කර්මය හා එහි ස්වභාවය

කර්මය හා එහි ස්වභාවය

පොසොන් මාසය අතීතයේ ලක්දිව සැණකෙළි පැවැත්වූ සමයකි. එකල පොහොය දිනය අතිශය උත්කර්ෂවත් දිනයක් විය. මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළේ බුද්ධ වර්ෂයෙන් 236 වර්ෂයේ පොසොන් මස පුරපසළොස්වක පොහෝ දිනයි.

උන්වහන්සේ වැඩම කළ එම අවධියේ ලක්දිව රජ කළ දෙවනපෑතිස් රජතුමා හතළිස් දහසක් පමණ රටවැසියන් පිරිවරාගෙන මිස්සක පව්ව අසල මුව දඩයමෙහි සැරිසරමින් සිටියේ ය . රජතුමා දුටු මිහිඳු හිමියන් ඔහු සමඟ සුහද කතාබහක යෙදුණේ ය. තිස්ස රජතුමා බුදු දහම වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය නුවණක් හා තැන්පත් මනසක් ඇත්තකු බව මිහිඳු හිමියන්ට වැටහිණි..

ඔවුනොවුන් හඳුනා ගැනීමෙන් පසුව මිහිඳු හිමියෝ රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. මෙම සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ තෙරුවන් කෙරෙහි ප්‍රසාදයට පත්වන තැනැත්තකු ක්‍රමයෙන් කාය, වචී සංවරයෙහි පිහිටා චාරිත්‍ර වාරිත්‍ර සීලයන්හි හික්මී සැනසීම ලබන අන්දමයි.

එසේ ම භික්ෂු ජීවිතයේ විවිධ අවස්ථා, බෞද්ධ දර්ශනයෙහි අග්‍රඵලය වූ අර්හත්වය, චතුරාර්ය සත්‍ය වැනි ප්‍රධාන ඉගැන්වීම් ද මෙහි අන්තර්ගත වේ. දෙවැනි දිනයේ රජ ගෙදරට වැඩි මිහිඳු හිමියන් දන් වළඳා අවසානයේ දී මාළිගාවට රැස්ව සිටි පිරිසට විමාන වත්ථුවෙන් හා පේතවත්ථුවෙන් කර්මය හා විපාකය පැහැදිලි කරමින් ධර්ම දේශනා පැවැත්විය. මෙම දේශනාවෙන් කළ කම්ඵල විඳිමින් දිව්‍ය ලෝකයෙහි හා පේ‍්‍රත ලෝකයෙහි වාසය කරන මිය ගිය ඥාතීන් ගැන විශේෂයෙන් විස්තර කොට ඇත.

මිහිඳු හිමිගේ දම් දෙසුම් ඇසීමට මාළිගාවට පිවිසීමට අවසර නොලත් රටවැසියන් රජ පවුලට පමණක් ධර්ම ලාභය බෙදා ගැනීමට නොදී තමන්ට ද ධර්ම දේශනා කරන ලෙස හඬ නැඟීය. ඒ අනුව අධික පිරිසක් සිටි නිසා මිහිඳු හිමිට ධර්ම දේශනා කිරීමට ඇත්හල සූදානම් කර දුන්නේ ය. බණ ඇසීමට විශාල පිරිසක් පැමිණියහ. ඇත්හල ඉඩ මදි විය. නගරයෙන් බැහැර ව පිහිටි නන්දන උයන ද ධර්ම දේශනා කිරීමට සූදානම් කළේ ය.

මිහිඳු හිමියන් රැස්ව සිටි පිරිසට දේශනා කළේ ඉතා වැදගත් අර්ථ ඇති සූත්‍රයන් ය. ප්‍රථමයෙන් දේශනා කළ දේවදූත සූත්‍රයෙන් උන්වහන්සේ කුසල අකුසල කර්මයන්හි විපාක පැහැදිලි කළ සේක. මෙයින් අදහස් කළේ පවෙහි ආදීනව කෙරෙහි බිය උපදවා මිනිසුන් පවින් වැළැක්වීමයි. ඊළඟට දේශනා කළ බාල පණ්ඩිත සූත්‍රයෙන් බාලයා හෙවත් අඥානයා තම අවිද්‍යාව නිසා පව් කොට මෙලොව පරලොව දෙකෙහි ම දුක් විඳින සැටිත්, අවිද්‍යාවෙන් මුලා නොවුණු පණ්ඩිතයා පාපයෙන් වැළකී කුසල් කොට දෙලොව සැපවිඳින අන්දමත් විස්තර කොට ඇත. මෙම දේශනා තුළින් මිහිඳු හිමියන් අපේක්ෂා කළේ අභිනව ශ්‍රාවක පිරිසගෙ ආධ්‍යාත්මික සංවර්ධනය යි.

කර්මය යනු චේතනාවයි. ඒ බව “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි”. මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි යන දේශනාවෙන් ප්‍රකට වෙයි. මේ අනුව සිතන චේතනාව මත සිදුකරන කර්ම යහපත් හෝ අයහපත් හෝ විය හැකි ය. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස කුසල්, දස පාරමී ධර්ම, අට මහ කුසල්, සමසතළිස් කර්මස්ථාන ආදී පින් කටයුතු යහපත් කර්ම ගණයටත්, පස් පව්, දස අකුසල්, අධාර්මික වෙළඳාම් ආදිය අයහපත් කර්ම ගණයටත් අයත් වේ. එසේ ම යහපත් කර්ම හේතුවෙන් සැපදායක, සැනසුම ලබා දෙන යහපත් විපාක ද, අයහපත් කර්ම තුළින් දෙනෙත් කඳුළින් තෙත් කරවන දුක් විපාක ද ගෙන දෙයි. යහපත් කර්මවලට ගෙන දෙන සැප විපාක ආනිසංස ලෙසත්, අයහපත් කර්මවලට ගෙන දෙන දුක් විපාක ආදීනව ලෙසත් හැඳින්වේ.

කර්මය පුද්ගලයාට ප්‍රධාන වශයෙන් බලපාන බලවේගාත්මක හේතු සාධකයකි. ඊශ්වර නිර්මාණවාදී ආගම් දේව කැමැත්ත අනුව මිනිසා, සත්වයා, විශ්වය මැවූ බව උගන්වනු ලැබේ. විශ්වය දෙවියන් විසින් මවන ලදැයි යන එම අදහස මිත්‍යාවක් බව බෞද්ධ දර්ශනය තුළින් පැහැදිලි කොට ඇත. බුදු සමයේ සඳහන් වන මූලික ඉගැන්වීම් අතර කර්ම විෂය තරම් කතා බහට ලක්වූ තවත් විෂයක් නොමැති තරම් ය.

පුද්ගලයාට කර්මය බලපාන ස්වභාවය කිහිප අයුරකින් දක්නට ලැබේ. සත්වයාට කර්මය බලපෑම් කරන ආකාර 4කි. ඒවා නම් :– ජනක, උපස්්ථම්භක, උප පීඩක, උප ඝාතක යනුයි. සත්වන භවයක උපතක් සඳහා බලපාන්නේ ජනක කර්මය යි. ජනක යන්නෙහි අදහස උපතක් ලැබීම යන්න යි. ලබන ලද උපත් යහපත් හෝ අයහපත් හෝ වේවා එය පවත්වා ගෙන යාමට උපකාර වන කර්මය උපස්්ථම්භක නම් වේ. උපතක් ලැබූ පුද්ගලයාගේ දුක් හෝ සැප හෝ විඳීමට බාධා පමුණුවන කර්මය උප පීඩක නමින් හැඳින්වේ. කුසල් හෝ අකුසල් හෝ නසා දමන කර්මය උපඝාතක නම් වේ. කර්මය විපාක දීමට ඉදිරිපත් වීමේ අනුපිළිවෙලේ ස්වභාවය මත ද කොටස් 4කට බෙදා දක්වයි. ඒවා ගරුක ආසන්න, ආචිණ්ණ, කටත්තා යනුවෙන් දැක්විය හැකි ය. ගරුක යන්නෙන් බර, බලවත්, වඩා වැදගත්, හරවත් ප්‍රබල යන අර්ථ ගෙන දෙයි. මරණින් මතු විපාක දීමට ඉදිරිපත් වන්නේ ගරුක කර්මයයි. මරණයට ආසන්නයේ දී ඇති වූ චේතනාව ඉදිරිපත් වී ඊළඟ ජීවිතයේ දී උපතට බලපාන්නේ ආසන්න කර්මය යි. නිතර නිතර පුරුදු පුහුණු කළ කර්ම ආචිණ්ණ කර්ම නමින් හඳුන්වයි. ධම්මික උපාසක නිතර පුරුදු කළ කුසල කර්ම අනුව ඔහුට දෙව්ලොව උපතකට ගති පහළ විය. චුන්ද සූකරික සත්ව ඝාතන ආදී අකුසල් කළ නිසා මරණයටත් පෙර ආසන්න දින කිහිපය තුළ දී අපා දුක් වින්දේ ය. ඔහු දුගතියේ පෙර නිමිති පහළ කළේ ය. එය ආචිණ්ණ කර්මයේ ස්වභාවය යි. බලවත් වූ චේතනා ශක්තියකින් වුව ද ප්‍රතිසන්ධියක් ලබා දීමට අසමත් කර්ම කටත්තා කර්ම නමින් හඳුන්වයි.

අප කරන ලද ඇතැම් හොඳ හෝ නරක හෝ කර්මවලට මෙලොව දී ම විපාක ලැබේ. එය හඳුන්වන්නේ දිට්ඨධම්මවේදනීය කර්ම නමිනි. උදාහරණ ලෙස පුණ්ණ නම් දුගියා, චිංචිමානවිකාව, සුප්පබුද්ධ රජු ආදී අය දැක්විය හැකි ය. එසේම අප විසින් කරනු ලබන සමහර කුසල්, අකුසල්වලට මතු ජීවිතයේ දී විපාක ලබාදෙනු ලැබේ. එය හඳුන්වන්නේ උපපජ්ජවේදනීය කර්ම ලෙසයි. නිදසුන් ලෙස දෙව්දත් තෙරුන් අපාගතවීම, සැරියුත් මහ රහතන් වහන්සේට පහර දුන් නන්දක යක්ෂයා අපාගතවීම, මහා ගුණැති උප්පලවණ්ණා මෙහෙණිය දූෂණය කළ නන්ද මානවකයා අපාගතවීම, ඉන්දික දුගියා අනුරුද්ධ මහ රහතන් වහන්සේට එක් දන් හැන්දක් දී දෙව්ලොව ඉපදීම, බණ අසමින් සිටි මැඬියා දෙව්ලොව ඉපදීම ආදිය සඳහන් කළ හැකි ය.

අපරාපරියවේදනීය කර්ම යනු මේ ජීවිතය ද, මතු ඊළඟ ජීවිතය ද හැරුණු කල දිගු සසර දී විපාක දෙන කර්මයි. නිදසුන් ලෙස චක්ඛුපාල හිමිගේ දෙනෙත් අන්ධවීම, මුගලන් මහ රහතන් වහන්සේට සොරුන් පහරදීම, අපුත්තක සිටුවරයාට ධනය ලැබීම, උප්පලවණ්ණා මෙහෙණියට විශිෂ්ට රූ සම්පත් ලැබීම ආදිය පෙන්වාදීමට පුළුවනි. ඇතැම් කර්ම මෙලොව විපාක දිය යුතු වුවත් මෙලොව දී විපාක දෙන්නට අවස්ථාවක් නොලැබුණොත් මතු විපාක නොදෙයි. ඒ විපාක අහෝසි වී යයි. එය හඳුන්වන්නේ අහෝසිකර්ම යනුවෙනි. උදාහරණයක් ලෙස දෙව්දත් තෙරුන් දැක්විය හැකි ය. දෙව්දත් තෙරුන් අවුරුදු 36ක් හොඳින් පැවිදි දිවිය ගත කර ඇත. ඒ අනුව එම හොඳ කර්මයන්ගේ යහපත් විපාක මතු භවයේ දී ලැබේ. එහෙත් උන්වහන්සේ අපාගත වූ බැවින් එම සැප විපාක නොලැබේ. ඒවා අහෝසි වී යනු ඇත. නමුත් පිරූ මහණදම් අපතේ නොයයි.

යමෙක් බුදු, පසේබුදු , මහරහතන් යන තත්ත්වයකට පත්වුවහොත් සියලු කර්ම ඉන් එහා දිවියක දී විපාක දීම නැති වෙයි. නිදසුනක් ලෙස අංගුලිමාල මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය පෙන්වා දිය හැකි ය.

කර්මය ගැන අවබෝධයක් ඇති අය අනිටු විපාකවලට බිය වෙති. ඉටුවිපාකවලට සතුටු වෙති. ඇතැම් අය කර්ම විපාක ගැන නොදන්නා නිසා මිත්‍යාදෘෂ්ඨි ඉගැන්වීම්වලින් වෙළී අවිද්‍යාවෙන් වැසී අන්ධ ව සිටින බැවින් කර්ම විපාකවලට බිය නොවෙති. කර්ම විෂය හා එහි ස්වභාවය ගැන නොදන්නා ඇතැම් අය ඉතා දරුණු අපරාධ සිදුකරනු ලබයි. ඒ සඳහා නිදසුනක් ලෙස මෑත සිදු වූ ඇෆ්ඝන් බාමියන් බුදු පිළිම සිත්පිත් නැති අය සේ විනාශ කිරීම දැක්විය හැකි ය. මෙය ඔවුන් සිදුකළේ මිත්‍යාදෘෂ්ටිය නැමති මෝහන්ධකාරයෙන් වැසී කටයුතු කළ නිසයි.

ඇතැමෙක් සත්ව ඝාතන හා විවිධ දරුණුූ අපරාධ කරන්නේ කර්මය යනු කුමක්දැයි අල්ප වූ හෝ දැනුමක් නොමැති බැවින් සමහරු දරුණූු අපරාධ කරන්නේ කුමන සිතකින් දැයි අපට අදහාගත නොහැකි ය. කර්මය හා එහි ස්වභාවය පිළිබඳ මඳ වූ හෝ අවබෝධයක් ඇත්නම් ඔවුහු පරලොව ගැන විශ්වාස කරති. සදාචාර සම්පන්න වෙති. කෙටියෙන් දැක්වුවහොත් මීට වඩා මේ ලෝකය, සමාජය සුන්දර වෙනු ඇත. යහපත් විය හැකි ය. වඩාත් විශ්වසනීය විශ්වයක්, සමාජයක් බවට පත්විය හැකි ය.

මිනිස් සමාජය මෙතරම් අපරාධ බහුල, විෂම, විපරීත, දූෂිත, භයානක, අප්‍රසන්න එකක්වීමට ප්‍රබලම හේතුව කර්මය හා එහි ස්වභාවය ගැන නොදැනීමයි. කර්මඵල ගැන විශ්වාස නොකිරීම මිථ්‍යාදෘෂ්ටියක් බව බ්‍රහ්මජාල සූත්‍රය ආදි සූත්‍ර කිහිපයක ම සඳහන් වේ.

කර්මඵල විශ්වාස නොකරන පුද්ගලයාට බෞද්ධයකු විය නොහැකි ය. බුදුදහම පිළිගෙන ඒ අනුව ජීවත්විය හැක්කේ කර්ම ඵල ගැන විශ්වාසයක් ඇත්නම් පමණි. සම්පූර්ණ බෞද්ධ චින්තනය ගොඩනැඟී ඇත්තේ කර්ම විපාක ශක්තිය පිළිගැනීම මතයි. බෞද්ධ විමුක්තිය අර්ථවත් වන්නේ ද මේ තුළිනි. කර්ම නිරෝධය සිදු වී දුක් කෙළවරවීම සිදුවන බැවින් බුදුදහමෙහි කර්ම විෂයයට විශේෂ තැනක් හිමි ව තිබේ.

පොසොන් අව අටවක

ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]