[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර තරණය: රූපයේ ඇත්ත ස්වභාවය

සසර තරණය 08:

රූපයේ ඇත්ත ස්වභාවය

ඔබ දන්නවා, ඒක අම්මා නොවනකම. නැත්නම් එයට කියනවා, අනාත්ම ස්වභාවයකින් යුක්ත රූපයක් කියලා. ඒ රූපයේ සත්ත්ව, පුද්ගල භාවයක් නොතිබුණු බව ඔබට පෙනෙනවා. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියට වඩන කෙනා විසින්, මේ විදිහට පංචඋපාදානස්ඛන්ධ ධර්මය පිරිසිඳ දකිනවා.

අප මෙලෙස කතා කළේ රූපය පිළිබඳව යි. මෙලෙස ම සංඥා, සංඛාර , විඤ්ඤාණ කියන ධර්මතා ටිකත් තේරුම් ගන්නට ඕනේ. වේදනාව කියනවා, අප අද වේදනා උපාදානස්ඛන්ධය විදිහට අම්මා කියන රූපයෙන් එන සැප සහගත වේදනාව විඳිනවා. ඒ වේදනාව අප බලාපොරොත්තු වෙන්නේ කොහේ තිබිලා ආපු විදිහට ද? රූපයේ තිබිලා ආ දේ විදිහට. ඒ නිසා අපට ඒ රූපයම ඕනේ වේදනාව විඳින්න. ඒ වගේ ම, අප හිතනවා ඒ සංඥාව තමයි, අපට පෙනුණේ කියලා. ඒ වගේම අම්මා වූ සංඛාරයත්, අම්මා වූ දැන ගැනීම කියන දේත් අප දන්නවා. එවිට මේ සියල්ල එකක් ලෙස හමුවුණ මට්ටමට කියනවා, උපාදානස්ඛන්ධ පංචකයක් කියලා. ස්කන්ධ පංචකය තමයි, අනාත්ම සතර මහා ධාතුවත්, සතර මහා ධාතුව නිසා මේ මොහොතේ හටගත්ත වර්ණ සටහන කියන එක , රූපස්ඛන්ධය යි. ඒ වගේ ම මේ ස්පර්ශ ප්‍රත්‍ය ඇහැට ගැටුණට පසුව ආපු වේදනාවට කියනවා, චක්ඛු සම්මිශ්‍රණයෙන් උපන් ඒ වේදනාවට කියනවා, වේදනා ස්කන්ධය කියලා. ඒ වගේම ඒ පිළිබඳ ඇතිවුණ සංඥාවට කියනවා, සංඥා ස්ඛන්ධය කියලා. ඒ වේදනා, සංඥා, දෙක දැනගත්තකමට කියනවා, හිතපුකමට කියනවා, සංඛාරස්ඛන්ධය කියලා. දැනගත්ත කමට කියනවා විඤ්ඤාණස්ඛන්ධය කියලා. මෙයට කියනවා ‘භූතය’ කියලා. එනම් යථාර්ථ ස්වභාවය යි. එනම්, පවතින ඇත්ත ස්වභාවය යි.

මේ ටික ඇති තැනක අප ඔය ගැන සිතා, අම්මව දැනගන්න කම, අප හිතනවා නිරුද්ධ වුණ රූපය ගැන ‘අම්මා’ ඉන්නවා කියලා. ඊටපසුව අම්මා හොඳයි කියලා අම්මගේ සැප සහගත බවක් අප බලාපොරොත්තු වෙනවා. අම්මා වූ සංඥාව, අම්මා ගැන හිතන්න පුළුවන්කම සහ අම්මා ගැන දැනගන්නකමට කියනවා, පංච උපාදානස්ඛන්ධය කියලා. එහෙමනම්, මෙය පිරිසිඳ දකින විට අපට පේනවා, උපාදානස්ඛන්ධය හිස් දෙයක්. ඇත්ත යථාර්ථයක් විදිහට විමසා බලන විට, ඇති දෙයක් නැහැ. හිස් දෙයක්. ඇයි? මේ හදාගත්ත මට්ටම බොහොම බරසාර දෙයක් නොවෙයි. රූපය පිළිබඳ විමසන විට අපට අම්මාව පනවා ගන්න, රූපයක් හම්බවෙන්නේ නැති වෙලා යනවා. බය වෙන්න එපා. මේ කියන්නේ අම්මා , තාත්තාත් නැහැ කියන එක නො වෙයි. ගොඩක් දෙනෙක් ඊටපසුව වරද්දා ගන්නා තැනක් එය. ඒකියන්නේ අම්මා තාත්තාත් නැහැ, මොනවාත් නැහැ කියන එක නො වෙයි. මේ කියන්නේ ඇසට පෙනෙන රූපය කියන ඇත්ත ස්වභාවය පිළිබඳව යි.

මේ කියන්නේ සම්මුති ඥානය නැති කරගන්න එක නොවෙයි. කෙනෙකුට සම්මුති ඥානය තියෙනවා. කම්මස්සගත සම්මා දිට්ඨියට එය අදාළ නැහැ. මේ කතා කරන්නේ කම්මස්සගත සම්මා දිට්ඨිය, සම්මුති ඥානය ඇති කෙනෙකුට , සම්මුති ඥානය ඉක්මවා යන ලෝකෝත්තර ඥාන දර්ශනයක් පිළිබඳව යි. මේ ලෝකෝත්තර ඥාන දර්ශනය තියෙන තැනක දී ශුන්‍යතාවයක් කියන දේ ගැන විතරයි, අපට කතා කරන්න පුළුවන්. ශුන්‍යතාවයක් කියන්නේ මොකකින්වත් නැහැ, හිස් නෙවෙයි. සත්ත්ව, පුද්ගල බවින් ඇති ශුන්‍යතාවයක් පිළිබඳව යි. එවිට අම්මා හෝ මම හෝ වෙනත් පුද්ගල භාවයක් ඇත්තේ නැහැ. යම් අධ්‍යාත්මික පඨවියක් තියෙනවා නම්, බාහිර ලෝකයේ පඨවියක් තිබෙනවා නම්, පඨවි ධාතු එක සමාන යි. එවිට අම්මගේ පඨවි, මගේ පඨවි, තව කෙනෙකුගේ පඨවි යනුවෙන් දකින්නේ නැහැ. පඨවි ධාතුව පඨවිය ම යි. තේජෝ ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු සතර මහා ධාතුව සමානම යි. සතර මහා ධාතු සමාන තැනක අපට මේ නානත්වයක් ඇවිත් තියෙන්නේ මක් නිසාද? අප සංඥා නානත්වයක්, පනවා ගත්තකම නිසා. ඒ නිසා මෙසේ කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය, ධර්ම මාර්ගය තුළ නිවැරැදිව ගමන් කරනවා නම්, එයා මේ ධර්මතා ටික පිරිසිඳ දකින්නට ඕනේ.

ඒ වගේම ඒ කෙනා, ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කරනවා. කුමක්ද, ප්‍රහාණය කළ යුතු ධර්මය? අවිද්‍යාවත්, භව තණ්හාවත් කියන මේ ධර්ම කාරණා දෙක ප්‍රහාණය කළ යුතු යි. අවිද්‍යාව ප්‍රහාණය කළ යුතු ධර්මයක්. අවිද්‍යාව කියලා කියන්නේ, නොදන්නාකම යි. චතුරාර්ය සත්‍ය නොදන්නාකමට කියනවා, අවිද්‍යාව කියලා. චතුරාර්ය සත්‍ය කියලා, කියනවා, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන ධර්මයන්ට. ඒකෙනුත් දුක්ඛ සත්‍ය, දුක කියලා කියනවා, ජාති පි දුක්ඛා, ජරා පි දුක්ඛා යනුවෙන් අප දුක දන්නවා. මේ දුක බොහෝ වේලාවට, ඉපදීම, ලෙඩවීම, මරණය , මහලුබව නිසා එන දුක දුක්ඛ වේදනාවකින් දැනෙන ලක්ෂණයක්. එය අපට විතරක් නෙවෙයි, කාටත් පොදු ධර්මයක්. ඒ කියන්නේ එය දකින්න විශිෂ්ට නුවණක් අවශ්‍ය වන්නේ නැහැ. ලෝකයේ ඕන කෙනෙක් ඒ මට්ටම තේරුම් ගන්නවා. ඒ දුක කියන දේ. එනම්, තිරිසන් ගත සතෙකුටත් දුක්ඛ වේදනාවකින් එන දුක දැනෙනවා. හැබැයි, එයාට කියන්නේ නැහැ, දුක්ඛ සත්‍ය අවබෝධ කළා කියලා.

බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කළේ, පෙර නොඇසූ විරූ දුකක් අවබෝධ කළේ. ඒ දුක පෙර අසා තිබුණේ නැහැ. ඒ කියන්නේ එය නුවණින් දුටු දුක්ඛ ආර්ය සත්‍යයක්. ඒක දුක්ඛ වේදනාවකින් පනවන දෙයක් නොවෙයි. මොකද? දුක්ඛ වේදනාව ලෝකයේ කාටත් පොදුවේ දැනෙන දෙයක්. ඒක කාටත් ද ැනෙනවා. කාටත් දැනගන්න පුළුවන්. ඒ මට්ටම නෙවෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ ආර්ය සත්‍යය. දුක්ඛ ආර්ය සත්‍ය යනුවෙන් දේශනා කළේ මොකක්ද? මේ කායික දුකත්, මානසික දුකටත් කිව්වා දුක කියලා, කායික දුකත්, මානසික දුකත් තබා ලෝකයේ තවත් දුකක් තියෙනවා නම්, ඒකට කිව්වා, දුක්ඛ ආර්ය සත්‍ය කියලා. එවිට ඒ මට්ටම කයට දැනෙන්නෙත් නැහැ, මනසට දැනෙන්නෙත් නැහැ. ඒකට තමයි, අප මුලින් අවබෝධ කළ යුතු’යි කිව්වේ, දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. ඒ කුමක්ද ?

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 05 වනදා සිකුරාදා අපරභාග 02.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]