මැදින් අමාවක 2019.04.04
යන යන තැන ගෙනයන පින් පව්
හික්මීම, හැදිච්චකම ආදී ගුණාංග බෞද්ධ ජනතාවට අමුතුවෙන් ඉගැන්විය යුතු චරිතාදර්ශ
නොවේ. හැදිච්චකම නම් ශික්ෂණයයි. කායික වාචසික සංවරයයි. බැලූ බැල්මට අපේ සමාජයේ වැඩි
පිරිසක් සිල්වත් ය. එසේ නම්, එවැනි පරිසරයක ගැටලු, ප්‍රශ්න අවම විය යුතු ය.
ඔවුනොවුන් හා ජීවන පැවැත්ම පහසු විය යුතු ය. හිත් රිදවීම්, බිය තැති ගැනීම් අඩු විය
යුතු ය. මරණ බිය, සොර බිය, කාමය වරදවා හැසිරීම්, බොරුව, වංචාව, සුරාව ඇතුළු
මත්ද්‍රව්‍ය භාවිතය අවම විය යුතු ය. එහෙත් සමාජය තුළ මේ සියලු නොවටිනාකම්, පාපකම්
අනේක වර අප ඇස ගැටේ. අසන්නට ලැබේ. එසේ නම් මෙහි කුමක් හෝ ප්‍රශ්නකාරී බවක් තිබිය
යුතු ය. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය නම් සිය අභිමානය ආරක්ෂා කරගනු පිණිස ඇති දේ ලෙස
නැති දේ හුවා දැක්වීම ය. යම් කෙනෙක් වෙතින් ගම්‍ය වන සිල්වත් බව ද එලෙස ය. නැති
සිල්වත්කම් පෙන්වන ඇතැම්හු ලෝකයට රහසේ දුසිල්වත්කම් කරති. ප්‍රශ්නකාරී ස්වභාවයන්
ඇති වන්නේ එවිට ය. සමාජ ජීවිතය අසහනකාරී වන්නේ, සිත් රිදවීම් ඇති වන්නේ එවිට ය.
සීලය නම් බාහිරට පෙනෙන්නට මවාගත් ප්‍රයෝගකාරී හැසිරීමක් නොව මනුෂ්‍යයෙක් ලෙස සිය
අභ්‍යන්තරයෙන් ම ගොඩනඟා ගත යුතු මහාර්ඝ චර්යා ධර්මයන් ය.
දැලිකුණු වැකුණු වත අප පිරිසුදු ජලයෙන් සෝදා හරින්නේ එහි පිළිකුල් බව නිසා ය.
අපවිත්‍ර සිරුර තමන්ට සේ ම සමාජයටද අපුල ය. මේ නිසා බොහෝ දෙනා ඒ ගැන සැලකිලිමත්
වෙති. එහෙත් සිත සෝදා හරින්නට නම් බොහෝ දෙනෙක් උනන්දුවනු නො පෙනේ. බාහිර කිළි කුණු
නිසා ශරීරය අපිරිසුදු වනවා සේ සිතෙහි උපදින මිනිස්කමට අගෝචර සිතිවිලි නිසා සිත ද
කිළිටි වේ. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ රාග, ද්වේෂ, මෝහා දී කෙලෙස් මළ නිසා
අපවිත්‍ර වන සිත කුසල් සිතිවිලිවලින් සෝදා හරින ලෙස ය.
හිරි ඔත්තප්ප යනුවෙන් ඉතා වැදගත් වචන දෙකක් සම්බුද්ධ දහමෙහි ඉගැන්වේ. ‘හිරි’ නම්
පව් කිරීමට ඇති ලජ්ජාව ය. ඔත්තප්ප නම් පවට ඇති බිය ය. ශික්ෂණයක් නොවන්නෝ නම් පවට
ලජ්ජා බිය නැත්තෝ ම ය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මද මානාදී සිතිවිලි සිත බුර බුරා නැගෙන
විට ඒවා වචනයෙන් ද, ක්‍රියාවෙන් ද අනුන්වෙත මුදා හරින්නට එවැන්නෝ පසුබට නොවෙති.
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි, එනම් උතුම් නිර්වාණය කරා යන ගමන් මඟෙහි සීල ශික්ෂාවට
අයත් ‘සම්මා වාචා’ නම් මාර්ගාංගය පෞද්ගලිකව තම ජීවිතයට ද, පොදුවේ සමාජයීය පැවැත්මට
ද ඉතා වටිනා ගුණධර්මයකි. යහපත් වචනය අගයන පුද්ගලයා කිසිවිටෙක මුසා පවසන්නේ නැත.
කේළමෙන්, ඕපාදූප දෙඩීමෙන් වළකිනු ඇත. රළු වදනින් මිදී මෘදු වදන්ම තෙපළනු ඇත.
එවැන්නන් ඇසුර ද සුව දනවන සුළු ය. ආශිර්වාදාත්මක ය. එහෙත් එවැන්නෝ දුලබ ය.
සම්බුදු දහම් මග යන බෞද්ධයකු ලෙස තමන් මේ තාක් කළ කී දේ ගැන ආවර්ජනයක යෙදෙන්නේ නම්
මෙතෙක් වැරැදි මග ගියා නම් හිතට එකඟව නිවැරැදි වන්නට තවත් කාලය ඉතිරි වී තිබේ.
නිවෙසේ හෝ වේවා, රැකියා ආයතනයේ හෝ වේවා ගත කරන කාලයෙත් උපරිම ප්‍රයෝජන ගන්නේ
මොනතරම් වේලාවක් ද? අනුන්ගේ අඩුපාඩු සොයමින්, ඇතැම්විට නැති වැරැදි නිර්මාණය කරමින්
ඔවුන් නිර්දය ලෙස විවේචනය කරන්නට මොන තරම් කාලයක් වෙන් කරනවා ද? එය එක් අතකින් කාලය
සොරා ගැනීමකි. වංචාවකි. මේ නිර්දය විවේචනයන් තුළින් ලද ඵලය හෝ සැනසීම කුමක්ද? සිතට
දැනෙන පහත් තෘප්තිය මිස අන් කවරක් ඉතිරි වන්නේ ද? මේ පුරුදු තුළින් රැස් වන්නේ
අකුසල් ය. නිවැරැදි කරුවන් වැරැදිකරුවන් ලෙස හුවා දැක්වීම තුළ ඔවුන්ට කිසිදු
හානියක් වන්නේ නැත. හානිය, පාපය ඒ අකුසලය කරන්නාටම ය. හිතනවාටත් වඩා වේගයෙන් කාලය
ගෙවී යයි. තත්පරයෙන් තත්පරය අපි මරණයට ළං වෙමු. ඒ යන ගමනේ දී ගෙන යන්නේ පින් පව්
පමණි. තමන් අභිමානවත් ව ජීවත් විය යුතු ය. ඊට ඇවැසි හික්මීම ය. සිල්වත්කම ය. |