[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවනට වැඩි ශ්‍රී මිහිඳු පුර අටවක පෝය අදයි

සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමරු ලෙස උපත ලබා, වැඩිහිටියකු බවට පත් ව අභිනිෂ්ක්‍රමණය කර දුෂ්කර ක්‍රියා කොට සම්බුද්ධත්වය ලබා, මහාපරිනිර්වාණයට පත්වීම නිසා වෙසක් පොහොය ලෝකවාසී සමස්ත බෞද්ධ මහජනතාවට සුවිශේෂ දිනයකි. එපරිද්දෙන් ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට ඒ හා සමාන ව වැදගත් වන තවත් පොහොය දිනයක් වන්නේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය යි. මෙදින මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කර ලංකාවාසීන්ට සම්බුද්ධ දේශනාව දායාද කරමින් මහා සංස්කෘතියක්, මෙලොව සහ පරලොව ජය ගත හැකි අභිනව මාවතක් මෙරට වැසියන්ට විවර කර දුන්නහ. රාජරාජ මහාමාත්‍යවරුන් මෙන් ම රටවැසියා ද මිහිඳු හිමියන්ට අනුගත වෙමින් මේ නව මාවතේ ගමන් කරන්නට වූහ. මේ නිසා තමන්ට කළ උපකාරයට කෘතගුණ සැලකූ මෙරට බෞද්ධ ජනතාව උන්වහන්සේ ‘අනුබුදු’’ නාමයෙන් හඳුන්වන්නට වූහ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි කොට සැලකූහ. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල යෙදෙමින් කටයුතු කරන්නට පටන් ගත්හ. මිහිඳු පෙරහර, දන්සැල් පැවැත්වීම, සීල සමාදාන වැඩසටහන් ආදිය ප්‍රමුඛ කොට ගත්හ. පොසොන් පොහෝ දින හෙළදිවට වැඩම කොට චුල්ලහත්ථිපදෝපම සුත්ත දේශනාව දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස වෙත දේශනා කිරීම පළමු ධර්ම දේශනාව ලෙසත්, උන්වහන්සේගේ පිරිනිවීම මහා පරිනිර්වාණයක් ලෙසත් සැලකීමට පුරුදු වූහ. මේ නිසා ම මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවුණු වප් මස පුර අටවක දිනය ද ලංකාවාසී බෞද්ධයන්ට සුවිශේෂ දිනයකි. ලංකාවට වැඩම කරන විට අවුරුදු තිස් දෙකක වයසක පසුවූ මිහිඳු මහරහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වන්නේ අවුරුදු අසූවේ දී ය. දීපවංසය, මහාවංසය සහ සමන්තපාසාදිකාව දක්වන කරුණුවලට අනුව උන්වහන්සේ මෙරට අවුරුදු හතළිස් අටක් වැඩ වාසය කර ඇත. උත්තිය රජතුමාගේ අටවැනි රාජ්‍ය වර්ෂයේ දී උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ බව මහාවංසය වාර්තා කර තිබේ. ආදාහනයෙන් පසු භෂ්මාවශේෂ හෙළදිව නොයෙක් පළාත්වලට වැඩමවා ස්තූප කළ බව සඳහන් වේ. එනම්:- 'උපඩ්ඪධාතුං ගාහෙත්වා චෙතිය පබ්බතෙ පිච-සබ්බේසු ච විහාරෙසු ථූපෙ කාරෙසි ඛත්තියො යනුවෙනි.' මෙහි අදහස අනුව මිහින්තලයෙහි භෂ්මාවශේෂවලින් භාගයක් තැන්පත් කළ බවත්, ඉතිරි කොටස ලංකාවේ නොයෙක් තැන්වල ස්තූප නිර්මාණයට ගෙන ගිය බවත් සඳහන් වේ.


වප් පුර අටවක

සැප්තැම්බර් 29 සඳුදා අ.භා 04.30 පුර අටවක ලබා 30 අඟහරුවාදා අ.භා 06.03න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]