|
වප් පුර අටවක
පෝ දා 2025-09-29
පිරිසුදු සිත ප්‍රබල ය
විවිධ අපද්‍රව්‍ය මුදාහැරීම නිසා අපවිත්‍ර
වූ පරිසරය සිතට දනවන අමිහිර ප්‍රබල ය. එයින් නොනැවතී මිනිසා
ඇතුළු සියලුම ජීවී කොට්ඨාසයනට සිදුකරන අහිතකර බලපෑම් අනේකවිධ
ය. ඒ අපිරිසුදු බවේ අමිහිර පලයන්ට දීර්ඝ කාලයක් පුරා මුළු ලෝකය
ම මුහුණ දෙමින් සිටී. ජීවීන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් වන
තරමට විටෙක මේ අපවිත්‍ර බව හේතු සාධක වී තිබේ.
මේ කටුක අත්දැකීම්වලින් බේරී සිටින්නට නම්
අපිරිසුදු පරිසරය පිරිසුදු කරන්නටත්, නැවත එම තත්ත්වයට පත්
නොවන තැනට වග බලා ගන්නටත් මිනිසාගේ ආකල්ප වෙනස් කළ යුතු ම ය.
මිනිස් සිතිවිලි අපවිත්‍ර වන තාක්, එම සිතිවිලි ක්‍රියාවට
නැඟෙනතාක් මෙහි සාධනීය බවක් අපේක්ෂා කළ නොහැකි ය.
පරිසරයට සේ ම මිනිසාට ද මෙය පොදු ය. නිසි
ක්‍රමවේදයකින් තොරව සරල ව කියනවා නම් ඉවක් බවක් නැති ව පරිසරයට
මුදා හරින පොලිතින්, ප්ලාස්ටික් ආදී නොදිරන අපද්‍රව්‍ය සේ ම
අනෙකුත් කිළි කුණු නිසා පරිසරය වැනසෙන්නා සේ මිනිසාගේ සිත ද
අපවිත්‍ර වේ. එවිට ඒ සිතට නැඟෙන සිතිවිලි ද, ඒ සිතිවිලි
මෙහෙයවා කරන ක්‍රියාකාරකම් ද අපවිත්‍ර ය. දූෂිත බව නිසා පරිසරය
විනාශ වන්නා සේ දූෂිත සිතිවිලි නිසා මිනිසා ද, ඔහු නිසා සමස්ත
සමාජය ද විනාශ වන්නේ ය.
එසේ නම් ‘සිත’ පිරිසුදු කර ගන්නට
ප්‍රමුඛත්වය දිය යුතු ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ
‘පභස්සරමිදං භික්ඛවේ චිත්තං’ සත්ත්වයාගේ සිත ප්‍රකෘතියෙන්
පිරිසුදු බව ය. මෙලොවට බිහි වූ දා සිට අරමුණු වන රාගාදී කෙලෙස්
ධර්ම නිසා ඒ සිත අපිරිසුදු වන බව ය. එසේ නම් ඒ අරමුණු වන
කෙලෙස් ධර්ම පිළිබඳ අප නිවැරැදි සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතු
ය.
අප නිරන්තරයෙන් කල්පනාවට ගත යුතු දෙයක්
තිබේ. ඒ අපිරිසුදු පරිසරයක දුර්ගන්ධය හමන්නා සේ අපිරිසුදු කාය
වාග් කර්ම ඇති පුද්ගලයා ද දුර්ගන්ධවත් වන බව ය. ඔහු සමාජයෙන්
ප්රතික්ෂේපවන බව ය. පිළිකුලට ලක්වන බව ය. එතැනින් ද නොනැවතී ඒ
පුද්ගලයාගේ මේ ජීවිතය සේ ම පරලොව ජීවිතය ද දුගතිගාමී වන බව ය.
එහෙයින් මේ සිත කිලිටි නොවන පරිදි ආරක්ෂා කරගත යුතු ය.
න තං මාතා පිතා කයිරා
අඤ්ඥේ වාපිච ඤාතකා
සම්මා පණිහිතං චිත්තං
සෙය්‍යසො නං තතො කරේ
ලෙස ධම්ම පදයේ විස්තර කර තිබේ.
යම් පුද්ගලයෙක් තමන්ගේ සිත කිළිටි වන්නට
නොදී මනා කොට තබා ගන්නේ ද, ඒ සිත ඒ පුද්ගලයාට කරන යහපත මොන
තරම් ද යත්, ඔහුට ඒ සා යහපතක් කරන්නට ඔහුගේ මව්පියන්ට හෝ
නෑදෑයින්ට හෝ නොහැකි බව ය.
පිරිසුදු සිතේ යහපත තේරුම් ගන්නට මේ බණ පදය
වුව ප්‍රමාණවත් ය. |