අනුබුදු මිහිඳු
මහ රහතන් වහන්සේ පිරිනිවනට වැඩි
ශ්‍රී මිහිඳු පුර අටවක පෝය අදයි
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමරු ලෙස උපත ලබා, වැඩිහිටියකු බවට පත් ව
අභිනිෂ්ක්‍රමණය කර දුෂ්කර ක්‍රියා කොට සම්බුද්ධත්වය ලබා, මහාපරිනිර්වාණයට පත්වීම
නිසා වෙසක් පොහොය ලෝකවාසී සමස්ත බෞද්ධ මහජනතාවට සුවිශේෂ දිනයකි.
එපරිද්දෙන් ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට ඒ හා සමාන ව වැදගත් වන තවත් පොහොය දිනයක්
වන්නේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය යි. මෙදින මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට
වැඩම කර ලංකාවාසීන්ට සම්බුද්ධ දේශනාව දායාද කරමින් මහා සංස්කෘතියක්, මෙලොව සහ පරලොව
ජය ගත හැකි අභිනව මාවතක් මෙරට වැසියන්ට විවර කර දුන්නහ. රාජරාජ මහාමාත්‍යවරුන් මෙන්
ම රටවැසියා ද මිහිඳු හිමියන්ට අනුගත වෙමින් මේ නව මාවතේ ගමන් කරන්නට වූහ. මේ නිසා
තමන්ට කළ උපකාරයට කෘතගුණ සැලකූ මෙරට බෞද්ධ ජනතාව උන්වහන්සේ ‘අනුබුදු’’ නාමයෙන්
හඳුන්වන්නට වූහ.
උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි කොට සැලකූහ. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල
යෙදෙමින් කටයුතු කරන්නට පටන් ගත්හ. මිහිඳු පෙරහර, දන්සැල් පැවැත්වීම, සීල සමාදාන
වැඩසටහන් ආදිය ප්‍රමුඛ කොට ගත්හ. පොසොන් පොහෝ දින හෙළදිවට වැඩම කොට චුල්ලහත්ථිපදෝපම
සුත්ත දේශනාව දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස වෙත දේශනා කිරීම පළමු ධර්ම දේශනාව
ලෙසත්, උන්වහන්සේගේ පිරිනිවීම මහා පරිනිර්වාණයක් ලෙසත් සැලකීමට පුරුදු වූහ. මේ නිසා
ම මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවුණු වප් මස පුර අටවක දිනය ද ලංකාවාසී
බෞද්ධයන්ට සුවිශේෂ දිනයකි.
ලංකාවට වැඩම කරන විට අවුරුදු තිස් දෙකක වයසක පසුවූ මිහිඳු මහරහතන් වහන්සේ
පරිනිර්වාණයට පත් වන්නේ අවුරුදු අසූවේ දී ය. දීපවංසය, මහාවංසය සහ සමන්තපාසාදිකාව
දක්වන කරුණුවලට අනුව උන්වහන්සේ මෙරට අවුරුදු හතළිස් අටක් වැඩ වාසය කර ඇත. උත්තිය
රජතුමාගේ අටවැනි රාජ්‍ය වර්ෂයේ දී උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ බව මහාවංසය
වාර්තා කර තිබේ. ආදාහනයෙන් පසු භෂ්මාවශේෂ හෙළදිව නොයෙක් පළාත්වලට වැඩමවා ස්තූප කළ
බව සඳහන් වේ.
එනම්:- 'උපඩ්ඪධාතුං ගාහෙත්වා චෙතිය පබ්බතෙ පිච-සබ්බේසු ච විහාරෙසු ථූපෙ කාරෙසි
ඛත්තියො යනුවෙනි.' මෙහි අදහස අනුව මිහින්තලයෙහි භෂ්මාවශේෂවලින් භාගයක් තැන්පත් කළ
බවත්, ඉතිරි කොටස ලංකාවේ නොයෙක් තැන්වල ස්තූප නිර්මාණයට ගෙන ගිය බවත් සඳහන් වේ.
අම්පාර නගරයට ආසන්න රජගල විහාර භූමියෙන් හමුවුණු සෙල් ලිපියකින් භෂ්මාවශේෂ ලංකාවේ
නොයෙක් පළාත්වලට ගෙන ගිය බවට තහවුරුවක් හමුවේ. එම සෙල්ලිපියේ ‘යෙ ඉමදිප පඨමය ඉඩිය
අගතන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ‘ යනුවෙන් සඳහනක් ද ඇතුළත් ව ඇත. මෙයින් ප්‍රකාශ වන්නේ
‘‘මුලින් ම මෙම ද්වීපයට සමෘද්ධිය ගෙන පැමිණි ඉට්ඨිය තෙරුන්ගේ සහ මහින්ද තෙරුන්ගේ
ස්තූපය’’ යන්න යි.
මේ සෙල්ලිපිය තහවුරු කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට රජගල
විහාරයේ දාගැබක් ඉදි කර තිබුණු බවකි.
මෙම තොරතුරු ඇතුළත් ව මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමේ සිට පරිනිර්වාණය දක්වා
තොරතුරු වාර්තා කිරීමට මහාවංසය කතු හිමි (දික්සද සෙනෙවියා පිරිවෙන්පති මහානාම හිමි)
වෙන් කර ඇති ගාථා ප්‍රමාණය පමණක් හයසිය හතළිස් නවයකි. ලංකාව වෙනුවෙන් මිහිඳු හිමි
කළ මහත් කැපකිරීම් එම ගාථාවල ඇතුළත් ය.
මේ අනර්ඝ ශාසනික සේවයට කෘත ගුණ සැලකීම් වශයෙන් එකල රාජ්‍ය කර වූ උත්තිය රජතුමා සහ
රටේ ජනතාව ආදාහන කටයුතු උසස් මට්ටමින් සිදු කර තිබේ. අනුරාධපුර නගරය පමණක් නොව ඒ
අවට ගව් තුනක පමණ ප්‍රදේශයක මාර්ග තොරණවලින් සහ ධජ පතාකවලින් සැරසීම, මාර්ගවල වැලි
අතුරා පුන්කලස් තැබීම සහ පහන් දැල්වීම, මාර්ග මල්වලින් සැරසීම, දෙණ රත්තරනින් සකසා
තිබීම, දේහය රන්සිවි ගෙයක තබා දින හතක් පූජා පැවැත්වීම, දෙණ රැගෙන වීථි සංචාරය
කිරීම, සුවඳ දරවලින් චිතකය සකස් කිරීම ආදිය සිදු කළ බව මහාවංසයයේ විසිවන පරිච්ඡේදයේ
මෙසේ වාර්තා කර තිබේ.
‘‘සමලංකරිත්වාන පුණ්ණඝටං තොරණාරනඤ්ච මාලග්ගියං පදීපො ජාලයිත්වාන නිබ්බුතෙ දීප
ජෝතකෙ’’ ‘‘රාජා ඛො උත්තියො නාම කූටාගාරං වරුත්තමං දස්සනෙය්‍යං අකාරෙසි පූජෙසි
දීපජෝතකං ’’ ‘‘අලංකතෙන මග්ගේන බහුධාලංකතං පුරං ආනයිත්වාන නගරෙ වාරෙත්වා රාජ
වීථියා’’ ‘‘මහාවිහාරං ආනෙත්වා එත්ථ පඤ්හම්බක මාලකෙ කූටාගාරං ඨපාපෙත්වා සත්තාහං සො
මහීපති’’ ‘‘තොරණද්ධජ පුප්ඵෙහි ගන්ධපුණ්ණ ඝටෙහිච විහාරං ච සමන්තා ච මණ්ඩිතං
යොජනත්තයං’’ ‘‘අහු රාජානු භාවෙන දීපං තු සකලං පන ආනුභාවෙන දෙවානං තථෙවාලංකතං අහු’’
නානා පූජා කාරයිත්වා තං සත්තාහං මහීපති පුරත්ථිම දිසාභාගෙ ථෙරානං බන්ධමාලක’’
මෙම ආදාහන පූජ්‍යෝත්සවය ලක්දිව භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් පූර්ණ රාජ්‍ය
අනුග්‍රහය සහිත ව සිදු කළ පළමු අවස්ථාව ද වේ. මිහිඳු මහරහතන් වහන්සේ කෙරෙහි අසීමිත
ගෞරවයකින් රටේ රජතුමා සහ රටවැසියා ක්‍රියා කළ ආකාරය ආදාහන පූජ්‍යෝත්සවය පිළිබඳ
තොරතුරුවලින් පෙනේ.
මෙදින රැස් වූ මහජනතාව හඬමින්, වැළපෙමින්, ඇඟිලි බැඳගෙන, හිස මුදුනෙහි දෑත් තබාගෙන,
වන්දනා කරමින් සහ ගෞරව කරමින්, මහත් ශෝකයකින් චිතකයට ගිනි දැල් වූ බව දීපවංසය
වාර්තා කර ඇත.
මෙම තොරතුරු නිසා වප් මස පුර අටවක පොහොය දිනය ලංකාවාසී බෞද්ධ ජනතාවට අනුබුදු මිහිඳු
මහරහතන් වහන්සේ වෙනුවෙන් කෘත ගුණ සැලකීමේ අනුස්මරණීය දිනයකි. උන්වහන්සේගේ වැඩමවීම
නො වන්නට මෙතරම් වටිනා ධර්මයක් ලොවට හිමි නො වීමට ඉඩ තිබුණි. එබැවින් සම්බුදු සසුන
හෙළදිව පවතින තාක් කල් ‘අනුබුදු මිහිඳු හිමි පරිනිර්වාණය“ අනුස්මරණය කළ යුතු වේ; ඒ
වෙනුවෙන් පෙළගැසිය යුතු වේ. |