සතුටින් පින් අනුමෝදන් වීමත්
පින් වැඩෙන පින්කමක්
සිතිවිලි කියන්නේ මේ ජීවිතයට ප්‍රබල ව බලපාන දෙයක්. අපේ සිතේ හට ගන්නා යහපත්
සිතිවිලි වේවා අයහපත් සිතිවිලි වේවා මේ දෙක ම ජීවිතයකට ප්‍රබල ව බලපානවා.
අප ජීවත්වන කාලය ටිකයි. ඒ කාලය කෙ තරම් තව ඉතිරි ව තිබේද කියා අප දන්නේ නැහැ. අප
එකිනෙකාට ඉතිරිව තිබෙන්නේ එක එක ආයුෂ ප්‍රමාණයන්. එය අවුරුදු අසූවකට වඩා ඉතා කෙටි
කාලයක් විය හැකියි.
මේ ජීවිතයට වගේම පරලොව ජීවිතයටත් හැම දෙයකට ම මුල් වන්නේ සිත යි. අපේ සිත මෛත්‍රී,
කරුණා, මුදිතාව, දයානුකම්පාව වගේ ලස්සන ගුණධර්මවලින් ලස්සන නම්, ඒ ලස්සන සිත
මුල්වෙලා කතා කරන වචනත් ලස්සන යි. ඒ සිත මුල්වෙලා කරන කටයුතුත් ලස්සන යි. එවිට අපේ
මුළු ජීවිතය ම ලස්සන යි.
පිනෙන් පිරෙන සිතක් තිබෙන ශ්‍රාවකයා සැබෑම ලස්සන යි. එවැනි පින්වන්තයන්ගේ සසර ගමන
ගැන කියැවෙන සිදුවීමක් මේ.
අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩසිටින කාලයේ ඉතාමත් අසිරිමත්
පින්වන්තයෙක් ජීවත් වූවා. එතුමාගේ ගිහි ජීවිතය මෙන්ම, පැවිදි ජීවිතය ද ඉතාමත්
අසිරිමත්. ඒ සම්බුදු සසුනේ වැඩසිටි ජෝතිය නම් රහතන් වහන්සේ යි.
ඈත අතීතයේ දඹදිව බරණැස එක සාමාන්‍ය පවුලක අය්යා, මල්ලි දෙදෙනෙක් සිටියා. ඔවුන්ගේ
ජීවිකාව වූයේ උක් වගාව යි. උක් අඹරා, පැණි කර විකුණා ඔවුන් ජීවත් වූවා. එදා තිබූ ඒ
උක් ගස විශේෂයි. එක කොනක් කපා භාජනයකට පහත් කළ පසු ඒ උක් ගසේ තිබෙන පැණි සියල්ල ම
භාජනයට බේරෙනවා.
දිනක් මල්ලි උක් හේනට ගොස් උක් ගස් දෙකක් කපාගෙන පැණි හැලියක් හදා ගත්තා. ඔහු නැවත
එද්දී දකින්නට ලැබුණා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වැඩම කරනවා. උන්වහන්සේ
දුටු සැණින් ඒ තරුණයාගේ සිත පැහැදුණා. වීතරාගී ව, වීතදෝසී ව, වීතමෝහි ව වැඩ සිටින
උන්වහන්සේගේ අසිරියට මේ තරුණයාගේ සිතේ සතුටක් උපන්නා. උන්වහන්සේගේ අතේ තිබූ පාත්‍රය
දුටු මේ තරුණයා සිතුවා.
“ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩ සිටිනවා. මගේ ළඟ පූජා කර ගන්න උක් පැණිත් තිබෙනවා. මේ
අවස්ථාවෙන් මම ප්‍රයෝජන ගන්න ඕන” යැයි සිතා පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කොට
පාත්‍රය ගෙන උක් පැණිවලින් පාත්‍රය පුරවා පූජා කොට උන්වහන්සේගේ සිරිපා වන්දනා කළා.
“ස්වාමීනි, මා අග්‍ර රසයෙන් යුතු මේ පැණි දන් දුන්නා. ඒ පිනෙන් මට දෙව් මිනිස් සැප
කෙළවර ඒ අමා මහ නිවන් සුව ලැබේවා’යි ප්‍රාර්ථනාවක් කළා. පසේ බුදුරජාණන් වහන්සේ ඔහුට
ආශිර්වාද කර අහසට පැන නැඟී නො පෙනී වැඩියා. මේ ක්‍රියාව කළේත්, ප්‍රාර්ථනාව සිදු
කළේත් මල්ලියි.
නිවෙසට පැමිණිවිට අය්යා ආසා සිටියා
“මල්ලි කෝ උක්පැණි”
“අය්යණ්ඩි, මඟ දී මට හමු වුණා ශ්‍රමණයන් වහන්සේ නමක්. උන්වහන්සේ දුටු ගමන් මගේ සිත
පැහැදුණා. මම පාත්‍රය පිරෙන්න ම උක් පැණි පූජා කර ගත්තා. මට උන්වහන්සේ සෙත් පතා
ආශිර්වාද කළා.”
“ඔබට කොහොමද ආශිර්වාද කර සෙත් පැතුවේ”
“පින්වත, ඔබ යමක් සිතුවා ද? පැතුවා ද ? ඒ සියල්ල ම සමෘද්ධිමත් වේවා! ඔබේ සිතේ හට
ගත් සංකල්ප පිරේවා! එය සොළොස් කලාවෙන් පිරුණු හඳ සේ පිරේවා!” යැයි ආශිර්වාද කළා.
ආශිර්වාදයෙන් පසුව උන්වහන්සේ අහසට පැන නැඟී නො පෙනී වැඩියා.
එය ඇසූ අය්යා පසේ බුදුරජාණන් වහහන්සේගේ අසිරියට පැහැදුණා. ඔහු ප්‍රබල සිතිවිල්ලක්
ඇතිකර ගත්තා. දොහොත් නළලේ තබාගත් ඒ සහෝදර අය්යා කියා සිටියා.
“මල්ලී නුඹ කළ ඒ පින මම සතුටින් අනුමෝදන් වෙනවා. ඒ උතුම් ශ්‍රමණයන් වහන්සේ යම්
සැනසිලිදායක දහමක් අවබෝධ කරගෙන සිටියා ද? මට ද ඒ දහම ඉක්මණින් ම අවබෝධ වේවා” යි
ප්‍රාර්ථනාවක් කළා.
සහෝදර මල්ලි කෙළවරට දා ගත් පැතුම අය්යා මුලට දා ගත්තා. පින සිදුකළ කෙනාට වඩා පින
අනුමෝදන් වූ කෙනාගේ සිත ප්‍රබල වුණා. පිනක් අනුමෝදන් වීම යනු පින්කම් අතරේ තිබෙන
සුන්දර පින්කමක්.
ඒ දෙදෙනා ම ඒ ජීවිතවල තව තවත් පින්දහම් කොට ආයුෂ කෙළවර මරණයට පත් වුණා. ඔවුන් සසර
සැරිසරමින් කල්ප 91කට පෙර විපස්සී අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයේ පහළ වූ
කාලයේ දෙදෙනා ම නැවත එකම පවුලේ සහෝදරයන් ලෙස උපන්නා. අය්යා සේන නමිනුත්, මල්ලි
අපරාජිත නමිනුත් හැඳින්වූවා. සේන තරුණ වයසේ දී ම පසේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය
අසා පැහැදී පැවිදි වීමට තීරණය කළා. එදා නිවෙසට ගිය ඔහු තම පරම්පරාවේ මුළු දේපළ ම
මල්ලි වූ අපරාජිතට පවරා පැවිදි ව විපස්සී බුදු සසුන තුළ දී සියලු කෙළෙසුන් නසා
උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වූවා.
මෙසේ උතුම් රහත් ඵලයට පත්වූයේ එදා ඒ පින අනුමෝදන් වූ කෙනායි. ඒ සුන්දර පින කළ කෙනා
තව ම සසරේ. ඔහුට විපස්සි බුදු සසුනේ පැවිදි වීමට කැමැත්තක් ඇතිවුණේ නැහැ. එහෙම වුණේ
එදා ඔහු කළ ප්‍රාර්ථනාවට දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන පැතූ නිසයි. ඒ බුද්ධ
ශාසනය තුළ අය්යා භික්ෂූන් වහන්සේ නමක් නිසා අපරාජිත නිතර විහාරස්ථානයට යනවා.
ස්වාමින් වහන්සේ ළඟින් ඇසුරු කළා. දිනක් අපරාජිත සහෝදර ස්වාමින් වහන්සේට කියා
සිටියා.
“අනේ ස්වාමීනි, ඔබ වහන්සේ නම් හැම බන්ධනයකින් ම නිදහස් වෙලා සැනසුණා. ඒත් ස්වාමීනි,
මට මේ බැඳීම් අතැහර ගන්නට අමාරුයි. නමුත් මමත් මේ සසරින් එතෙර වෙන්න ඕන. එනිසා මටත්
ඒ සඳහා උපකාර කරන සේක්වා.”
රහතන් වහන්සේ වදාළා. “සොයුර, අපගේ බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටියක් නැහැ. හොඳ
පිළිවෙළට උන්වහන්සේ උදෙසා කුටියක් සාදා පූජා කර ගන්න”
අපරාජිත ඉතාමත් සතුටු සිතින් එය භාර ගත්තා. ඔහු සිතුවා පින ලස්සන වෙන්න නම් හිතත්
ලස්සන වෙන්න ඕනෑයි සිතා සිතත් හදාගෙන කුටිය හදන්නට පටන් ගත්තා. ඔහු කුටිය තනා,
කුටියෙන් භාග්‍යවතුන් වහන්සේ එළියට වඩිද්දී දම් දෙසුමට ධර්ම ශාලාවක් ඉදිකළා. ඒ ධර්ම
ශාලාවේ පොළොවට එක එක පැහැයෙන් මැණික් ඇතිරුවා. කුටියේ වැඩ කටයුතු නිම කළ අපරාජිත
සහෝදර ස්වාමින් වහන්සේ වෙත ගොස් කුටිය පූජා කිරීමට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවන
ලෙස ඉල්ලා සිටියා.
කුටි පූජාව පිළිගන්නට භාග්‍යවතුන් වහන්සේ වැඩියා. අපරාජිත ප්‍රධාන දොර විවර කළා.
විවර කළ විට ම පෙනෙන්නේ මැණික් ඇතිරූ පොළොව යි. භාග්‍යවතුන් වහන්සේ එතැන ම නැවතුණා.
සේන රහතන් වහන්සේ දෙස බැලුවා. රහතන් වහන්සේ මල්ලිට කියා සිටියා.
“අපරාජිත බුදුරජාණන් වහන්සේ නො වඩින්නේ මේ ධර්ම ශාලාවේ බොහෝ සේ ආරක්ෂා කළ යුතු දේ
තිබෙන නිසයි. මේවා පරිස්සම් කරන්නට බැරි නිසයි නො වඩින්නේ”
එවිට අපරාජිත සිටුවරයා කිව්වා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපේක්ෂා රහිත ව නිහඬ ගුහාවක වැඩ සිටින යම්
අයුරක් ඇද්ද, ගඟකින් එතෙර වීමට යොදා ගන්නා යම් පවුරක් ඇද්ද? එලෙසම භාග්‍යවතුන්
වහන්ස, නිදහස් සිතින් මේ සුවඳ කුටියේ වැඩ වසන සේක්වා! ස්වාමීනි, මේ ඔබ වහන්සේට
පූජාවක් පමණයි. වටිනා දේ මම රකින්නම්” කියලා. එවිට භාග්‍යවතුන් වහන්සේ කුටිය
පිළිගත්තා.
දම්සභා මණ්ඩපයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ආසනය අසල සුන්දර වෛරෝඩි මාණික්‍යක්
තනා තිබුණා. ඒ වෛරෝඩියට වැටෙන එළිය නැවත භාග්‍යවතුන් වහන්සේගේ සිරුර මතට වැටී
උන්වහන්සේ තව තවත් බැබළුණා. ඒ බබළන ආලෝකය නැවත වෛරෝඩි මැණිකට වැටී මැණික තවත් ලස්සන
වෙනවා. සිටුවරයා ආශා කළා ඒ සිදුවීම දකින්න. සිටුවරයා දිනක් අණ බෙර ගසා කියා සිටියා.
“ධර්මය ඇසිීමට කැමැති අය සිටිනවා නම් විහාරයට පැමිණ දහම් අසන්න. යන විට තම අතට ගත
හැකි මැණික් ප්‍රමාණය ගෙන යන්න” කියා. මැණික් අවසන් වුණාම සිටුවරයා නැවත මැණික්
පුරවනවා.
දිනක් එක් පුද්ගලයෙක් එතැනට ඇවිත් කෙළින්ම බැලුවේ වෛරෝඩි මාණික්‍යය දිහා.
සිටුවරයාත් මේ සිදුවීම දුටුවා. සිටුවරයා සිතුවා “මොහු කෙ තරම් මැණික් ගත්තාවේ.
හැබැයි මේ මාණික්‍යය නම් ගන්නට සිතක් පහළ නොවේවා” කියායි. එහෙත් අර පුද්ගලයා
බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමට පහත් වී නැඟිටින විට මැණික අරගෙන ම යන්න ගියා. ඒ
සිදුවීම දුටු අපරාජිත සිටුවරයාගේ සිතට දුකක් හට ගත්තා. විපස්සී බුදුරජාණන් වහන්සේ
අසලට ගොස් මේ සිදුවීම කියා සිටියා.
“ස්වාමීනි, ඒ වෛයිරෝඩි මාණික්‍යයේ එළිය ඔබවහන්සේ වෙත පතිත වෙනවාට මම හුඟක්
කැමැතියි. මම “මොහු මේ මැණික නො ගනීවා” යැයි සිතද්දීත් ඔහු එය ගත්තා.
“සිටුතුමනි, තමා සන්තක දේ අන් අයට සොරාගත නොහැකි පරිදි පින් කරන හැටි ඔබ තව ම දන්නේ
නැද්ද? එවිට සිටුවරයාගේ පුණ්‍ය ශක්තියට නුවණ උපන්නා. ඔහු ප්‍රාර්ථනා කළා.
“ස්වාමීනි මේ සම්බුදු සසුනේ මම යම්තාක් කළ පින්කම් ඇද්ද ඒ සියලු පිනේ අනුහසින් මා
හට, මා සන්තකයේ, මට ලැබෙන යම්තාක් දේ ඇද්ද? ඒ සියලු ම දේ සියක් රජුන්, සියක් සේනා
පැමිණියත් ඒ කිසිවකුට මාගේ අකැමැත්තෙන් කිසිවක් ගන්නට නො ලැබේවා! යැයි පැතුවා. ඒක
ප්‍රබල සිතිවිල්ලක් වූවා.
ඔහුගේ පැතුම අනුව දෙව් මිනිස් ජීවිතවල අති දීර්ඝ කාලයක් මේ සසරේ ගමන් කළා. කල්ප 91
පසුව අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වුණා. ඒ කාලයේ දී ඔහුත් දඹදිව
සිටු පවුලක ජෝතිය නමින් ඉපදුණා.
ජෝතිය තරුණ වයසේ දී සිතුවා මට සුදුසු මන්දිරයක් තිබුණොත් හොඳයි කියලා. ඒක
සක්දෙවිඳුට දැනුණා. විස්කම් දෙව් පුතුට අණ කළා සිටුකුමාරයා කැමැති පරිදි මන්දිරයක්
සාදා දෙන ලෙස. නිවෙසේ ඉදිකිරීම්වලට පෙදරේරු ලෙස පැමිණියේ විස්කම් දෙව්පුතුයි. ඔහු
ජෝතිය සිටුවරයාට විශ්මිත මන්දිරයක් ඉදිකළා. ප්‍රකාර හතකින් යුතු ඒ මන්දිරය රන්,
රිදී, මුතු මැණික්වලින් සමන්විත වුණා. මන්දිරය සුන්දර ව ඉදිවූයේ සිටුවරයාගේ පුණ්‍ය
ශක්තියත් සමඟයි. ඒ මන්දිරයේ උඩ කොතක් වගේ වෛයිරෝඩි මාණික්‍යයක් තැබුවා. ඒ මැණිකට
වැටෙන එළියෙන් තමයි මුළු මාළිගයම ආලෝක වන්නේ. ඒ ජීවිතයේදීත් ඔහු බොහෝ දන් පැන් පූජා
කර ගත්තා.
දිනක් බිම්බිසාර රජුට මේ මන්දිරය ගැන අසන්නට ලැබුණා. අවුරුදු හතේ වූ අජාසත් කුමරුත්
සමඟ රජු මාළිගය බැලීමට ගියා. මාලිගය දුටු රජු, පුදුම වුණා. මගඵලලාභී රජෙක් නිසා
ජෝතිය සිටුවරයාගේ පින අනුමෝදන් වුණා. ඒත් අජාසත් කුමරු සිතුවා. “මම රජ වූ වහාම මේ
මාළිගය අල්ලා ගන්නවා” කියා.
කාලය ඇවෑමෙන් බිම්බිසාර රජු ඝාතනය කොට අජාසත් රජ වුණා. ඔහු මුලින් ම සිතුවේ ජෝතිය
සිටුවරයාගේ මන්දිරය අත්පත් කර ගන්නට යි. ප්‍රාකාර හතකින් යුත් මාළිගයේ පළමු මහල
ආරක්ෂා කළේ ජෝතිය සිටුවරයාගේ පුණ්‍යානුභාවට පත් වූ ඉෂ්ඨකාමි යක්ෂයෙක්. යක්ෂ
සෙන්පතිය අණ කළා. අජාසත් රජුගේ සේනාවගේ ශරීරය හිර කර ඔවුන්ට කිසිවක් කර කියා ගන්න
බැරිවෙන ආකාරයට තද කරන්න කියලා. එසේ වූ සේනාව බියට පත්ව පසු බැස්සා.
මේ සිදුවීම වෙන වෙලාවේ ජෝතිය සිටුවරයා බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගොස් සිටියේ.
අජාසත් රජ, නැවත රජ මාලිගයට යන අතරේ ජේතවනාරාමයට ගොඩවුණා. ජෝතිය සිටුවරයා දැක, රජු
කියා සිටියා. “මගේ සේනාවට පහර දීලා දැන් ඇවිත් බණ අහනවා” නේද කියලා.
ජෝතිය සිටුවරයා කියා සිටියා.
“රජතුමනි, මගේ මේ මන්දිරය අල්ලා ගන්නට ඔබතුමාට තබා මුළු දඹදිව ම රජවරු ආවත් කළ හැකි
දෙයක් නොවේ. එයට උත්සාහ කරන්නත් එපා. මම යම් සිතකින් දීර්ඝ කාලයක් පින් කළා. මාගේ
පුණ්‍ය ශක්තියට ලැබෙන කිසිවක් කිසිවෙක්ට මගේ අකැමැත්තෙන් ගන්නට බැහැ.”
ජෝතිය සිටුවරයා තම අතේ ඇඟිලි දහය පෙන්වා රජුට කිව්වා ඔබට පුළුවන් නම් මගේ
අකැමැත්තෙන් මේ මුදුවක් ගලවන්න කියලා. රජු කෙ තරම් උත්සාහ කළත් මුදුවක් ගලවා ගන්නට
බැරි වුණා. ජෝතිය සිටුවරයා කියනවා.
“රජතුමනි මෙන්න බලන්න” කියා කැමැත්තෙන් අත් දෙක ගැසුවා. මුදු දහය ම බිමට වැටුණා. එය
තේරුම් ගත් රජු එතැනින් ගියා.
ජෝතිය සිටුවරයාට කාමය ගැන මහා කළකිරීමක් ඇති වුණා. දැන් එදා ප්‍රාර්ථනාව අනුව දෙව්
මිනිස් කෙළවරට ම ඇවිත්.
සිටුවරයා සියලු කාමයන් යම් මොහොතක අතහැරියා ද, අර මාලිගය ද නො පෙනී ගියා. ඔහු සතු
සියලු ධනය නො පෙනී ගියා. පින්වන්තයාගේ පිනත් සමඟ පින බැඳී තිබුණා.
පැවිදි වූ ජෝතිය ස්වාමින් වහන්සේ ඉතාම ටික කලකින් සව් කෙළෙස් නසා මහ රහතන් වහන්සේ
නමක් බවට පත් වුණා.
-
නයනා නිල්මිණී. |