ජය ලබන්නට...
මේ ජීවිතයේ දී අප මුහුණ දෙන නින්දා අපහාස, ගැරහුම්, අවලාද, ඇණුම් බැණුම්, තාඩන පීඩන
වධබන්ධන ආදී මෙකී නොකී යම්තාක් දුක් ඇති ද, මේවා ලොව එක ජාතියකට, එක් විශේෂ මිනිස්
කොටසකට හෝ එක ආගමික කොටසකට පමණක් මුහුණ දීමට තිබෙන දෙයක් නොවෙයි. එය උපන් සියලු ම
සත්වයන්ට ම මුහුණ පෑමට සිදුවන දෙයක්.
අපගේ ශාස්තෘන් වහන්සේ සැරිසරා ආ සසරේ, බොහෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණා. ඒ
අවස්ථාවල දී සසරෙන් නිදහස් වීමට අවස්ථාව තිබුණා. ඒ සියලු අවස්ථා පසෙක ලා අසරණ අප
දුකෙන් මුදවාලීමේ පිවිතුරු අදහසින්, අනේක දුක් විඳිමින්, පාරමිතා සපුරාලමින් උතුම්
සම්බෝධියෙන් අභිසෙස් ලැබුවා. ලෝ සත වෙත පතල මහා කරුණාවෙන්, බුද්ධ චර්යාවේ යෙදුණු
අපගේ ශාස්තෘන් වහන්සේටත් අනන්ත අසාධාරණකම්, නින්දා අපහාස, ලැබුණු ගැරහුම් කෙතෙක් ද?
සම්බුදු සිරිත කියවන ශ්‍රාවකයාට ශාස්තෘන් වහන්සේගේ ඉවසීමේ ගුණය ප්‍රකට කෙරෙන
සිදුවීම් ගණනාවක් දකින්නට පුළුවන්. තුන් ලොවට ම අග්‍ර වූ මහා සම්බුදු බලයකින් වැඩ
සිටි භාග්‍යවතුන් වහන්සේ පවා අර්බුදකාරී අවස්ථාවල ඉවසීමෙන් ඒවා ජය ගත්තා. එවැනි
අවස්ථාවල ශාස්තෘන් වහන්සේත් ඉවසුවා නම් අද අපට තිබෙන ප්‍රශ්න, අර්බුද හමුවේ අප කෙසේ
නම් ඉවසිය යුතු ද?
සියලු දුකෙන් නිදහස් වූ, සියලු දුක් පීඩා බැහැර කළ, සියලු ගුණයන්ගෙන් පරතෙර වැඩි
අපගේ ශාස්තෘන් වහන්සේගේ ඉවසීම ගුණය නම් අරුමයක් නොවේ. එහෙත් පුදුම සහගත දෙය නම්
කෙලෙස් සහිත ව සිටි බෝසත් අවධියේ දී පවා උන්වහන්සේ තුළ පැවති ඉවසීමේ ගුණ මහිමය යි.
බෝසතාණන් වහන්සේ ඒ ඉවසීමේ ගුණය සම්බුද්ධත්වය පිණිස උපකාරක ධර්මයන් වශයෙන් හඳුනාගෙන
පරිපූර්ණය කළ සේක. අපගේ සම්බුදු රජාණන් වහන්සේගේ ඉවසීමේ ගුණයට අපගේ නමස්කාරය වේවා.
-
නයනා |