නිකිණි අමාවක පෝ දා
2025-08-22 දේවදූතයෝ
සොබා දහමේ නියමය සියල්ලන්ට ම පොදු ය. කිසිවකුට ඉන් බේරී සිටිය නොහැකි ය. කෙනෙක්
යහපත් දෙය කළේ නම් යහපත් ඵල ලැබෙන්නේය. අයහපත් ඵල ද එසේ ම ය.
යම් කෙනකුගේ පෙළඹවීමකින් හෝ යම් කෙනෙක් වෙනුවෙන් හෝ වරදක්, පාපයක් කළේ නම් ලැබෙන
දුක් විපාකයන්ගෙන් තමන්ට ගැලවී යා නොහැකි ය. ධර්මයට අනුව
අත්තනාව කතං පාපං - අත්තනා සං කිලිස්සති
තමන් යම් පාපයක් කළේ නම් එය අනුන් කරා නොයයි. එහි විපාක තමන් ම විඳිය යුතු ය.
පාපයෙන් වැළකී සිටීම මෙලොව පරලොව සුවය පිණිස ම ය. මේ ජීවිතයේ තමන් ලබන අත්දැකීම්,
සමාජය තුළින් ලබන අත්දැකීම් දෙස බලා නිවැරැදි ව ජීවිතය ගොඩනඟා ගන්නට ඕනෑම කෙනකුට
පුළුවන. මිනිසා යනු උසස් මනසක් ලැබූවෙකි. අසන, දකින දෙයින්, අත්විඳින දෙයින් පාඩම්
ඉගෙන ගන්නට ඔහුට පුළුවන.
එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා දේවදූතයන් තිදෙනකු ගැන දේශනා
කොට වදාළහ. දේව දූතයන් ලෙස හැඳින්වූයේ ජීවිතයේ මුහුණ දෙන ජරා, ව්‍යාධි, මරණ යන
අවස්ථාවන් ය.
කිසිවෙක් තමන්ට සිදුවනවාට අකැමැති මෙම අවස්ථා දේව දූතයන් වන්නේ ජීවිතය පිළිබඳ
අපූර්ව පණිවුඩයක් සන්නිවේදනය කරන බැවිනි.
බහ තෝරන්නට පටන්ගත් දා සිට මිය යන මොහොත දක්වාත්, මිනිසාට මුහුණ දීමට සිදුවන මේ
සංසිද්ධීන් පිළිබඳ අපට අවබෝධ වන්නට පටන් ගනී. එහෙත් අවධානය නොවීම නිසා මේ සුවිශේෂී
අවස්ථාවන් තුළ දෙන පණිවුඩය ග්‍රහණය කර ගන්නට බොහෝ දෙනකුට නොහැකි වී තිබේ. එය
අභාග්‍යයක් වන්නේ තමන් ද වයසට යන බව, ලෙඩ වන බව, මරණය උරුම බව නොසිතා ජීවත්වන ටික
කාලය තුළ භෞතික සම්පත් ගොඩගසා ගැනීමේ සිට විවිධ ආශාවන් පසුපස හඹා යන ගමනේ දී හොඳ -
නරක තෝරා බේරා ගන්නට සැලකිලිමත් නොවීම තුළ මේ ජීවිතයේ ද පව් කඳු රැස් කොට දුක්
විපාක ලබා, පරලොව දී ද දුක ම අත්පත් කර ගැනීම නිසා ය.
කායික, වාචසික හා මානසික දුශ්චරිත නිසා කෙනෙක් තමන්ට අනර්ථ කර ගනී. ඒ අයහපත මුදා
හැරීම තුළ සමාජයට ද අනර්ථ සිදු කරයි. දුශ්චරිතවත් ගති ඇති පුද්ගලයා සිය මව්පියන්
නොහඳුනයි. කුල දෙටුවක් නොහඳුනයි. ඔවුන් වෙනුවෙන් තමන්ගේ යුතුකම්, වගකීම් ඉටු
නොකරයි. තරුණ විය, කායික ශක්තිය සෑම කල්හි උරුම වේ යැයි සිතයි. ජරාවට පත්වන අය
කොතෙකුත් ඇස ගැටුණ ද අඩුම තරමේ වයෝවෘද්ධ ව, කර කියා ගන්නට දෙයක් නොමැති ව අසරණ ව
දුක් විඳින අම්මා, තාත්තා දකිමින් පවා තමන්ටත් මේ තත්ත්ව උරුම බව නොසිතයි. යුතුකම්
වගකීම් මඟ හරියි.
දැඩි සේ ගිලන් වූවෝ අතිශය දුකට පැමිණෙති. මළ මූත්‍රා ගොඩෙහි ම සයනය කරති.
පෘථග්ජන සියල්ලෝ මරණයට බිය වෙති. එහෙත් කිසිවකුට මරණයෙන් සැඟවී සිටිය නොහැකි ය.
මරණය නියත ම ය. දේව දූතයකු වන්නේ මැරෙන බව දැන ජීවත්විය යුතු බව හඟවන හෙයිනි.
කෙනකුට හැදෙන්නට නම් ජීවිතයේ ඇස ගැටෙන මේ දේවදූතයන් තිදෙනා වුව ප්‍රමාණවත් ය.
අවශ්‍ය වන්නේ අවධානයෙන්, අවදියෙන් සිටීම ය. |