[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දුක් කරදරවලින් මිදී ත්‍රිවිධ රත්නයේ රැකවරණය ලබමු

දුක් කරදරවලින් මිදී ත්‍රිවිධ රත්නයේ රැකවරණය ලබමු

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ දී ද, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ වැඩ සිටින ස්වර්ණමාලී සෑ රදුන් ඇසුරු කර ගනිමින් ද, තවත් වැඩ සිටින බොහෝ සෑ රදුන් සහ බෝධීන් වහන්සේ ඇසුරු කර ගනිමින් වන්දනා කරමින් පිදුම් කරමින් බෞද්ධයෝ පින් කර ගන්නවා.

ඒ වගේම තමන්ට එන කරදර දුක් පීඩා, අමනුෂ්‍ය බය, ලෙඩ දුක් ආදිය නිසා පිහිට පිළිසරණ පතනවා. එහි විශ්මය නම් සැබෑම ශ්‍රද්ධාවන්තයාට එයින් පිහිටක් ,පිළිසරණක් ලැබෙනවා ම යි.

නොයෙක් ලෙඩදුක්, කරදර, උවදුරු අමනුෂ්‍ය දෝෂ මෙන්ම තවත් නොයෙක් අවස්ථාවල දී මහා සෑය හෝ මහා බෝධිය සරණ සොයා යන සැදැහැවතා පහන් දල්වා සුවඳ පතුරුවා මල් සහ වෙනත් පූජා රැගෙන මළුවට ගොඩ වූ පසුව වෙනත් කිසිදු දෙයකට සිත යොමු නො කොට මහ සෑයේ, බෝධීන් වහන්සේගේ ආනුභාවය ගැන පැහැදීම ඇතිකර ගත යුතු වෙනවා. තමන් බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට සිටිනවා යැයි සිතන්න. සිතේ පැහැදීම ඇතිකර ගන්න. ගෙන ආ මල් සුවඳ දුම් ආදිය රැගෙන බුදුගුණ සජ්ඣායනා කරමින් සෑය වටා ප්‍රදක්ෂිණා කරන්න.

අපගේ ශාස්තෘන් වහන්සේ වදාළා තමන්ට කරදරයක්, දුක් පීඩාවක්, රෝග බියක් ආ විට තුනුරුවන් සිහි කොට කීමට ගාථාවක්.

නමෝ තේ බුද්ධ වීරත්ථු
විප්පමුත්තෝසි සබ්බධී
සම්බාධපටිපන්නෝස්මි
තස්ස මේ සරණං භවාති

නමස්කර වේවා ඔබවහන්සේට
සම්බුදු වීරයාණන් වහන්ස
ලොවේ ඇති හැම දුක්වලින්
මැනවින් මිදුන මුනිදුනි
මම වනාහි දැන්
අනතුරට පත් වූයෙමි
එසේ වූ මාහට
පිහිට සලසන සේක්වා

සූර්ය දිව්‍ය පුත්‍රයාත්, චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාත් භාග්‍යවතුන් වහන්සේට කියා සිටියේ ඒ ලෙසයි. ඒ දිව්‍ය පුත්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ වහා සරණ වූ සේක. ඒ ගාථාවේ

නමෝ තේ බුද්ධ වීරත්ථු - බුද්ධ වීරයන් වහන්සේට නමස්කාර වේවා යැයි සඳහන් වෙනවා. විප්ප මුත්තෝසි සබ්බධි ඔබ වහන්සේ නම් සියලු දුක්වලින් මිදුන සේකැ’යි බුදුගුණ මනසිකාරය වෙනවා. සම්බාධ පටිපන්නෝස්මි. මට කරදරයක් ඇවිල්ලා. තමාගේ උවදුර ගැන ද කිය වෙනවා. තස්ස මේ සරණං භවාති අනේ මා හට පිහිට සලසා දෙන සේක්වා යැයි පිහිට ඉල්ලීම ද වෙනවා. මෙයටත් වඩා උතුම් සරණ ඉල්ලීමක් තව කොහින් ද?

මේ ආකාරයට සෑ රදුන් හෝ බෝධීන් වහන්සේ හෝ පැදකුනු කොට මල් පුදා තෙරුවන් වැඳ ආරක්ෂක පිරිත් (රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, මෝර පිරිත, අංගුලිමාල පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, ඛන්ධ පිරිත) ආදී පිරිත් සජ්ඣායනා කොට ටික වේලාවක් ගෙන මෙත් සිත වඩන්න. ඊට පසුව ඔබට පුළුවන් ඔබ කල ඒ උතුම් පින සිහිකොට වචනයෙන් දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කරන්න. බුදු සිරිපා වන්දනා කරන අයුරින් මහා සෑ මහා බෝධිය පසඟ පිහිටුවා වඳින්න.

ඒ වගේම අපට පුළුවන් ස්වර්ණමාලි සෑ රදුන් ඉදිකළ ධාර්මිෂ්ඨ රජෙක් වූ දුටුගැමුණු මහ රජු නිතර සිහි කළ ගාථා රත්නයන් තුන සිහිකරමින් සෑය බෝධිය ප්‍රදක්ෂණා කරන්න. සෑ රදුන්ට පිටුපා සිට ගන්න එපා. සෑ රදුන් ඉදිරිපිට ඡායාරූප ගන්නත් එපා. අපගේ ජීවමාන බුදුරදුන් වැඩ සිටිනවා යැයි සිතා නැවත නැවත වන්දනා කොට මළුවෙන් පිටව යන්න.

දුටුගැමුණු රජතුමා නිතර නිතර භාවිත කළ, බිය තුරන් කළ ගාථා තුන මෙසේයි.

බුද්ධෝ තිලෝක සරණෝ
බුද්ධෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං
බුද්ධෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං
නත්ථි මය්හං භයං සදා

බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ම එකම සරණ වූ සේක. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ම සරණ වන සේක. එම බුදුරජාණන් වහන්සේ සරණ යමි. එහෙයින් මා හට සදා භය නැත්තේ ය.

ධම්මෝ තිලෝක සරණෝ
ධම්මෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං
ධම්මෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං
නත්ථි මය්හං භයං සදා

ශ්‍රී සද්ධර්මය තුන් ලොවට ම එකම සරණ වූ සේක. ඒ ශ්‍රී සද්ධර්මය ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. ඒ ශ්‍රී සද්ධර්මය බිය රහිත වූ, උතුම් වූ ශ්‍රේෂ්ඨ ම සරණ වන සේක. මම ඒ ශ්‍රී සද්ධර්මය සරණ යමි. එහෙයින් මා හට සදා භය නැත්තේ ය.

සංඝෝ තිලෝක සරණෝ
සංඝෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං
සංඝෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං
නත්ථි මය්හං භයං සදා

බුදු සසුනේ පැවිදි වූ ඒ ආර්ය මහා සංඝරත්නය තුන් ලොවට ම එකම සරණ වූ සේක. ඒ ශ්‍රාවක සංඝරත්නය ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ ශ්‍රාවක සංඝරත්නයේ සරණ බිය රහිත වූ උතුම් වූ ශ්‍රේෂ්ඨ ම සරණ වන සේක. මම ඒ ශ්‍රාවක සංඝරත්නය සරණ යමි. එහෙයින් මා හට සදා භය නැත්තේ ය.

මෙසේ තුනුරුවනට ජීවිතය පූජා කිරීමෙන් වන ආශිර්වාදය සහ තමාගේ සරණ සිහි කිරීමෙන්, බුද්ධ වන්දනාව, ධාතූන් වහන්සේ වන්දනාව, බෝධීන් වහන්සේ වන්දනාව සහ ඒ බලයෙන් ද, මහා බෝධියේ සහ මහා සෑ රදුන්ගේ ආනුභාවයෙන් ද සෙත සැලසෙනවා. නැතිනම් උවදුරෙන් මිදෙන්නට ද මඟ සැලසෙනවා. තමාගේ කර්මය බලවත් නැති නම් ඒ සියලු ආනුභාවයෙන් අපට සෙත සැලසෙනවා ම යි. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් අපට පිහිට වන සේක් ම යි.

ශ්‍රද්ධා සිත සුන්දර දෙයක්. භාග්‍යවතුන් වහන්සේ නිතර සිහි කිරීම දුක් නිවෙන ඖෂධයක්. බුදුගුණ නිතර සිහි කරන ශ්‍රාවකයාට බෝධිය, සෑරදුන් අසලට නොගියත් තමාට සමීපව වාගේ දැනෙනවා. එනිසා තුනුරුවනේ ගුණ හොඳින් ඉගෙන ගෙන, තුනුරුවනට නිතර ජීවිතය පූජා කරමින් සිටින අපට තුනුරුවනේ අනන්ත ආනුභාවයෙන් සියලු දුක් දුරු වී පිහිට පිළිසරණ ලැබෙනවා ම යි.

නිකිණි අමාවක

අගෝස්තු 22 සිකුරාදා අ.භා 12.01 අමාවක ලබා 23 සෙනසුරාදා පූ.භා 11.41න් ගෙවේ.
22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]