[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

භික්ෂුවක් සිවුරු හැරයාමෙහි දෝෂය කාගේද?

භික්ෂුවක් සිවුරු හැරයාමෙහි දෝෂය කාගේද?

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේගේ මේ බුදු සසුන ඉතා මහත් ය. ඉතා සාරවත් ය. ඉතා උතුම් ය. ඉතා ශ්‍රේෂ්ඨ ය. ප්‍රවර ය. අනුපම ය. පිරිසුදු ය. නිර්මල ය. ඉතා සුදු පැහැ ගත්තේ ය. වරදින් තොර වූයේ ය.

එනිසාවෙන් හුදෙක් ගිහියකු වූ පමණින් කෙනකු මෙවන් බුදු සසුනක පැවිදි කරන්නට ගිහි ව සිටිය දී ම එක්තරා මාර්ගඵලයකට හික්මවා යම් කලෙක ගිහි ගෙය සිහි කොට සිවුරු හැර නො යන ස්වභාවයට පත් වෙයි ද, එකල්හි පමණක් පැවිදි කළ යුත්තේ ය. එයට කාරණය කුමක්ද යත්,

මේ ඇතැම් අනුවණ දුර්ජන කෙනෙක් මෙබඳු බුදු සසුනෙහි පැවිදි ව පිළිවෙත් පිරීමෙහි උත්සාහවත් වීම වෙනුවට ආපසු හැරී ළාමක වූ ගිහි බවට වැටෙන්නාහු නම්, ඔවුන් සිවුරු හැර යළිත් ගිහි ජීවිතය කරා යෑම හේතුවෙන් මහ ජනතාව මෙසේ පවසා සිටින්නෝ ය.

“භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ බුද්ධ ශාසනය ඒකාන්තයෙන් තුච්ඡ වූ දෙයක් වන්නේ ය. මේ උදවිය යමක් නිසා ප්‍රතිපත්තිය අත්හැර නැවත හැරී ගෙදර ආවා නොවැ’යි. මෙහි ඇති කරුණ මෙය යි.”

“මහරජාණෙනි, එය මෙබඳු දෙයකි. යම් සේ ඉතා පිරිසුදු, අති නිර්මල, සීතල දියදහරින් පිරී ගිය මහා විලක් ඇත්තේ ය. එකල්හි කිළිටි වූ, දුහුවිලි මඩ ආදියෙන් තැවරී ගිය සිරුරක් ඇති පුද්ගලයෙක් එම විල කරා එයි. එහි ඇති පිරිසුදු ජලයෙන් ස්නානය නො කරයි. කිළිටි වී ගිය සිරුරෙන් ම ආපසු හැරී යයි. මහරජාණෙනි, එහිලා බුද්ධිමත් මිනිසුන් විසින් ගැරහිය යුත්තේ කිළිටි සිරුරෙන් ම හැරී ගිය පුද්ගලයාට ද? නැතහොත් පවිත්‍ර වූ ජලය පිරී ගිය විලටද?”

“ස්වාමීනි, නුවණැති ජනතාව විසින් ගැරහිය යුත්තේ කිළිටි ලෙස ම ගොස්, කිළිටි ලෙසින් ම පැමිණි පුද්ගලයාට යි. ‘මොහු විලටත් ගියා නොවැ. එහෙත් ස්නානය නොකොට ගිය කිළිටින් ම ආපසු හැරී ආවා නොවැ’ කියා ය. කිම? ස්වාමීනි, ස්නානය කරනු නො කැමති මේ පුද්ගලයා ව ඒ ජලාශය තමන් ම ඇවිත් නහවන්නේ ද? ජලාශයේ ඇති කවර දෝෂයක් ද?”

“මහරජාණෙනි, එසෙයින් ම තථාගතයන් වහන්සේ විසින් උත්තම වූ විමුක්තිය නම් වූ පවිත්‍ර දිය දහරින් පිරිපුන් ශ්‍රී සද්ධර්ම ජලාශයක් මවන ලද්දේ ය. ඒ ‘ක්ලේශ මලකඩින් කිළිටි වී ගිය, චේතනා සහිත බුද්ධිමත් සත්වයෝ සිටිත් ද? ඔවුහු සද්ධර්ම ජලාශයෙහි ස්නානය කොට සකල ක්ලේශයන් පහකොට දමන්නාහු ය’ කියා ය.

ඉදින් මහරජාණෙනි, යම් කිසිවෙක් එම ශ්‍රී සද්ධර්ම ජලාශය වෙත ගොස් ස්නානය නොකොට කෙලෙස් සහිත ව ම සිවුරු හැර යළි ළාමක ගිහි බවට වැටෙයි නම් නුවණැති ජනයා ගරහන්නේ ඔහුට ම ය. ‘මේ උතුම් බුදුසසුනෙහි පැවිදි ව එයින් කිසි පිහිටක් නො ලැබ මොහු සිවුරු හැර ළාමක වූ ගිහි ජීවිතය කරා ආවා නොවැ’ කියා ය. කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නොයෙදුණු තැනැත්තකුට බුදුසසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක් ද?

මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් දරුණු රෝගාබාධයකින් යුක්ත වූයේ වෙයි. රෝග හටගැනීමෙහි හේතු දැනීමෙහි ලා ඉතා දක්ෂ වූ, ඉතා ප්‍රතිඵල සහිත ව රෝගීන් සුවපත් කරන, නිවැරැදි ප්‍රතිකාර බල ඇති වෛද්‍යවරයකු දැක ඔහු කරා ගෙන යයි. එහෙත් එම වෛද්‍යවරයාගේ පිළියම් ඔහු නො පිළිපදියි. ගිය රෝගයෙන් යුක්ත ව ආපසු හැරී යයි. මහරජාණෙනි, ජනයා ගැරහිය යුත්තේ කාටද? රෝගියාට ද? වෛද්‍යවරයාට ද?”

“ස්වාමීනි, නුවණැති ජනයා ගරහන්නේ රෝගියාට ය. ‘මෙවැනි වූ රෝග හටගන්නා හේතු දැනීෙමි දක්ෂ වූ, ප්‍රතිඵල සහිත ව රෝගීන් සුවපත් කරන, නිවැරැදි ප්‍රතිකාර බල ඇති වෛද්‍යවරයකු දැකත්, ඔහු ළඟටත් ගොස්, ප්‍රතිකාර නො ගෙන ම රෝගය සහිත ව ආපසු හැරී ආවා නොවැ’යි කිම? මේ තැනැත්තා ප්‍රතිකාර නො කර ගන්නා හෙයින් වෛද්‍යවරයා තෙමේ ම ප්‍රතිකාර කරවන්න ද?

වෛද්‍යවරයාගේ කවර දෝෂයක් ද?

එහෙයින් ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේ බුදු සසුන නැමැති රන් බඳුනෙහි අමෘතය නම් මහානීය ඖෂධ රත්නයක් බහා ලූ සේක. එය සියලු කෙලෙස් රෝග සංසිඳවීමෙහි ලා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. කෙලෙස් රෝගයෙන් පීඩිත ව සිට ප්‍රතිකාර සොය සොයා සිටි බුද්ධිමත් ජන කෙනෙක් සිටිත් ද, ඔවුහු ඒ අමා ඔසු පානය කොට සකල ක්ලේශ රෝගාබාධයන් සංසිඳුවා ගෙන සුවපත් වන්නාහු ය. ඉදින් යම් කෙනෙක් ඒ අමා ඔසු නො වළඳා, ක්ලේශ රෝගාබාධයෙන් යුතුව ම, සිවුුරු හැර ළාමක ගිහි බවට වැටෙත් නම්, එහි ලා නුවණැති මිනිස්සු ඔවුන්ට ගරහති. ‘මොහු බුදු සසුනෙහි පැවිදි වී එහි කිසි පිහිටක් නො ලැබ ළාමක වූ ගිහි ජීවිතය කරා හැරී ආවා නොවැ’යි

කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නො යෙදුණු තැනැත්තකුට බුදු සසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක් ද?

මහරජාණෙනි, යම් සේ කුසගින්නෙන් බලවත් ව පීඩාවට පත් පුරුෂයෙක් මහා පින්වතකු විසින් ප්‍රණීත ආහාරපාන දෙනු ලබන දන්සලක් වෙත පැමිණෙයි. එහෙත් ඔහු ඒ දන්සලෙන් බත් අනුභව නොකොට කුසගිනි පීඩාවෙන් ම ආපසු හැරී යයි. මහරජාණෙනි, එවිට ජනයා ගැරහිය යුත්තේ කාටද? කුසගින්නෙන් පීඩා විඳින පුරුෂයාට ද? ප්‍රණීත බොජුන් දෙන දන්සලට ද?”

“ස්වාමීනී, ජනයා ගැරහිය යුත්තේ කුසගිනි ඇති පුරුෂයාට යි. දන්සලට නම් නොවෙයි. ‘මේ බඩගිනි පීඩා ඇති තැනැත්තා දන්සලකටත් ගියා නොවැ. එහෙත් දන්සලෙන් බත් ලැබීත්, අනුභව නොකොට ම ආපසු හැරී ආවා නොවැ’ යි. කිම? බත් නොකන්නා වූ මොහුගේ මුඛයට භෝජනය තෙමේ ම පිවිසෙන්නේ ද? භෝජනයේ ඇති කවර දෝෂයක් ද?”

“එසෙයින් ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේ බුදු සසුන නම් වූ රන් බඳුනෙහි පරම උත්තම වූ, ප්‍රවර වූ, ශාන්ත වූ, සුන්දර වූ, ප්‍රණීත වූ, අමා වූ, ප්‍රවර මධුරත්වයෙන් පිරී ගිය කායගතාසති භාවනාව නම් වූ අමා බොජුන් තබා වදාළ සේක. කෙලෙස් බඩගින්නෙන් පීඩිත ඇතුළාන්තයක් ඇති, තණ්හාවෙන් පරිපීඩිත සිත් ඇති, එයින් බේරීමට සිතිවිලි සිත සිතා සිටි බුද්ධිමත් ජන කෙනෙක් වෙත් ද? ඔවුහු මේ මධුර භෝජනය වළඳා කාම - රූප - අරූප යන භවත්‍රය කෙරෙහි ම ඇති සියලු තණ්හා පහ කරන්නාහු යැයි කියා ය එය තබා වදාරන ලද්දේ.

ඉදින් යමෙක් ඒ මධුර වූ කායගතාසති භෝජනය නො වළඳා, තෘෂ්ණාවට ම වසඟ ව සිට, සිව්පසයට ලොල් ව සිට, සිවුරු හැර ළාමක වූ ගිහි ජීවිතය කරා හැරී ගියේ වෙයි ද? එවිට ජනයා ගරහන්නේ ඔහුට ම ය.

‘මොහු බුදු සසුනෙහි පැවිදි වි එහි කිසි පිහිටක් නො ලැබ ළාමක වූ ගිහි ජීවිතය කරා හැරී ආවා නොවැ’ යි. කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නො යෙදුණු තැනැත්තකුට බුදු සසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක්ද?

මහරජාණෙනි, තථාගතයන් වහන්සේ එක්තරා මාර්ගඵලයක හික්ම වූ ගිහියකු පමණක් පැවිදි කරන සේක් නම්, කෙලෙස් ප්‍රහාණය පිණිස මේ පැවිද්ද නො වන්නේ ය. පිරිසුදු බව පිණිස ද නො වන්නේ ය. පැවිදි වීමෙන් අමුතුවෙන් කළ යුතු දෙයක් නැත්තේ ය.

නිකිණි අමාවක

අගෝස්තු 22 සිකුරාදා අ.භා 12.01 අමාවක ලබා 23 සෙනසුරාදා පූ.භා 11.41න් ගෙවේ.
22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]