[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ධර්මය ම පිහිටකොට වාසය කරන්න

ධර්මය ම පිහිටකොට වාසය කරන්න

ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ මගධ රටේ මාතුල නගරයේ වැඩ සිටින කාලයේ දී දීඝ නිකායේ පාථික වර්ගයට අයත් චක්කවත්තිසීහනාද සූත්‍රය වදාළ බව සඳහන් වේ.

අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරණා අනඤ්ඤසරණා ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා කථඤ්ච පන භික්ඛවේ භික්ඛු අත්තදීපෝ විහරති. අත්තසරණා අනඤ්ඤසරණෝ ධම්මදීපෝ ධම්මසරණෝ අනඤ්ඤසරණෝ

මහණෙනි ලොවුතුරා දහම දිවයිනක් කොට වාසය කරන්න. අන් සරණක් පිහිටක් බලාපොරොත්තු නොවන්න. ධර්මය පිහිට කොට ධර්මය හැර වෙනත් පිහිටක් බලාපොරොත්තුවෙන් වාසය නොකරන්න. මහණෙනි, මෙසේ ලොවුතුරා දහම දිවයිනක් කොට වෙනත් පිහිටක් අපේක්ෂා නොකොට ධර්මය ම පිහිට කොට, වාසය කරන්නේ කෙසේද?

සතර සතිපට්ඨානය අනුවයි. එනම්, කායානුපස්සනා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන කරුණු අනුව කෙලෙස් තවන වීර්යය ඇතිව නුවණින් බලමින් එළඹ සිටි සිහි ඇතිව වාසය කරන පුද්ගලයා, ආත්මය (තමා) දිවයිනක් කොට ධර්මය පිහිට කොට වාසය කරන්නේ යැයි වදාළ සේක.

මෙසේ මවුපිය උරුමයෙන් ලැබූ භූමියෙහි වාසය කරන පුද්ගලයාට මරබිය නොවී, කුසල් වඩමින් පින් කරමින් ජීවත් විය හැකියි.

මෙම සූත්‍රයේ එනම්, චක්කවත්තීසීහනාද සූත්‍රයේ සඳහන් වන පරිදි දිළිඳු ජනයාට ධනය නොදෙන කල්හි විවිධ අකුසලයන් ලෝකයේ පැතිරී ගිය අයුරු අවබෝධ කරගත හැකි ය.

පෙර දැහැමින් රජ කරවන මුළු පොළොවටම අධිපති වූ දළ්හනේමි නම් සක්විති රජ කෙනෙක් විසීය. ඔහු දැහැමින් සෙමෙන් රාජ්‍ය කරන්නේ අවුරුදු දහස් ගණනක් ඉක්මගිය කල්හි එක්තරා පුද්ගලයකු කැඳවා මෙසේ කීය. එම්බා පුරුෂය යම් කලෙක මේ සත්රුවන එනම් 1. චක්‍ර රත්නය 2. හස්ති රත්නය 3. අශ්ව රත්නය 4. මණි රත්නය 5. ස්ත්‍රී රත්නය 6 ගෘහපති රත්නය 7. පරිනායක රත්නය තිබූ තැනින් ඉක්මගිය කල්හි මට දන්වව.

මේ කාලයේ මිනිසුන්ගේ ආයු කාලය වසර අසූ දහසකි. (80000) අවුරුදු දහස් ගණනක් ගත වූ විට එම පුරුෂයා සත් රුවන තිබූ තැනින් මඳක් පහ වූ බව රජුට දැනුම් දුන්නේ ය. එවිට රජු දැන් තපස් රැකීමට සුදුසු කාලයැයි අවබෝධ කොට රජකම තම වැඩිමහලු පුතාට පවරා වනගත විය.

මෙම අභිනව රජතුමා රජකමට පත්ව දින කිහිපයකින් ඉහත දැක්වූ සත් රුවන අතුරුදන් විය. මේ බව රාජපුරුෂයෝ රජුට දැන්වූ කල රජතුමා මහත් ශෝකයට පත්විය. රජු තම වනගත පියරජු සමීපයට ගොස් මේ කරුණ සැල කළේ ය. පියතුමා පුත්‍රය, ශෝක නොකරන්න. මෙම දිව්‍ය චක්‍ර රත්නය පියාගෙන් පුතාට දායාද වශයෙන් නොලැබේ. දස සක්විති වත් සම්පූර්ණ කිරීමෙන් ම එය ලැබෙන්නේ යැයි කීය. ඒ අනුව පාලකයකු විසින් පිළිපැදිය යුතු සක්විති වත් උගන්වා ඒ අනුව රාජ්‍ය පාලනය කරන ලෙස කීය. එම දස සක්විති වත් මෙසේ ය.

1. තමා දස කුසල ධර්මයන්හි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ම ගරු කරමින්, ධර්මයම පි‍්‍රය කරමින්, ධර්මය පුදමින්, වඳිමින්, ධර්මය කොඩියක් කරමින් ජීවත් වන්න. ධර්මය ම අධිපතිත්වයෙහි ලා සලකමින් ජීවත් වන්න. අඹුදරුවන් ද ඒ මාර්ගයෙහි යොදවන්න.

2. තම රාජ්‍යයේ බලකාය හෙවත් යුද්ධ සේනාව ද එසේ සීලයෙහි පිහිටුවා ඔවුන්ට ධාර්මික ආරක්ෂාව සලස්වන්න.

3. ක්ෂත්‍රියයන් ද එසේ සීලයෙහි පිහිටුවා ඔවුන්ට ධාර්මික ආරක්ෂාව සලස්වන්න.

4. බ්‍රාහ්මණ ගෘහපතීන් ද එසේ සීලයෙහි පිහිටුවා ධාර්මික ආරක්ෂාව සලස්වන්න.

5. ජනතාව ද සීලයෙහි පිහිටුවා ධාර්මික ආරක්ෂාව සලස්වන්න.

6. මහණ බමුණන්ට ද රැකවරණය දෙන්න.

7. සිවුපාවුන් ද කුරුල්ලන් ද ජීවිත දානයෙන් ආරක්ෂා කරන්න.

8. සිය රටෙහි අධාර්මික ක්‍රියා නොපවත්වන ලෙස කටයුතු සලස්වන්න.

9. දිළිඳු ජනතාවට ධනය දෙන්න

10. සිය රටේ ආශාවෙන් තොර, සීලයෙන් යුතු, ඉවසීමේ ගුණය ඇති, කරුණා ගුණයෙන් සපිරි, රාගාදිය දමනය කළ මහණ බමුණන් කරා කලින් කල එළඹ කුසල් කුමක්ද? අකුසල් කුමක්ද? වරද කුමක්ද? නිවැරැදි දේ කුමක්ද? කුමක් කළ යුතුද? කුමක් නොකළ යුතුද? ආදී වශයෙන් විමසා උපදෙස් ගන්න.

මේ අනුව ක්‍රියා කරන්නේ නොබෝ දිනකින් සත්රුවන පහළ විය. මෙම සක්විති රජු ද ධාර්මිකව රාජ්‍ය පාලනය කරන්නේ අවුරුදු අසූ හාර දහසක් ළං වෙත්ම පෙර සේ ම තම වැඩිමහලු පුතුට රාජ්‍යය පවරා තවුස් දම් පිරීමට වනගත විය.

එම අභිනව රජු ද තපස් රකින පියතුමා වෙත ගොස් උපදෙස් ගෙන දසසක්විතිවත් අනුව රාජ්‍ය පාලනය කරන්නේ ය. මේ ආකාරයෙන් රජවරු සය දෙනෙක් ම රාජ්‍ය විචාළහ.

එහෙත් බලයට පත්වූ සත්වැනි රජතුමා මවුපියන්ගෙන් උරුම වූ දස සක්විති වත් නොසලකමින් හිතුමතේ රජකම් කරන්නට විය. රටෙහි සමෘද්ධිය තුරන් විය. මේ නිසා රාජ්‍ය උපදේශක සභාව විසින් රටෙහි පවත්නා නොදියුණුවට හේතු රජතුමාට පැහැදිලි කරන ලදී. ඒ අනුව පෙර රජවරුන් මෙන් දස සක්විති වත් අනුගමනය කරන්නට විය.

එහෙත් එහි සඳහන් දිළිඳු ජනයාට ධනය දීම යන අංක නවයෙහි සඳහන් කළ වගකීම් ඉටු නොකළේ ය. දුප්පතුන්ට ධනය නොදීම නිසා දිළිඳුකම වැඩි වන්නට විය. වැඩිවූ කල්හි එක්තරා දිළින්දෙක් වස්තුව සොරකම් කරන්නට විය. මිනිස්සු එම පුරුෂයා අල්ලාගෙන රජුවෙත ඉදිරිපත් කළේ ය. අනුන්ට අයත් දේ සොරකම් කළේ කුමක් නිසා දැයි ප්‍රශ්න කළ විට ජීවත්වීමට වස්තුව නොමැති නිසා යැයි කීය. එවිට රජු ඔහුට ධනය දී මවුපියන් පෝෂණය කරව. අඹුදරුවන් පෝෂණය කරව. කර්මාන්ත කරව. පින්දහම් කරව. යනුවෙන් අවවාද කොට පිටත් කළේය.

මෙය ආරංචි වූ වෙනත් කෙනෙක් ද සොරකම් කරන්නට විය. ඔහුගෙන් ද ප්‍රශ්න කොට පෙර සේ ම මුදල් දී අවවාද කොට පිටත් කර හැරීය. සොරකම් කළ අයට රජතුමා ධනය දෙන්නේ යැයි යන ආරංචිය රට පුරා පැතිරී යයි. සොරු එන්න එන්නම වැඩි වෙති. තුන්වැනි සොරාට ද ධනය දී නිදහස් කොට යැවීය.

සොරුන්ට ධනය දීමෙන් සොරකම මර්දනය කළ නොහේ. එනිසා මින් පසු සොරකම් කොට අසුවුවහොත් ඔවුන්ගේ හිස ගසා දැමිය යුතුයැයි සිතීය. අනුන්ට අයත් වස්තුව සොරකම් කළ අයෙක් රජුවෙත ඉදිරිපත් කළ කල්හි අත්පිටුපසට කොට බැඳ හිස මුඩුකොට වධ බෙර වයමින් වීථියක් පාසා, මංසන්ධියක් පාසා ප්‍රදර්ශනය කරමින් නැවත සොරකම් නොකරන ලෙස වධකස්ථානයේ දී හිස ගසා දැමීමට අණ කළේ ය.

සොරකම් කරන අය මරනවා යැයි යන ආරංචිය රටේ පැතිරෙන විට ඇතැම් අය අපේ වස්තුව සොරකම් කරන්නට එන සොරු මැරිය යුතු යැයි සිතා ආයුධ රැස් කරන්නට විය. මේ නිසා දුප්පතුන්ට ධනය නොදෙන විට දිළිඳුකම ලොව පැතිරී ගිය කල්හි සොරකම් ලොව පහළ විය. සොරකම මහත් වූ කල්හි ප්‍රාණඝාතය ඇතිවිය. ප්‍රාණඝාතය ඇතිවූ කල්හි ආයුධ රැස්කිරීමට පෙළඹුණි. මේ නිසා අසූදහසක් කල් ජීවත්වූ මිනිසුන්ගේ දරුවන්ගේ ආයුෂ හතළිස් දහස දක්වා අඩුවන්නට විය. වර්ණය පිරිහුණි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන අසුරින් මෙම ලිපිය සකස් කෙරිණි. මෙම ලිපියේ ඉතිරි කොටස බිනර පුරඅටවක පෝදා අන්තර්ජාල කලාපයේ පළවේ

නිකිණි අමාවක

අගෝස්තු 22 සිකුරාදා අ.භා 12.01 අමාවක ලබා 23 සෙනසුරාදා පූ.භා 11.41න් ගෙවේ.
22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]