සිරි දළදා හිමි
වැඩ සිටි
මඩුකන්ද ශ්‍රී දළදා
රාජමහා විහාරය
ඉන්දියාවේ සිට දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදා වහන්සේ වැඩමවා ගෙන ආ අවස්ථාවේ
කිත්සිරිමෙවන් රජු පෙරමඟට ගොස් දළදා වහන්සේ පිළිගෙන අනුරාධපුරයට වැඩමවීමට පෙර, එනම්
ඒ සඳහා ගමන් මග සූදානම් වන තෙක් මේඝගිරි විහාරයෙහි දළදා වහන්සේ තාවකාලික ව වඩා හිඳ
වූ බව අතීත තොරතුරු සඳහන් වේ.
වවුනියාව නගරයේ සිට කැබිතිගොල්ලෑව දෙසට කිලෝමීටර් හතරක් පමණ ගිය විට
මේඝගිරි විහාරය හමුවේ. මේඝගිරි විහාරය වර්තමාන මඩුකන්ද ශ්‍රී දළදා රාජ මහා
විහාරයයි. මෙම ප්‍රදේශය අතීතයේ දුටුගැමුණු රජුට සේවය කළ නන්දිමිත්‍ර සෙනෙවියා උපන්
බිම වශයෙන් ද ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය යි.
හේමමාලා කුමරිය හා දන්ත කුමරු උතුම් දන්ත ධාතුන් වහන්සේ රැගෙන කෝකිලායි කලපුවෙන්
බැස ලංකා පට්ඨන තොටුපලෙන් මෙරටට පැමිණි බව ඉතිහාසයේ සඳහන් වන බව කියැවේ. කෝකිලායි
යන්න වර්තමානයෙහි මුලතිව් දිස්ත්‍රික්කය ලෙස හැඳින්වුව ද අතීතයේ එය මූලමණ්ඩප ලෙස ද
හඳුන්වා ඇති බව කියැවේ. පළමුව මණ්ඩපයක් ඉදිකොට දළදා වහන්සේ තැන්පත් කළ නිසා
මූලමණ්ඩප වූ බවත්, එය පසුකාලීන ව මුල් ලද්දුව වී මුලතිව් වූ බවත් සඳහන් වේ.
දළදා වහන්සේ කෝකිලායි සිට අනුරාධපුරය දක්වා වැඩම කළ ගමන් මගේ දළදා වහන්සේ තැන්පත්
කොට වන්දනීය වූ මඩුකන්ද ශ්‍රී දළදා රාජමහා විහාර පින් බිම වර්තමානයේ ද බොදු දනන්ගේ
වන්දනාවට පාත්‍රවන පින්බිමකි.
ක්‍රි.ව. 200දී පමණ මඩුකන්ද විහාරය ඉදිවෙන අතර, ඒ වන විට උතුරු ප්‍රදේශයෙහි සිංහල
ජනාවාස පැවැති බවට සාධක රැසක් සාක්ෂි වන බව ද සඳහන් වේ. ක්‍රි.ව. 500 දී දළදා
වහන්සේ වැඩම කිරීමෙන් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දළදා වහන්සේ පිළිගෙන භාරගන්නා තුරු
මෙහි වඩාහිඳුවා තිබු බවට ශේෂ ව ඇති මාලිගයේ නටබුන් සාක්ෂි වනු ඇත. මහල් දෙකකින්
සමන්විත දළදා මාලිගයෙහි ඉහළ මහලයේ දළදා වහන්සේ තැන්පත් කොට වැඳුම් - පිදුම් කරන්නට
ඇති බව විශ්වාස කෙරේ.
මඩුකන්ද පිළිබඳ මහාවංසය සඳහන් කරන ආකාරය ගැන අවධානය යොමු කිරීම මෙහිදී ඉතා වැදගත්
බව සඳහන් කළ යුතු ය. මණ්ඩල ගිරි, මඩුළුගිරි වී පසුකාලීන ව මඩුකන්ද වූ බව මහාවංශය
සඳහන් කරන එක් සාධකයකි. මණ්ඩලාකාර කඳුවැටිය වළාකුලක් සේ දිස් වූ නිසා එය මණ්ඩලයගිරි
ලෙස හැඳින්වූ බව ද තවත් තැනක සඳහන් ය. මඩු ගස්වලින් ගහන ව පැවැති නිසා මඩුකන්ද වූ
බවට මතයක් ද ජනප්‍රවාදයේ එයි.
මහා වංශයට අනුව රිදියෙන් නිම වූ මණ්ඩපයක් තිබූ බැවින් මඩුව වූ බවයි. රනින් නිම කළ
මඩුවක් පැවැති බැවින් රුවන් මඩුව වූ බව ද, විශාල මණ්ඩපයක් ඉදිව තිබූ බැවින් මහාමඩුව
වූ බව ද, මඩු විශාල ප්‍රමාණයක් ඉදිකළ බැවින් මඩුකන්ද වූ බව ද කියැවේ.

මෙම පුණ්‍ය භූමියේ බෝධින් වහන්සේ ඉදිරි පසින් ඉතිහාසය සාක්ෂි දරන දන්ත ධාතුන්
වහන්සේ වැඩ සිටි මාලිගයේ නටබුන් දක්නට ඇත. මාලිගය අසල සමාධි සුවයෙන් වැඩ සිටින
බුද්ධ ප්‍රතිමාවකි. ඒ වගේම දළදා මාලිගය දෙසට අනිමිස ලෝචන පූජාවෙන් වැඩ සිටින හිඳි
පිළිම වහන්සේ නමකි. කාලයේ වැලිතලාවට හසු නොවී තවමත් විරාජමාන ව ඇති ඓතිහාසික නෂ්ඨාව
ශේෂයන් ඉතිහාසයේ සාක්ෂිකරුවන් බවට පත්ව ඇත.
- දීපා පෙරේරා |