[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මනු දම් සුරකින පවුලක රුව ගුණ

මනු දම් සුරකින පවුලක රුව ගුණ

පුද්ගලයකු සමාජයට ප්‍රවේශ කරන්නේ මව්පිය කාර්ය භාරයක් හැටියට ය. ඒ අනුව මව්පියන් විසින් දරුවන් උදෙසා ඉටු කළ යුතු යුතුකම් වගකීම් රාශියකි. මේ නිසා පවුලක අඹුසැමි සබඳතාව පිළිබඳ මෙන් ම මව්පිය දූදරු සබඳතාව පිළිබඳව ද බුදු සමයේ ඉතා ගැඹුරින් සාකච්ඡා වී තිබේ. බුදුදහමේ පවුල සම්බන්ධ ව කුල කිහිපයක් දක්වා ඇත.

“සබ්‍රහ්ම කුල” යන්නෙන් අදහස් කරන්නේ බ්‍රහ්මයන් සහිත “පවුල” යන්නයි. බ්‍රහ්ම නාමයෙන් ගැනෙන්නේ මව්පියවරුන් ය. මව්පියවරුන් එසේ හඳුන්වනු ලබන්නේ දරුවන් කෙරෙහි බ්‍රහ්ම විහරණය පවත්වන බැවිනි. එනම් අව්‍යාජ ලෙස දරුවාට සතුරු නොවන මිතුරු ගති පැවැත්වීමත්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණයන්ගෙන් යුතු වීමත් ය.

පුද්ගලයකු කෙරෙහි අවංකව ම මෙත් සිත, සතුරු නොවන ගතිය ප්‍රකාශ වන්නේ මව්පියවරුන් වෙතිනි. බාහිර පුද්ගලයන්ගෙන් එබඳු අවෛරී බවක් අපේක්ෂා කළ නොහැකි ය. යම් පුද්ගලයකු යම් දුකකට පැමිණේ නම්, අවංකව ම එය නො ඉවසන්නේ නම් ඒ ඒ තැනැත්තාගේ මව්පියෝ ය. මව්පියවරුන් කරුණා ගුණයෙන් යුතු යැයි පවසන්නේ එබැවිනි. යම් පුද්ගලයකු යම් සැපතකට පත්වන්නේ නම්, එහි දී අවංක ව සතුටු වන්නේ ඒ තැනැත්තාගේ මව්පියවරු ය. ඔවුන් මුදිතා ගුණයෙන් යුතු යැයි පවසන්නේ එබැවිනි. පුද්ගලයකු කෙරෙහි අවංකව ම මැදහත් සිතින් ක්‍රියා කරන්නේ ඔහුගේ මව්පියන් ය. එබැවින් ඔවුහු උපේක්ඛා ගුණයෙන් යුක්ත වෙයි. අපගේ යම් වරදක දී වුව ද මවුපියන්ගේ ඉවසීම මැදහත් පැවැත්ම බාහිර පුද්ගලයකුගෙන් අපේක්ෂා කළ නොහැකි ය.

සපුබ්බාචරිය කුල :– මෙයින් අදහස් වන්නේ පූර්ව ආචාර්යවරුන් සහිත පවුලයි. පූර්ව ආචාර්යවරුන් වන්නේ මව්පියවරු ය. ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය ව්‍යවහාර කුසලතාව ලබා දෙන බැවින් පුබ්බාචරිය යනුවෙන් ව්‍යවහාර කෙරේ. “මෙසේ වාඩිවෙත්න, මෙසේ සිටින්න. මෙසේ යන්න, මෙසේ නිදාගන්න, මෙසේ ආහාර ගන්න මෙසේ බුදින්න” යනුවෙන් තමාගේ චර්යාවන් හැඩගසා ගැනීමට උපදෙස් දෙන්නේ මව්පියවරුන් බව අමතක නොකරන්න. මේ පුතාගෙ තාත්තා, මේ පුතාගේ අයියා, මේ පුතාගේ අක්කා ආදි වශයෙන් පවුලේ සාමාජිකයන් හඳුන්වා දෙමින් තමාත් පවුලේ සාමාජිකයකු ලෙස වැටහෙන පරිදි ක්‍රියා කරන්නේ මව්පියවරුන් බව අමතක නොකරන්න. මෙය කරන්නට සුදුසු ය. මෙය කරන්නට හොඳ නැහැ යනුවෙන් හොඳ නරක හඳුන්වා දෙනු ලබන්නේ මව්පියවරුන් විසිනි.

ඒ මව්පියවරුන් පූර්වාචාර්යවරුන් ලෙස සැලකීම බෞද්ධ ගෘහ ජීවිතයේ ගෞරවණීයත්වය පිණිස වැදගත් වන්නකි. මේ බව මව්පියවරුන් විසින් මෙන් ම දරුවන් ද එකසේ වටහා ගෙන සිටිය යුතු ය.

දරුවා මුලින්ම කරන්නේ විවිධ අත්දැකීම් ග්‍රහනය කර ගැනීම මඟින් වටපිටාව තේරුම් ගැනීම ය. ඒ නිසා සුදුසු පරිදි අත්දැකීම් ග්‍රහණය කර ගැනීමට සැලැස්වීම (ගහාපෙන්ති) කරුණු තේරෙන්නට පටන්ගත් කල්හි ශික්ෂණයට පත් කළ යුතුය. (සික්ඛාපෙන්ති).

බුදුදහම දරුවා කේන්ද්‍ර කර ගත් පවුලක් පිළිබඳ ව අවධානය යොමු කර ඇති ආකාරය මින් පෙනේ.

සපුබ්බදේව කුල :– මෙහි අර්ථය පූර්ව දේවතාවරු සහිත පවුල යන්නයි. පූර්ව දේවතා වශයෙන් හඳුන්වා ඇත්තේ මව්පියවරු ය. දේවතාවරු නම් රැකවරණය සලසන්නේ ය. දරුවාගේ ජීවිතය මූලික වශයෙන් රැක දෙන්නේ මව්පියවරු ය. එබැවින් ඔවුහු පූර්ව දේවතා නම් වෙති.

සාහුනෙය්‍ය කුල - දරුවන් විසින් රැගෙන විත් පිළිගන්වන ආහාර වස්ත්‍ර ආදි පුද පූජාවන් පිළිගැනීමට සුදුසු මව්පියවරුන් සහිත පවුල යන්න මෙහි අර්ථයයි.

පවුල හැඳින්වීම සඳහා මුලින් දක්වන ලද ව්‍යවහාර ළමා කේන්ද්‍රීය ව ක්‍රියාත්මක වන මව්පිය කාර්යභාරය ප්‍රකට කරයි. අවසානයේ දක්වන ලද “සාහුනෙය්‍ය කුල’ යන්නෙන් මව්පියන් කේන්ද්‍ර කර ගෙන දරුවන් අතින් ක්‍රියාත්මක විය යුතු කාර්යභාරය ප්‍රකට කරයි.

මව්පියන් හැඳින්වෙන්නේ දරුවන්ට ලෝකය පෙන්වා දෙන අය හැටියට ය. අංගුත්තර නිකායේ අට්ඨකතාවේ ලෝකය හඳුන්වා දීම යනු ලෝකයේ ඉටු - අනිටු, රුචි - අරුචි තත්ත්වයන් හඳුන්වා දීම වේ. එය මෙසේ ය.

මව්පියන් දරුවා උපන් දවසේ ම දෙපයින් ගෙන කැලයට, ගඟට, ප්‍රපාතයට දමන්නේ නම් ලෝකයේ ඉටු - අනිටු තත්ත්වයක් දක්නට නොලැබෙයි. එසේ නොකර දරුවා වර්ධනය කරමින්, පෝෂණය කරමින් කටයුතු කරන නිසා මේ ලෝකයේ දුක හා සැප තත්ත්වයන් මව්පියන්ගෙන් දැන ගනියි. දරුවන්ට මේ ලෝකය හඳුන්වා දෙන්නන් හැටියට මව්පියන් සලකන්නේ ඒ නිසා ය.

ගෘහ ජීවිතයේ දි වැදගත් වන දරු සම්පත සකසා ගත යුත්තේ මේ අවබෝධය පදනම් කර ගෙනය. හොඳ කායික මානසික තත්ත්වයක් ඇති දරු සම්පතක් ලබා ගැනීම යන්න මව්පිය දෙදෙනා මනා අවබෝධයක් මත සිදු විය යුතු ය. පින්වත් දරුවන් උපදින්නට නම් මව්පියන් ද පින් සිත් ඇති ව ක්‍රියා කළ යුතු ය.

දරු සම්පතක් ලබා ගැනීමේ දි විශේෂ ස්ථානයක් හිමි වන්නේ මවට ය. දරුවාට හැම අතින්ම සමීප වන්නේ මවයි.

මාතෘත්වයේ කාර්යභාරය අනුව මව හඳුන්වන වචන සතරක් බුදුදහමේ දක්වා ඇත. එනම් සුභද්‍ර, ජනෙත්ති තෝසෙන්ති, පෝසෙත්ති යනුවෙනි. මව්පිය දූ දරු සබඳතාවක ස්වභාවය වටහා ගැනීමේ දී මේ කරුණු ඉතා වැදගත් වේ.

සුභද්‍ර – දරුවාට පළමුවෙන් ම ආදරය කරන්නේ මවයි. සුභද්‍ර යනුවෙන් මව හඳුන්වන්නේ ඒ නිසා ය. ගැබ දරන මවකට යම් අවස්ථාවක දොළ දුකක් ඇති වන්නේ ද දරුවා කෙරෙහි ආදරය සෙනෙහස ප්‍රකාශ වන්නේ එතැන් සිට ය.

ජනෙත්ති-කුස පිළිසිඳ ගත් දරුවාට, නිරෝගි උපතක් ලබා දෙන බැවින් මව ජනෙත්ති යනුවෙන් හැඳින්වේ.

තෝසෙන්ති - කිරි දි, ගී ගයා නළවා ශරීර ස්පර්ශය ලබාදෙමින් හඬන්නා වූ දරුවා සතුටු කරන බැවින් මව තෝසෙන්ති නමින් හැඳින්වේ.

පෝසෙන්ති - දරුවාට නිසි කායික, මානසික පෝෂණය ලබා දෙන බැවින් පෝසෙන්ති නමින් හැඳින්වේ.

මේ කරුණු සලකා බලනවිට මවකගේ කාර්ය කොතරම් ගැඹුරු ද යන්න වටහාගත හැකි ය. සෑම කරුණකින් ම තහවුරු වන්නේ මානව ගුණාංග සපිරි පුද්ගලයකු සමාජයට පිරිනැමීම උදෙසා බෞද්ධ චින්තනය අනුව සිදුවන මව්පිය කැපකිරීමේ විශාලත්වයයි.

පාප නිවාරෙන්ති-

පවිටු ක්‍රියාවන්ගෙන් දරුවන් වළක්වාලීම, කාල්‍යාණේ නිවේසෙන්ති-

යහපතෙහි පිහිටුවීම, මේ අංග දෙකින් පෙනෙන්නේ දරුවන් සදාචාරවත් කිරීම පිළිබඳ මව්පිය වගකීමයි.

සිප්පං සික්ඛාපෙන්ති - ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරවීම, සදාචාරවත් දරුවාට ජීවනෝපාය මඟක් සලසා දීම මව්පියන්ගේ වගකීමකි. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනයක් ලබා ගැනීමට අවකාශ උදාකළ යුතු ය.

පතිරූපනෙ දාරෙන සංයෝජෙන්ති - යෝග්‍ය ආවාහ විවාහ කටයුතු සපුරාලීම, විවාහ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයකි. එය මව්පියන්ගේ ආශිර්වාදය යටතේ සිදුවිය යුතු ය.

සමයේ දයාජ්ජං නීයාදෙන්ති - සුදුසු කල්හි මව්පිය දායාදය පවරා දිය යුතු ය. එය දරුවාගේ ජීවන තත්ත්වය ස්ථාවර භාවයට පත් කරලීමටය.

මේ අයුරින් මව්පියවරුන් දරුවාගේ සදාචාරය, අධ්‍යාපනය, විවාහය, ආර්ථිකය, සුරක්ෂිතභාවය යන කරුණු සැලකිල්ලට නොගතහොත් දරුවන්ගේ ජීවිතය වියවුල් වී යනු ඇත.

අනතුරුව අප සලකා බැලිය යුත්තේ තමාගේ ජීවිතය උදෙසා මෙවැනි කැපකිරීමක් කර ඇති මව්පියවරුන් කෙරෙහි දරුවන් හැටියට අපගේ කාර්යභාරය කුමක්ද යන්නයි.

සිඟාල සූත්‍රයෙහි මව්පියවරුන් කෙරෙහි උපස්ථානශීලි වන දරුවන්ගේ කාර්යභාරය කෙබඳු දැයි විමසා බලමු.

තමා පෝෂණය කළ මව්පියන් වෘද්ධ අවස්ථාවේ දී පෙරළා පෝෂණය කළ යුතු ය. වයස්ගත අවස්ථාව අසරණ තත්ත්වයෙන් ගතකරන්නට අවකාශ නොසැලසිය යුතු ය.

මව්පියන් යම් දායාදයක් දරුවන්ට පැවරුවා නම් එය සැලකිල්ලෙන් ආරක්ෂා කිරීමට දරුවා පෙළඹේ නම් එය ද මව්පියන්ගේ පී‍්‍රතියට හේතුවෙකි. මව්පියන් මියගිය පසු දක්ෂිණා පිරිනැමීමෙන් ඔවුන්ට පුණ්‍යානුමෝදනා කරනු ඇත යන අපේක්ෂාව ද ඉටු කිරීම කෙරෙහි දරුවන් සැලකිලිමත් විය යුතු ය.

යම් දරුවෙක් වසර සියයක් දිවි ඇත්තකු ලෙස තම මව්පිය දෙදෙනා දෙපස හිඳුවාගෙන ඔවුන්ගේ මළ මුත්‍ර පිරිසුදු කරමින් උවැටන් කළ ද මව්පිය කාර්යභාරයට ප්‍රත්‍යුපකාර කිරීම නිම නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

නිකිණි අමාවක

අගෝස්තු 22 සිකුරාදා අ.භා 12.01 අමාවක ලබා 23 සෙනසුරාදා පූ.භා 11.41න් ගෙවේ.
22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]