භාණක පරපුරෙන් ලේඛනයට පිවිසි
සම්බුද්ධ භාෂිතය
ඌරුගමුවේ අස්සජී හිමි
ඉපැරැණි දඹදිව වාසීහු ග්‍රන්ථ රචනා කිරීමේ කලාව ක්‍රම තුනක් ඔස්සේ අනුගමනය කළහ.
තල්පත්වල අක්ෂර ලිවීමත්, ගස්වලින් ලබා ගන්නා පොතුවල හා රෙදි මත අක්ෂර ලිවීමත් එම
ක්‍රම තුනයි.
එහෙත් ධර්ම සංග්‍රාහක මහතෙරුන් වහන්සේ තීරණය කළේ බ්‍රාහ්මණයන් වේදය වාචනා මාර්ගයෙන්
රැක ගන්නා ගෞරවනීය ආකාරයෙන් ත්‍රිපිටකය ද ධාරණය කර රැක ගැනීමට ය. ඒ අනුව එක් එක්
කොටස් ධාරණය මඟින් රැක ගැනීම වෙන් වෙන් වශයෙන් සංඝ පරම්පරාවනට පැවරුණු ආකාරය ඉහත
සඳහන් කෙරිණි. ප්‍රථම සංගායනාවේ පටන් ත්‍රිපිටකය කටපාඩමින් රැකගෙන ආ එකී සංඝ
පරම්පරාවන්හි මූලික ශිෂ්‍යානුශිෂ්‍ය මහ තෙරුන් වහන්සේ ගේ නාමලේඛනය මෙසේ ය.
උපාලි හිමි, දාසක හිමි, සෝණක හිමි,සග්ගව හිමි, මොග්ගලීපුත්ත තිස්ස හිමි, මහින්ද
හිමි, ඉත්ථිය හිමි, උත්තිය හිමි, සම්භල හිමි, භද්දසාල හිමි, අරිට්ඨ හිමි, තිස්සදත්ත
හිමි, කාලසුමන හිමි, දීඝනාම හිමි, කාලසුමන හිමි, කාලසුමන හිමි, බුද්ධරක්ඛිත හිමි,
නාග හිමි, තිස්ස හිමි, දේව හිමි, සුමන හිමි, චූලනාග හිමි, ධම්මපාල හිමි, ඛේම හිමි,
උපතිස්ස හිමි, ඵුස්ස දේව හිමි, සුමන හිමි, පදුම හිමි, මහාසීව හිමි, උපාලි හිමි,
මහානාග හිමි, අභය හිමි, තිස්ස හිමි, ඵුස්සනාම හිමි, චූලාභය හිමි, තිස්ස හිමි, සිව
හිමි.
ශ්‍රී බුද්ධ වර්ෂ 439 - 466 අතර කාලය ලක්දිව වළගම්බා රාජ්‍ය සමය යි. එහි මුල්
කාලයෙහි සතුරු උපද්‍රව බෙහෙවින් පැවැති අතර, පසුව වර්ෂාව නොලැබීමෙන් බැමිණිතියාසාය
නම් වූ මහා සාගතයකට මුහුණදීමට සිදු විය. මෙය භික්ෂුන් වහන්සේ මුඛ පරම්පරාවෙන්
ත්‍රිපිටකය රැකගෙන ආ කාලය යි. ත්‍රිපිටකය සෑම දිනෙක ම සජ්ඣායනා කළ යුතු විය. නොඑසේ
නම් ධාරණයෙන් ගිලිහෙයි. එයට පේවී සිටින භික්ෂූන් වහන්සේ උදේ වරුවේ පිණ්ඩපාතයේ ගොස්
වළඳා සවස්වරුවේ පටන් මහ රෑ වනතුරු ත්‍රිපිටකය සජ්ඣායනා කිරීම දෛනික සිරිත යි. කල්
යත්ම සාගතය නිසා පිණ්ඩපාතය ලැබීමත් ක්‍රමයෙන් අඩු විය. එබැවින් උන්වහන්සේ රැස්වී
මෙසේ කතිකා කළ හ. “මෙසේ පිණ්ඩපාතය වත් නොලැබී සිට අපේ ජීවිත අවසන් වුවහොත්
ත්‍රිපිටකය ලෝකයට ම අහිමි වන්නේ ය. එබැවින් පිටරටකට ගොසින් හෝ අපේ ජීවිත රැකගෙන
ත්‍රිපිටකයත් රැක ගනිමු.”
ඒ අනුව බොහෝ භික්ෂුන් වහන්සේ දඹදිවට වැඩම කළහ. සැට නමක් පමණක්” අපි මෙහි ම නතර වී
සාගිනි දුක් විඳිමින් ත්‍රිපිටකය ආරක්ෂා කරමු” යි තීරණයකට එලඹියහ. එසේ නතර වූ
උන්වහන්සේ උදේ වරුවේ පිණ්ඩපාතයේ ගොස් ලද දෙයක් වළඳා එතැන් සිට ත්‍රිපිටකය සජ්ඣායනා
කරති. කල් යත්ම කෙමෙන් කෙමෙන් හඬ දුර්වල විය. හඬ ඔවුනොවුන්ට නො ඇසෙන තරමට ම දුර්වල
විය. සාගතය නිසා ගංගාවල ජලය නොමැත. වැලි ඇත. ඒ වැලි තැනින් තැන ගොඩවල් ගසා හිස් ළං
වන පරිදි වටේට වාඩි වී ත්‍රිපිටකය සජ්ඣායනා කළහ. කාලයකට පසු වැසි ඇදහැලුණේ ය.
ගොවිතැන් සරුසාර විය. ආහාරපාන සුලබ විය. විදෙස්ගත වූ භික්ෂුන් වහන්සේ ද ආපසු වැඩම
කළහ.
ස්වදේශයෙහි සිටියා වූ ද, විදේශයට ගොස් පැමිණියා වූ ද ත්‍රිපිටක භාරධාරී මහ තෙරුන්
වහන්සේ කළලගාම ජනපදයෙහි මණ්ඩලාරාමයට රැස් වී ත්‍රිපිටකය සජ්ඣායනා කොට බැලූහ.
දෙපිරිස ම ත්‍රිපිටකය මනා සේ රැක ගෙන ඇති බව වැටහිණි. සියලු දෙනා වහන්සේ ම බලවත්
සොම්නසට පත් වූහ.
භාණක පරම්පරා මඟින් ත්‍රිපිටකය රැක ගැනීමේ සම්ප්‍රදාය උතුම් වුව ද ඒ තුළ පවත්නා
අවදානම මෙසේ ප්‍රායෝගිකව ම අත්දුටු ලක්දිව භික්ෂුන් වහන්සේ මාතලේ අළු ලෙන හෙවත්
ආලෝක විහාරයේ දී රක්ඛිත මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පෙර ධර්ම සංගායනාවල දී සේ
ම ත්‍රිපිටකය පිළිවෙළින් සජ්ඣායනා කොට තඹපත්වල ලියා තැබූහ. ගත වූ කාලය වසර 14 කි.
පසුව තඹපත්වලින් පුස්කොළ පොත්වල ලියා ගත් ත්‍රිපිටකය සිරිලක පුරා පැතිර ගියේ ය.
බුරුමය, සියම, කාම්බෝජය යනාදී රටවලට ද ත්‍රිපිටකය පිටපත් කරගෙන ගියේ ලංකාවෙනි.
එතැන් සිට ති‍්‍රපිටකය ආරක්ෂා කිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ ශ්‍රී ලංකාවයි.
වර්ෂ 1956 දී උදා වූ 2500 වැනි සම්බුද්ධත්ව ජයන්තිය හා සමගාමීව වර්ෂ 1954 දී පාලි
ත්‍රිපිටකය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ භාරදූර ශාසනික කාර්යය ආරම්භ කෙරිණි. එවකට
ලංකාවේ වැඩසිටි අග්‍රගණ්‍ය විද්වත් යතිවරයන් වහන්සේගේ එකතුවෙන් මෙම කාර්යය සපුරා
ගැනීමට වසර 36ක් ගත විණි. වර්ෂ 1989 දී නිම කළ 57 ක් වූ මෙම ත්‍රිපිටක පරිවර්තන
ග්‍රන්ථ හැඳින්වෙන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ලෙස යි.
චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය, කර්මය, පුනර්භවය, පටිච්චසමුප්පාදය වැනි බුදු දහමේ
මූලික ඉගැන්වීම් පමණක් නොව පරමාණුව, චක්‍රාවාට, විශ්වය හා එහි ජීවීන් ආදිය
පිළිබඳවත් ආර්ථිකය, දේශපාලනය, අධ්‍යාපනය, මනෝ විද්‍යාව, කළමනාකරණය, නාට්‍ය, ගීත,
චිත්‍රපට ආදිය පිළිබඳවත්, ආහාරපාන, ඇඳුම් පැලඳුම් ආදියත්, ලෙඩ රෝග හා ප්‍රතිකර්ම
ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ දේශනා කොට තිබෙන ත්‍රිපිටක ධර්මය තුළ
අන්තර්ගතය අදටත් නවීන ය. විශ්වය පිළිබඳ මෑතක දී විද්‍යාඥයන් හෙළි කර ඇති කරුණු
මුලින් ම අන්තර්ගත වූයේ ත්‍රිපිටකය තුළ වීම පිළිබඳ බටහිර විද්‍යාඥයෝ විමතියට පත්
වෙති. එසේම ත්‍රිපිටකාගත මනෝ විද්‍යාව ස්වකීය දැනුම් සම්භාරය ඉක්මවා සිටින බව නූතන
මනෝ විද්‍යාඥයෝ පවසති. එබැවින් සමස්ත ලෝකයා විසින් ම අධ්‍යයනය කළ යුතු සර්වකාලීන හා
සර්ව භෞමික අගයෙන් යුක්ත ත්‍රිපිටකය ජාතික උරුමයක් සේ නීතිගත කොට ආරක්ෂා කිරීම
ශ්‍රී ලංකාවාසීන් සතු ඓතිහාසික උරුමයකි. |