[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වටිනාකම් දෙන්නට පෙරනොවටිනාකම හඳුනාගන්න

වටිනාකම් දෙන්නට පෙර නොවටිනාකම හඳුනාගන්න

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් දස රාජ ධර්මයෙන් රාජ්‍ය විචාරන්නේ ය. එකල වෙළෙඳාම පිණිස නැව් නැඟි වෙළෙන්දන් පන්සියයකි. මහ මුහුදේ දී ඒ නැව කුණාටුවකට හසු විය. එක් අයකු හැර අන් සියල්ලෝ මහ සයුරට බිලි වූහ.

මහ සයුර සමඟින් පොර බදමින් පිහිනා ගිය ඔහු කණ්ඩියපට්ටන නම් තොටට ගොඩ විය. දින ගණනාවක් නිරාහාර ව සිටි ඔහුට ඇඳිවත පවා නොවීය. නග්න සිරුරු ඇතිව ම ආහාර සොයා ගිය ඔහු දුටු ගම් වැසියෝ

“මොහු කිසි දෙයකට ආශා නැත්තෙකි. මහා සිල්වතකු හැර එසේ වන්නේ කවරකු දැයි” ඔහු ගැන පැහැදුණහ. ඔහු සොයා ගොස් ආහාරපානයෙන් නිති සංග්‍රහය කරන්නට වූහ.

කය නොවෙහෙසා ම ආහාර පාන නොඅඩුව ලද මොහු එය තමන් ලද මහා භාග්‍යයකැ'යි සිතීය. කපටි සිතින් ගම් වැසියෝ රවටන්නේ, තමන් කිසිදු දෙයකට ආශා නැති, සීල ගුණ සපුරන කෙනෙකැයි ම හඟවන්නේ ය. ගම් වැසියෝ ද මේ ගුණවත් තාපසයෙකියි සිතා පොරෝනා, රෙදි පිළි ද ගෙනැවිත් පිදූහ. ඒ සියල්ල ඔහු ප්‍රතික්ෂේප කරන්නේ ය. මේ උපායට හසු වූ වැසියෝ ඔහු ගැන තව තවත් පැහැදී ආරාමයක් ද තනවා දුන්හ. ‘කණ්ඩියාතොට තාපසයෝ’ යි ගෞරවයෙන් ඇමතූහ.

එකල නාග රාජයෙක් හා ගුරුළු රාජයෙක් මේ තාපසාරාමයට පැමිණ තාපසයාට උපස්ථාන කරන්නට විය. දිනක් තාපසයා හමුවූ ගුරුළු රාජයා උපකාරයක් පැතීය. නාගයන් ඇල්ලීම සඳහා නාග ලෝකයට කිමිදෙන ගුරුලන් බොහෝ දෙනා මියයන බවත්, ගුරුලන්ගෙන් බේරීම සඳහා නාගයන්ට යම් රහස් උපායක් ඇති බවත්, නාගයා රවටා ඒ උපාය කුමක් දැයි අසා දැන තමන්ට කියන ලෙසත් ඉල්ලා සිටියේ ය.

තාපසයා ද, ගුරුලාගේ අදහස් ඉටුකර දෙන්නෙමැ යි පොරොන්දු විය. දිනක් තමාගේ උපස්ථානය පිණිස පැමිණි නාග රාජයා අමතා පි‍්‍රය බස් කතා කරන්නට විය. ටිකෙන් ටික නාගයාගේ විශ්වාසය දිනාගෙන

"නා රජුනි, නාගයන් ඇල්ලීමට බොහෝ ගුරුලන් මුහුදු දිය මතින් කිමිදෙන බව මම අසා ඇත්තෙමි. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ආපසු නොපැමිණෙති. මරණයට පත්වෙති. ඒ ඇයි දැ’යි" අසන්නේ ය.

ඒ ඇසූ නා රජු එය ඔවුන් විසින් සුරැකිය යුතු රහසක් බවත්, යම් හෙයකින් ඒ රහස හෙළි කළේ නම් සිය කුලයේ නාගයන්ට ම මරණය ළඟා කර ගත්තා වන බවත් පවසා රහස හෙළි නොකරන, බව පැවසීය. තාපසයා ගුණවතෙකැයි සිතූ නා රජු නැවත ද ඔහුගෙන්

‘තාපසතුමනි, ඒ රහස දැන ගුරුලන්ට පැවසීමේ අදහසක් ඔබට ඇත්තේදැ’යි විමසීය. නාගයාගේ අවනත බවින් ප්‍රයෝජන ගත් තාපසයා තමන් තුළ එවැනි අදහසක් නොවන බවත්, කුතුහලය නිසා ඇසූ බවත් කියා තව තවත් නාගයාගේ සිත දිනා ගත්තේ ය.

මෙසේ කිහිප දිනක් ම නා රජු තාපසාරාමයට පැමිණි අවස්ථාවන්හි මේ රහස ගැන විමසන්නට තාපසයා අමතක නොකළේ ය. මේ තරම් අසාත් රහස නොකියන්නේ මා ගැන අවිශ්වාසයෙන් දැයි දවසක ඇසීය. ඒ ඇසූ නාරජු

මේ තරම් අසන නිසා රහස කියන බවත්, එය කිසිවකුට නොකියන ලෙසත් පවසා "තාපසතුමනි ගුරුලන් අප ඩැහැ ගන්නේ හිසෙනි. අප ගල් ගිලදමා සිටින නිසා ඔසවාගෙන යෑමට අපහසු ය. එවිට මුහුදු ජලයට හසු වී ගුරුලන් මියයයි. අපගේ වලිගයෙන් ඩැහැ ගන්නේ නම් ගිල දමා සිටින ගල් කටින් ගිලිහී ගොස් බර සැහැල්ලු වෙයි. එවිට ගුරුලන්ට අප ඩැහැගෙන යෑම පහසු ය. එහෙත් ගුරුලන් මේ රහස නොදනී. ඒ නිසා අපගේ දිවි සුරැකෙයි. ගුරුලන් නැසෙයි.” යැයි තම රහස හෙළි කළේ ය.

ගුණමකු තාපසයා රහස දැන සතුටුව මහත් හපන්කමක් කළා සේ සිතා ගුරුලාට ඒ රහස හෙළි කළේ ය. ගුරුලා ද සතුටු ව මුහුදු දිය දෙබෑ කොට පණ්ඩර නාග රාජයා ම සොයා ගොස් හිස පහළට වන සේ වලිගයෙන් අල්ලාගෙන අහසට නැංගේ ය. බිය උපදවා ගත් නා රජු හඬන්නට විය.

"බොහෝ මිනිසුන්ගේ ආදර ගෞරවය ලද තාපසයා ගුණවතෙකැයි සිතුවෙමි. ඒ ගුණමකු නිගණ්ඨයා මා රැවටීය. මා ඔහුට කීවේ වැදගත් රහසකි. එයින් මා ද නැසී මාගේ කුලයේ අය ද විනාශ වෙති. අහෝ මෙවැනි දුර්ජනයන් විෂඝෝර සර්පයන් සේ දුරින් ම දුරු කළ යුතු වන්නේ ය."

"නාග රාජය, ඒ තාපස වෙස් ගත් ගුණමකු මිනිසාට චෝදනා නොකරව, මෙය ඔහුගේ වරද නොවේ. රහස කී ඔබගේ ම වරද ය. ඔබගේ මේ වරද අනුන්ට ද පාඩමකි. දරුවන්ට, මවුපියන් තරම් කෙනෙක් නැත. ඒ සා හිතවත් ය. එහෙත් දරුවන්ගේ රහස් වුව රැකීම අසීරු ය. තවත් කනකට යා හැකිය. එසේ වූ කල නෑ හිත මිතුරන්, සහෝදර සහෝදරියන් ගැන කවර කතා ද? නුවණැත්තෝ කිසිවකුට රහස් නොකියති. යම් හෙයකින් කීවද මොහු මාගේ රහස හෙළි කරයි යන බියෙන් දිවා රෑ ගෙවන්නේ ය. ඔහු කියන කියන දෙය කරන්නේ ය. ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ ය. ඔහුගේ අසාධාරණකම්, අගතීන් ඉවසන්නේ ය.”

මේ ඔවදන් ඇසූ නා රජු ගුරුලාගෙන් ජීවිත දානය අයදියි.

“ගුරුලු රජුනි. මා ආහාරයට ගන්නට අවස්ථාව තිබියදීත් මේ සා දුරක් ඔබ මා ඔසවාගෙන ආවේ ය. මගේ මව සේ ඔබ මා හට ඔවදන් දුන්නේ ය. එතරම් ගුණවත් ඔබගෙන් මම මගේ ජීවිතය අයදිමි. මට අභය දානය දෙනු මැනවි.”

“මම ඔබගේ සතුරෙක්මි. එසේ වුව මවක පියකු මෙන් මම ඔබට ඔවදන් දුනිමි. ඔබ ද මා මවක් සේ සැලකීය. මම ඔබට ජීවිතය දෙමි.”

ගුරුලු රාජයා නා රජු නාග භවනට ම ගෙන ගොස් දැමීය. එහෙත් ගුරුලාට සැකයකි. ඒ නා රජු තමන් මවුපියන් හා සමව සැලකුවා ද යන පැනයයි. ඒ සැකයෙන් නාගයා විමසනු පිණිස නැවත නාග භවනට වන්නේ ය. නාරජු ඔහු දැක හඳුනාගෙන පි‍්‍රය වදනින් ඇමතීය. සතුටු කතාවෙහි යෙදුණේ ය.

“ගුරුලු රජුනි, අපි දෙදෙනා ම එක්ව තාපස වෙස්ගත් නිගණ්ඨයාගේ අරමට යමු.” යි දෙදෙනා ම එහි ගියහ. එහෙත් ගුරුලා දුශ්ශීල මිනිසා දකිනු නොරිසි ය. නාගයා පමණක් එහි පිටත් කොට හැරියේ ය.

ඒ නිර්ලජ්ජිත මිනිසා ඉදිරියේ පෙනී සිටි නා රජු ඔහු ඇමතුවේ ය.

"මිත්‍ර ද්‍රෝහී පවිටු දුශ්ශීලය. මා රවටා නුඹ මාගේ රහස දැන ගත්තේ ය. නුඹ කවර ලාභයක් නිසා මාගෙන් රහස දැන ගුරුලු රජුට කීවේද? එයින් නුඹ ලද ලාභය කවරේද?”

“නා රජුනි. නුඹගේ රහස දැන ගැනීමෙන් මට කිසිදු ලාභයක් නොවීය. එහෙත් නුඹට වඩා මට ගුරුලා පි‍්‍රයමනාප ය. එහෙයින් නුඹගේ රහස ගුරුලාට කීවෙමි.”

“දුශ්ශීලය. නුඹ සොරෙකි. වංචනිකයෙකි. මිත්‍ර ද්‍රෝහියෙකි. මිනිසුන් රවටන්නෙකි. අකුසල් කරන්නෙකි. බොරු කියා මා ද රැවටීය. ඒ බව සත්‍ය නම් නුඹගේ හිස සත් කඩකට පැළේවා” යි නා රජු ඒ දුසිල්වත් මිනිසාට ශාප කළේ ය. එපරිදි ම සිදුවිය. තාපසයාගේ හිස බිඳී ගොස් මරණයට පත්විණි. පොළොවෙන් නැඟී ආ ගිනිදැල් ඔහු අවීචි මහා නරකාදියට ඇද දැමීය.

මේ පණ්ඩර නාග ජාතක කතාව අසුරින් ලියැවුණු සටහනකි. ජීවිතයට බොහෝ පාඩම් උගන්වන අපූර්ව කතා පුවතකි. ගුණවතුන් ලෙස පෙනී සිටින වංචනිකයන්ට රැවටීමත්, ඒ අනුව යමින් මිථ්‍යා දෘෂ්ටික අදහස්හි එල්බ ගැනීමත් නිසා ජීවිතය ම අභාග්‍යයට වැටෙන අය එදා මෙන් ම අද ද වෙති.

‘මිනිසා’ තේරුම් ගන්නට අසීරු සත්ත්වයෙකි. තිරිසන් සතකු නම් භයානක ද, නොවේද, කරදර කරයි ද, නොකරයි ද යන්න හැසිරීමෙන් දත හැකි ය. එහෙත් මිනිසා එලෙස හඳුනාගත නොහැකි ය. අනුන් රවටනු පිණිස යහපත් හැසිරීම්, රංගනයන් දක්වා නිර්ලජිත ව තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නා නොමිනිස් ගති ඇත්තන් නිසා බොහෝ පීඩාවන්ට ගොදුරු වන මිනිසුන් අපමණ ය. ඇඳුමෙන්, පැලඳුමෙන්, කතාබහෙන්, හැසිරීමෙන් සමාජය රැවටීම පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම ප්‍රකට වේ. බොහෝ මිනිසුන්, මිනිසුන්ට රැවටෙන්නේ ඔවුන් ද තමන්ගේ මට්ටමින් මනින්නට යෑම නිසා ය. එමෙන් ම බාහිරින්, අභ්‍යන්තරය මැනීම නිසා ය. මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ මීට වසර බොහෝ ගණනකට පෙර ය. එහෙත් එදා සේ ම අද ද රැවටීමෙහි වෙනසක් නැත. අඩුවක් ද නැත. අපට කොතැන හෝ වැරැදී ඇති බව නම් සත්‍යය. ඒ වැරැදි නිවැරැදි කර නොගන්නා තාක් ඒ අඥානකමේ අමිහිරි අත්දැකීම්වලින් බේරී සිටින්නට නොහැකි බව ද සත්‍යය.

විමර්ශනශීලී බව, තීරණයක් ගන්නට පළමුව ඉතා ම අත්‍යවශ්‍ය ය. සමාජ අත්දැකීම් තුළින්, පොතපතින් ලබන දැනුමෙන්, කලණ මිතුරු ඇසුරින් ඒ ඥානය ලද හැකි ය. යම් යම් දේ පිළිබඳ සේ ම පුද්ගලයන් පිළිබඳව ද තීරණ ගැනීමේ දී සිතා බැලිය යුතු ම ය. එවිට නො වැදගත් දෙයට සේ ම නොවැදගතුන්ට ද වැදගත්කම් දෙන්නට තමන් නොනැමෙනු ඇත. මේ කතාව අපට ඒ සඳහා උත්තේජනයක් ලබා දෙයි.

නිගණ්ඨ වූ පමණින් අත්හැරීමේ ගුණය ප්‍රගුණ කරන්නෙකැයි සිතා මුළාවට පත්ව නොහඳුනන මිනිසකුට වැඳුම් පිදුම් කරමින් පෝෂණය කරන්නට තරම් ඒ ගම් වැසියන් අඥාන වූයේ විමර්ශනශීලි නොවූ නිසා ය. හාස්‍ය උපදවන මෙවැනි සිදුවීම් අද ද වේ. එහෙත් ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්නට නොහැකි ය. අත්දැකීම්වලින් පාඩම් උගෙන ජීවිතය ශක්තිමත් කර ගැනීම ය කළ යුතු වන්නේ.

ගුණමකු පිරිස් ද අතීතයේ වූහ. අද ද වෙති. පැහැදුණු සිතින් තමන්ට උපස්ථාන කරන නාගයාට ද්‍රෝහි වන මේ තාපසයා සිය මිතුරාගේ රහස් හෙළි කොට විනාශ කරන්නට සැරසුණේ නාග සංහතියම ය. එහෙත් එහි බරපතළ පාපය ඔහුට නොවැටහිණි.

මිතුරු වෙසින් සිටින මෙවැනි අඥානයන් දුරින් ම දුරුකළ යුතු බවට මේ කතාව ලබා දෙන ඔවදන මිණිමුතුවලටත් සම කළ නොහැකි වටිනාකමක් ලබා දෙයි.

නිකිණි අමාවක

අගෝස්තු 22 සිකුරාදා අ.භා 12.01 අමාවක ලබා 23 සෙනසුරාදා පූ.භා 11.41න් ගෙවේ.
22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]