රන් ගල්ගුහාවේ දිව්‍ය දානය
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අනුරාධපුරය තමයි අතීතයේ අපේ ලංකාවේ පළමු අගනුවර වුණේ. ඒ කාලයේ මිහිඳු මහරහතන්
වහන්සේ වගේම සංඝමිත්තා මහරහත් තෙරණිය රාජරාජ මහාමාත්‍යයන්ට උපදෙස් ලබා දෙමින්
සම්බුද්ධ ශාසනය ලක්දිව පිහිටුවන්න කටයුතු කළා.
ඒ කටයුතුවල ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ හැම තැන ම වෙහෙර විහාර ඉදිවුණා.
භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා පිරිසත් වර්ධනය වුණා. මෙහෙම කාලය ගත වෙනකොට
අනුරාධපුරයෙන් උතුරු දිශාවට ජීවත් වුණු මිනිස්සුත් එකතුවෙලා විහාරයක් ඉදි කළා. මේ
විහාරයට ‘නාගමහාවිහාරය“ කියලා නමකුත් තිබ්බා.
අලුතින් ඉදිවුණු නාගමහා විහාරයට භික්ෂූන් වහන්සේ වැඩම කළා. කලක් යනකොට සාමණේරයන්
වහන්සේ නමක් ද වැඩම කළා. උන්වහන්සේ විහාරයේ සියලු කටයුතු සොයා බලමින් කටයුතු කළා.
වැඩිහිටි භික්ෂූන් විසින් අවවාද හා උපදෙස් දෙන්න පෙරාතුව ම ධර්මයටත්, විනයටත්
ගැලපෙන විදිහට වත්පිළිවෙත් ද කළා, ආචාර සම්පන්න වුණා. සිල්වත් වුණා, ඒ විතරක්
නෙවෙයි ගුණවත්කමිනුත් පොහොසත් වුණා.
කල් යනකොට විහාරවාසී වැඩිහිටි සංඝයා බොහෝම වයසට පත් වුණා. කටයුතු කරන්න එන්න එන්නම
අපහසු වුණා. ඒ නිසා හැම දෙනා වහන්සේ ම කතා වෙලා මේ සාමණේර භික්ෂුවට විහාරයේ සියලු
කටයුතු පැවරුවා. භික්ෂූන් වහන්සේ බොහෝ ප්‍රමාණයක් විහාරයේ වැඩ සිටලා බැහැරට වැඩම
කරලා. තවත් අය අපවත් වෙලා.
හැබැයි උන්වහන්සේට පූජා කළ පූජා භාණ්ඩ විශාල ප්‍රමාණයක් විහාරයේ ඉතිරිවෙලා තිබුණා.
සමහර ඒවා වේයන් කාලා විනාශ වෙලා. තවත් භාණ්ඩ විනාශයට පත්වෙමින් තියෙනවා දැක්කා.
තවත් පූජා භාණ්ඩ දිරාපත් වෙලා. මේ විදිහට ගබඩාවල තියෙන පිරිකර දැකලා ‘මේ හැම දෙයක්ම
මිනිසුන් ශ්‍රද්ධාවෙන් පූජා කරපු දේවල්. ඉතින් ඒ අයට පින් සිද්ධ වෙන්නත්, මේ පූජා
භාණ්ඩවලින් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක මේවාගෙන් කැපසරුප් විදිහට කප්පිය භාණ්ඩ හොයලා
ඒවා වියදම් කරවලා මහාසංඝයාට දන් දෙන්න ඕන‘යි කල්පනා කරලා තීරණයකට ආවා.
ඒ විදිහට ම කටයුතුත් සූදානම් කරන්න පටන් ගත්තා. පළමුවෙන් ම කළේ ‘නාගමහා විහාරය අවට
තියෙන විහාරවලට වැඩම කරලා ඒ විහාරවල වැඩ සිටින සංඝයාට ආරාධනා කරන එක. ඉතින් මේ
සාමණේර භික්ෂුව ඒ විහාරවලට වැඩම කරලා නායක භික්ෂූන් මුණගැහිලා කියනවා
‘ස්වාමීනි අපේ විහාරයේ අහවල් දවස මහා දාන පින්කමක් තියෙනවා. ඒ පින්කම අවසන් වෙන්නේ
අහවල් දවසින්. අපේ පින්කමට නොවරදවා ම වැඩම කරන්න‘යි කියලා ආරාධනා කළා. දවස් ගණනාවක්
තිස්සේ මේ පින්කම සිද්ධ කරන්න දැන් කටයුතු ආරම්භ කළා.
දෙවැනියට කළේ විහාරයට ගිහින් වැඩම කරන භික්ෂූන් වහන්සේට රාත්‍රිය සුව සේ වැඩ ඉන්න
අවශ්‍ය කරන කුටි පහසුකම් සූදානම් කිරීමයි. ඉතින් ආරාධනා කරපු ගානට කුටි සකස් කළා.
තිබුණු කුටි හොඳට පිරිසුදු කරලා සකස් කළා. හැම භික්ෂුවකට ම අවශ්‍ය දැහැටි දඬු සකස්
කළා එහෙමත් නැත්නම් වර්තමානයේ කියන විදිහට දත් බෙහෙත්, දත්බුරුසු, සබන්, තුවා,
සිවුරු-අදන, නානකඩ, නිදාගැනීමට ඇඳන්, කොට්ට මෙට්ට, ඇඳ ඇතිරිලි, හිඳගන්න අවශ්‍ය පුටු
ආදිය සකස් කළා. මේ හැම දෙනා වහන්සේට ම දන් පැන් පූජා කරන්න ශාලාවක් සකස් කළා. ඒ
ශාලාව මල්වලින්, ලතාවලින් වගේ ම විවිධ සැරසිලිවලින් අලංකාර කළා. පාද දෝවනයට ජලයත්
තැබුවා. පැන්පහසු වෙන්න අවශ්‍ය ජල ස්ථානත් හොඳට පිරිසුදු ව සකස් කළා. දානයකට පෙර කළ
යුතු මෙන් ම ආරාධනා කළ භික්ෂුවකට කළ යුතු සියලු කටයුතු සූදානම් කළා. මේ කටයුතු
සියල්ල සූදානම් කරලා අවසන් වෙනකොට අදාළ දිනයත් උදා වුණා. භික්ෂූන් වහන්සේත් තිස්ස
සාමණේරයන්ගේ ආරාධනාව අනුව වැඩම කරලා වැඩ සිටියා. පහුවෙනි දා උදෙන් ම සාමණේරයන්
වහන්සේ අනෙක් අයගේත් උපකාර ඇතිව කැඳ සකස් කරලා පූජා කළා.
දැහැටි දඬු ආදිය පිළිගන්වලා අවශ්‍ය කටයුතු සොයා බැලුවා. උදේ දානවේලාව පැමිණියායින්
පස්සේ වෙලාවට දාන ශාලාව දොර ළඟට ගිහින් හැම භික්ෂුවකගේ ම පාද දෝවනය කරලා ආසන ශාලාවේ
වඩා හිඳුවලා බත් වෑංජන ආදිය පිළිගන්වමින් වළඳවන්නට යෙදුණා. දෙවන දවසත් මෙහෙ ම කළා.
තෙවන දවසත් මෙහෙම කළා.
මේ විදිහට මහත් ශ්‍රද්ධාවෙන් නියම කර ගත් දින ප්‍රමාණය ම දන් දුන්නා. ඉතින් මේ
සාමණේර භික්ෂුව මේ විදිහට මහා විශාල පින්කමක් කර ගත්තා. මෙහෙම කාලය ගත වුණා.
සාමණේර භික්ෂුව අපවත් වෙලා විහාරය ආසන්නයේ විශාල විදිහට අතු විහිදිලා ගියපු මහා නුග
ගහකට අධිපති දේවතාවෙක් වෙලා උපත ලැබුවා. එහෙම වුණත් මේ දේවතාවාට දිව්‍ය ආහාරපාන
පිළිගන්වන්න විතරක් සැතපුම් ගණනාවක් පෙළ ගැහී සිටියා. කතාවේ විදිහට කියනවා නම්
යොදුන් පහක් දුර දිව්‍ය ආහාර තියාගෙන දිව්‍ය පිරිස හැමදා ම සූදානමින් ඉන්න පටන්
ගත්තා. මේ විපාකවලට හේතු විමසන කොට දැක්කා තමන් කරපු දාන පින්කම විපාක දීලා තියෙනවා
කියලා. ඉතින් මනුෂ්‍යයකු වෙලා එවැනි පින්කමක් කරලා මෙතරම් විපාකයක් විඳිනවා නම් මේ
දිව්‍ය ආහාර පානත් දන් දෙන්න ඕන‘යි කියලා තීරණය කළා. ඒ වගේම කල්පනා කළා
මෙච්චර විපාක දෙන්න තරම් ඒ දානය බලවත් වුණේ කොහොමද? කියලා. එතකොට දැන ගත්තා
භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා බව, ඒ වගේම උන්වහන්සේ සීලයෙන්
හා ගුණයෙන් වගේම රාග-ද්වේෂ-මෝහයෙන් තොරව කටයුතු කරන අය කියලා. ඒ විතරක් නෙවෙයි
උන්වහන්සේ කෙලෙස් තවන පිරිසක් බවත් දැකලා පැහැදීමට පත් වුණා. මෙහෙම දිව්‍ය ඥානයෙන්
බලනකොට දැක්කා භික්ෂූන් වහන්සේ හැට නමක් පිණ්ඩපාතයේ වැඩම කරලා සේදූ පාත්‍රයෙන් ම
ආයෙත් විහාරයට වැඩම කරනවා. දිව්‍ය පුත්‍රයා තමන්ගේ දෙවඟනත් සමග එක්තරා වේශයකින්
තෙරුන් වහන්සේ ඉදිරියට ගිහින් ‘ස්වාමීනි, අපගේ ගෙදර දානයට වැඩම කරන්න“යි ආරාධනා
කරලා තමන් සමඟ වැඩම කරන්නට ආරාධනා කළා. නුග ගහ පහු කරලා කන්ද පැත්තට තව තවත් යන කොට
භික්ෂූන් වහන්සේ ඔහු අමතලා
‘උපාසකය, ඔය දිශාවේ අපි වැඩම කරලා තියෙනවා මෙතෙක් කලක් නම් අපට ගෙවල් හමුවෙලා නෑ.
මහ ගණ කැලෑවක් තියෙන්නේ. ඔබට වැරදීමක් වෙලා ඇති‘ කිව්වා. එතකොට දිව්‍ය පුත්‍රයා
කියනවා ‘නෑ ස්වාමිනි, අපගේ වාසස්ථානය එතැන තියෙන්නේ. වැඩම කරන්න‘යි නැවතත් වැඩමවා
ගෙන ගියා. ගල් ගුහාව තනි රනින් බබළන විමානයක් බවට පත් වෙලා. දහස් ගණන්
දිව්‍යාංගනාවන් දිව්‍ය ආහාරපාන සූදානම් කරගෙන බලා ඉන්නවා. භික්ෂූන් වහන්සේ හැටනම ම
පුදුමයෙන් පුදුමයට පත් වෙලා දිව්‍ය ආහාරපාන වැළඳලා අවසානයේ දී අනුමෙවැනි බණ දේශනා
කරන්න පටන් ගත්තා.
එතැනදි භික්ෂූන් වහන්සේ විමසනවා
‘දිව්‍ය පුත්‍රය මෙවැනි සැප ලබන්න ඔබ කළ කුසලය මොකක්ද? කියලා.
මේ තිස්ස දිව්‍ය පුත්‍රයා තමන් නාගමහාවිහාරයේ වැඩවාසය කළ තිස්ස සාමණේරයන් බවත්,
තමන් කළ පින්කමේ විපාක මේ විදිහට විඳින බවත්, එහි නිමක් නැති බවත්, දන්දීමේ විපාක
තමන් අනුභව කරන බව භික්ෂූන් වහන්සේට දැන් වූ බවත්, භික්ෂූන් වහන්සේ මේ අපූරු
අත්දැකීම එතැනින් නැවතත් මනුෂ්‍ය ලෝකයට වැඩම කරලා ගම් නියම්ගම්වල සැරිසරමින්
මනුෂ්‍යයන්ට ඒ කථාව කියා දෙමින් දන් පැන් දීමට යොමු කළ බවත් සඳහන් වන රසවත් කථා
පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.
පින්වත්නි, දිව්‍ය සැප සම්පත්වලින් ඌන දෙවියන්ට වඩා හැම සැප සම්පතකින් ම පිරිපුන්
දෙවියකු වී ඒ දිව්‍ය සැප සම්පත් අනුභව කරන්න නම් සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ
කෙනකුට දන් දීමට ලැබෙන අවස්ථාව මඟහරවා ගන්න එපා. සසර සා-පිපාසාවලින් අත මිදී සැප
ලබන්න නම් පුළුවන් හැම අවස්ථාවක ම සිල්වත් ගුණවත් අයට දන් දෙන්න. එහි විපාක කියා
අවසන් කළ හැක්කේ බුදුවරයකුට ම පමණක් මිස ලොව අන් කිසිවකුටත් එහි විපාක කියා නිම
වන්නට හැකියාවක් නෑ‘යි තවදුරටත් කථා පුවත අපට කියා දෙනවා. |