සුවහස් බොදු දන සැදැහෙන් පුදදෙන ශ්‍රී සම්බුද්ධ ධාතුන් වහන්සේ
බෞද්ධ දර්ශනයේ දී ත්‍රිවිධ චේතියෝ ලෙස ශාරීරික චේතිය, පාරිභෝගික චේතිය හා උද්දේශික
චේතිය හඳුනා ගන්නා අතර, එහිදී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී
ශරීරයෙන් ශේෂ වී ඇති ධාතු සමූහය ශාරීරික චේතිය නම් වේ.

ද්‍රෝණයක් ධාතූන් වහන්සේ වැඩ සිටින රුවන්වැලි මහා සෑරදුන්
වහන්සේ |
උන්වහන්සේ පරිභෝග කළ පා, සිවුරු ආදී වස්තු ද, ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා ඒ බෝධීන්
වහන්සේගෙන් පැවත එන බෝධීන් වහන්සේ ද, පාරිභෝගික චේතියෝ ලෙස හඳුනා ගැනෙති.
උන්වහන්සේ නිරූපණය කරමින් නිර්මාණය කර ඇති ප්‍රතිමා රූපයන් උද්දේශික චේති ගනයට
වැටේ. මෙම ත්‍රිවිධ චෛත්‍යයෝ අතරින් ශාරීරික චේතියට බෞද්ධයන් තුළ ඉමහත් ගෞරවයක්
හිමි ව ඇත්තේ ජීවමාන බුදුරදුන්ට සමාන තත්ත්වයක් එම ධාතූන් වහන්සේට හිමි ව ඇති
නිසාවෙනි. එම නිසා සර්වඥ ධාතූන් වහන්සේ දැක බලා - වැඳ පුදා ගැනීම ජීවමාන බුදුරදුන්
දැකීමක් ලෙස බෞද්ධයෝ විශ්වාස කරති.
මෙරට වැඩ සිටින ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ පිළිබඳ විමසා බැලීම මෙම
ලිපියේ අරමුණ වේ.
ධාතු සංකල්පයේ උප්පත්තිය විමසා බැලීමේ දී එය ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිදු වූ
සම්බුද්ධ පරිනිර්වාණ සමය දක්වා දිවෙන බව පෙනේ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පසු
සම්බුද්ධ ධාතූන් වහන්සේගේ (සරීරානං භාගං) අයිතිය ඉල්ලා අරගලයක් ඇති විය. ධාතු
කෝලාහලය ලෙස බෞද්ධ සාහිත්‍යයේ හැඳින්වෙන මෙම අරගලයට පුද්ගල කණ්ඩායම් අටක් සම්බන්ධ
වූ, අතර, ඔවුන් වන්නේ මගධයෙහි අජාසත් රජු, විසාලාවෙහි ලිච්ඡවීන්, කපිලවත්ථුවෙහි
ශාක්‍යයන්, අල්ලකප්පයෙහි බූලයන්, රාම ගාමයෙහි කෝලියන්, වෙඨදීපක බමුණා. පාවාහි
මල්ලයන් හා කුසිනාරාවෙහි මල්ලයෝ ය. දීඝ නිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වන
පරිදි මෙම ධාතු කෝලාහලය සන්සිඳුවීම සඳහා මැදිහත් වී ඇත්තේ ද්‍රෝණ නම් බමුණා ය.
බුද්ධ දේහය ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතූන් වහන්සේ පිළිබඳ ව ධර්ම ග්‍රන්ථ හා ඉතිහාස
ග්‍රන්ථ දක්වන්නේ එකිනෙකට වෙනස් වූ කරුණු සමූහයකි.
දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය - ආදාහනයෙන් පසු බුදුරජාණන් වහන්සේගේ සම්බුදු
සිරුර අවශේෂ වූ බව දැක්වුව ද අවශේෂ වූ කොටස් පිළිබඳව සඳහන් කර නොමැත.
සුමංගවිලාසිනිය - ආදාහනයෙන් පසු සතර දළදාවන්, අකු දළදා ද්විත්වය හා ලලාට ධාතුව
(උණ්හීසය) යන ධාතු නොවිසුරුණු අතර අනෙක් ධාතූන් විසිරුණු බවත්, එහිදී විසිරුණු කුඩා
ධාතු අබ ඇට පමණ ද, මහා ධාතු බිඳීගිය සහල් ඇට පමණ ද හා අතිමහත් ධාතු මැදින් බිඳීගිය
මුං ඇට පමණ ද වූ බව.
සුත්තනිපාත අටුවාව - ආදාහනයෙන් පසු සියලු ධාතු රන්සුණු මෙන් විසිරී ගිය බව
එසේ වුව ද බෞද්ධ ජන සමාජයෙහි සඳහන් ව ඇත්තේ ධාතු බෙදා ගැනීම සඳහා පැමිණි පුද්ගල
කණ්ඩායම් අටට ද්‍රෝණ බමුණා විසින් සම්බුද්ධ ධාතුන් වහන්සේ සම සම ව මැන බෙදා දුන්
බවත්, එම මැනීමට භාවිත කළ බඳුන ද්‍රෝණ බමුණා ගත් බවත්, පිප්ඵලී වනයේ මෞර්යයෝ පමා වී
පැමිණි හෙයින් බුද්ධ චිතකයෙහි අඟුරු රැගෙන ගොස් ස්වකීය රාජ්‍යයන් තුළ ස්තූප කළ
බවයි.

ලලාට ධාතූන් වහන්සේ හා කේශ ධාතූන් වහන්සේ වැඩ සිටින
සේරුවාවිල මංගල මහා චේතිය |
ඒ අනුව සම්බුද්ධ ආදාහනයෙන් ශේෂ වූ ධාතූන් වඩා හිඳුවා ස්තූප දහයක් කර වූ බව පෙනේ.
ධාතු බෙදාහැරීම පිළිබඳ මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි එන සාරය ගෙන එය තවදුරටත් වර්ධනය
කරන බුද්ධ වංශයේ දී බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ පාත්‍රය, සැරයටිය, පොරෝනා සිවුර,
අඳනා සිවුර, ඇතිරිල්ල, ධර්මකරය, කහබාන, නානකඩ, ඌර්ණරෝම ධාතුව, කසාවත, හිස් වෙළුම,
පා සටහන්, ආස්තරණය, ගිනිගානදණ්ඩ, දිය පෙරහන, කරගල, හිඳිකටුව ද විවිධ ප්‍රදේශයන් වෙත
බෙදාහරින ලද බවයි. නමුත් ජන සමාජගත අදහස වන්නේ මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි එන ධාතු
බෙදාහැරීම හා එම ධාතූන් නිදන් කර තැනවූ ස්තූප දහය පිළිබඳව ය.
මෙසේ ධාතු නිදන් කර තැනවූ ස්තූප පිළිබඳ ව සැක පහළ කළ මහා කාශ්‍යප හිමියන්ගේ
උපදෙස්වලට අනුව යමින් අජාසත් රජු නොබෝ දිනකින් ම ඒ ඒ රජවරුන්ට වැඳීමට ධාතූන් වහන්සේ
කිහිපනමක් තබා අනෙක් සියල්ල ගෙනැවිත් (රාම ග්‍රාමයට ගෙනගිය ධාතූන් වහන්සේ නාගයන්
විසින් ආරක්ෂා කළ හෙයින් එම කොටස ලබා නොගන්නා ලදී.) එක් ස්ථානයක රහසිගත ව නිදන් කළ
බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මෙසේ ධාතූන් වහන්සේ එම ස්ථානයෙන් ද පිටතට ගෙන දඹදිව
පුරා පතුරුවා හරින ලද්දේ අශෝක රජු විසිනි.
දළදා වහන්සේ දෙනමක් මෙරට වැඩම කර සිටිති. ඉන් එක් දළදාවක් සෝම නුවර සෝමාවතී දාගැබේ
වඩා හිඳුවා ඇති අතර, අනෙක් දළදාව මහනුවර දළදා මැඳුරෙහි වැඩසිටින ශ්‍රී දන්ත ධාතූන්
වහන්සේයි.
දාඨාවංශයට අනුව එම දළදා වහන්සේ අයත්ව තිබුණේ කාලිංග දේශයේ ගුහසීව නම් රජුට ය. එම
රජුට විරුද්ධ ව පාඨලීපුත්‍රයන් කුමන්ත්‍රණයක නිරත වූ අතර එහිදී තමා යුද්ධයෙන් පරාජය
වුවහොත් දළදා වහන්සේට අනතුරක් වේ යැයි බියෙන් එහි ආරක්ෂාව පතා ලංකාවට වැඩම කරවන ලෙස
තම දියණිය වූ හේමමාලා කුමරියටත්, තම බෑණා වූ දන්ත කුමරුන්ටත් පවරා ඇත. එකල මෙරට රජ
කළ මහසෙන් රජු ගුහසීව රජුගේ සමීපතමයකු වූ අතර එම නිසා දළදා වහන්සේ මෙරටට වැඩ කරවන
ලදී. එහෙත් දළදා වහන්සේ මෙරටට වැඩම කරවන අවස්ථාව වනවිට මහසෙන් රජු මියගොස් ඔහුගේ
පුත් කිත්සිරිමෙවන් රාජප්‍රාප්ත වී සිටි අතර, ඔහුගේ පාලනයට ද වර්ෂ නවයක් ගතවී
තිබිණි. බමුණු වෙසින් හැඩගැන්වුණු දන්ත කුමරු හා හේමමාලා කුමරිය දඹදිව තාම්‍රලිප්ත
වරායෙන් නැව් නැඟ මෙරට නැඟෙනහිර වෙරළේ ලංකාපට්ඨනයෙන් ගොඩබසින ලදී. (වර්තමානයේ මෙම
ස්ථානය ත්‍රිකුණාමලයට දකුණින් පිහිටි කොට්ටියාර් පත්තුවට අයත් ඉලංකෙයිතුරේ නම් වේ.)
ලක්දිව වැඩසිටින ගෞතම බුදුරදුන්ගේ ධාතූන් වහන්සේ පිළිබඳ ව සොයා යෑමේ දී වර්තමානයේ
මහනුවර දළදා මාළිගාවෙහි වැඩ හිඳින වාම ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවන ලද
ක්‍රි.ව.4වැනි සියවසටත් පෙර සිටම මෙරට ජනයා ධාතු වන්දනයට යොමුව තිබූ බවට වංශකතා
සාධක ලැබේ.

බුදුරජාණන් වහන්සේගේ දකුණූු අකුධාතූන් වහන්සේ වැඩ
සිටින ථූපාරාම සෑරදුන් වහන්සේ |

බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුන් වහන්සේගෙන් කොටසක් වැඩ
සිටින අනුරපුර ජේතවන දාගැබ |
වංශකතා සාධක අනුව බුද්ධත්වයෙන් නොබෝ දිනකින් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට තමන්ට
ලැබුණු කේශ ධාතු මෙරටට වැඩමවා ගිරිහඬු සෑය කර ඇත. පසුව ප්‍රථම වරට මෙලක්දිවට වැඩම
කළ බුදු රදුන් මහා සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි හිස පිරිමැද කේශ ධාතු මිටක්
දීමෙන් අනතුරුව එම ධාතුන් වහන්සේ වඩා හිඳුවා මහියංගණ සෑය ඉදිකර ඇත. මෙරට ධාතු
වන්දනයේ මුල් යුගය පිළිබඳ ව තවදුරටත් සොයා බලන විට අනුරාධපුර ථූපාරාමයේ බුදුරදුන්ගේ
දකුණු අකු ධාතූන් වහන්සේ ද, ඌර්ණ රෝම ධාතූන් වහන්සේ මිහින්තලේ මහා චේතියේ ද, ලලාට
ධාතූන් වහන්සේ හා කේශ ධාතූන් වහන්සේ සේරුවිල මංගල චේතියේ ද, රුවන්වැලි මහා සෑයේ
ද්‍රෝණයක් ධාතූන් වහන්සේ ද, සුමන සාමණේරයන් වැඩම කරවන ලද බුදුරදුන් පාරිභෝග කළ
පාත්‍රය හා එය පිරවූ ධාතූන් වහන්සේ් මෙරට නොයෙක් දිශාවල ස්තූපයන්ගේ ද, බුදු රදුන්ගේ
පටී ධාතුවෙන් කොටසක් අනුරපුර ජේතවන දාගැබේ ද, බුද්ධ පරිභෝග මාණික්‍ය ආසනයක් නාගදීප
ස්තූපයේ ද, බුද්ධ පරිභෝග මිණි පළඟක් හා බුද්ධ පරිභෝග ජල ඝාටිකාවක් කැලණි ස්තූපයේ ද
වැඩ සිටින බව මෙරට බෞද්ධ සාහිත්‍යයෙන් මෙන්ම වංශකතා කරුණු ඇසුරින් ගෙනහැර දැක්විය
හැකි ය.

බුදු රදුන් පරිභෝග කළ මිණි පළඟක් හා ජල ඝටීකාව තැන්පත්
කර ඇති
කැලණි ස්තූපය |

බුදුරදුන් පරිභෝග කළ මාණික්‍ය ආසනය තැන්පත් කර ඇති
නාගදීප ස්තූපය |
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
කේ. උදේනි අරුණසිරි |