|
ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:
ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්
04 කොටස
යටදොළවත්තේ ජිනසිරි හිමි
බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය
(2018 - 2019)
i කොටස
01.
1. බුදු දහමේ සඳහන් ‘බ්‍රහ්මචර්යාව‘
යන්නෙහි අදහස ලියන්න.
2. සැදැහැති කුල පුත්‍රයකු උදෙසා මහණ
බමුණන් විසින් කළ යුතු යුතුකම්
සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වේ. එම
යුතුකම් අතුරින් දෙකක් ලියන්න.
3. ගිහි පැවිදි සම්බන්ධතාව නිසා ශාසනික
දියුණුවට ලැබෙන ප්‍රතිලාභ දෙකක්
දක්වන්න.
4. සැබෑ භික්ෂු ජීවිතයක කැපී පෙනෙන
ගුණාංග අතුරින් දෙකක් සඳහන් කරන්න.
5. සාලිකේදාර ජාතකයේ දැක්වෙන
හොටෙන් හැල් වී ගෙන යන ගිරා රජු
‘ණයෙන් මිදෙමි, ණය දෙමි’ යනුවෙන්
කරන ප්‍රකාශයේ අදහස ලියන්න.
6. සාමාන්‍ය පුද්ගලයා ගිනි එකොළසකින්
දැවෙන බව ධම්මපද නිදාන කතාවක
සඳහන් වේ. එසේ දැවෙන ගිනි අතුරින්
දෙකක් ලියා දක්වන්න.
7. බුද්ධ කාලයේ විසූ අසංවර භික්ෂූන්ගේ
අගෝචර ක්‍රියාවන්ගෙන් දෙකක් ලියන්න.
සිංහලට නඟන්න.
අ) යෙ තං න උපනය්හන්ති -
වෙරං තෙසූපසම්මති
ආ) අභිත්ථරෙථ කල්‍යාණෙ -
පාපා චිත්තං නිවාරයෙ
8. පහත සඳහන් අදහස් ඇති ධම්මපද
ගාථා නිවැරැදිව ලියන්න.
අ) “යම් සේ බඹරා මලත්, එහි පැහැය හා
සුවඳත් නො නසා රොන් ගෙන යන්නේ
ද, මුනිවරයා එලෙස ගමේ හැසිරෙයි.
ආ) “පෘථග්ජන පුද්ගලයා යම් තැනක නො
ඇලේ ද ඒ වන පෙදෙස සිත්කලු ය.
රාගය නැසූ රහතන් වහන්සේ එහි
ඇලෙන්නාහ. උන්වහන්සේ කම් සැප
නො සොයන බැවිනි.
9. ’අ’ කොටසේ යෙදුමට ගැළපෙන යෙදුම ‘ආ’ කොටසෙන් තෝරා හිස්තැන් තුළ ලියන්න.
‘අ’ ‘ආ’
1. ථුල්ලතිස්ස තෙර .......... වනයෙහි
මංමුළා විය.
2. කෝසිය සිටුතුමා .......... සොරුන්ට බත්
පිසියි.
3. බරණැස වැද්දා .......... නෑයන්ට
උපකාර කිරීම.
4. මහාකපි ජාතකය.......... වෘද්ධයෙකි.
5. වටුවා .......... මසුරෙකි.
6. පතිකෝලම්භ.......... මුරණ්ඩුය. දානපතියෙකි.
ii කොටස
02.
1. බ්‍රාහ්මණ සමාජයේ පැවති ‘ආශ්‍රව ධර්ම’
නම් කරන්න.
2. ශ්‍රමණ සම්ප්‍රදාය තුළ පැවති පොදු
ලක්ෂණ දෙකක් අගය කරන්න.
3. බුදු දහම දඹදිව ශීඝ්‍රයෙන් පැතිර යාමට
හේතු වූ කරුණු දෙකක් විස්තර කරන්න.
03.
1. භික්ෂු සමාජයේ කෙලෙසීමට හේතුවන
ආසවට්ඨානීය ධර්ම පහළ විය හැකි
හේතු හතරක් නම් කරන්න.
2. මංගල සූත්‍රයේ ඇතුළත් මංගල කාරණා
කීයද?
3. විනය නීති පැනවීමේ අරමුණු අතුරින්
හතරක් ලියා, ඒවා පහදා දෙන්න.
04.
1. එකල දඹදිව වැසි මිනිසුන් අතර ‘මංගල’
යන්න පිළිබඳ පැවති මත දෙකක්
මංගල සූත්‍රයෙහි නිදාන කථාව ඇසුරෙන්
ලියන්න.
2. ‘ඉවසීම’ මංගල කරුණක් වන්නේ
කෙසේ දැයි කෙටියෙන් විස්තර කරන්න.
3. “මංගල කරුණු පිළිපදින තැනැත්තා
ලෞකික දියුණුව පමණක් නොව
ලෝකෝත්තර දියුණුව ද ලබා අපරාජිතව
සුව සේ හැසිරෙයි.” මේ අදහස පහදා
දෙන්න.
මංගල සූත්‍රයෙහි මංගල කරුණු 38ක්
දැක්වේ. ඉන් 32ක් ලෞකික දියුණුවට ද
6ක් ලෝකෝත්තර දියුණුව සඳහා වන
මංගල කරුණු පහතින් දැක්වේ.
05.
1. සිගාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන සදිසා
අතුරින් දිසා හතරක් ලියා ඒ හා සම්බන්ධ
පුද්ගලයන් සඳහන් කරන්න.
2. යහපත් දූ දරුවන් විසින් දයාබර
මවුපියන්ට උපස්ථාන කළ යුතු කරුණු
සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් වේ. ඒවා
අතුරින් කරුණු තුනක් ලියා ඒවායෙහි
අගය පහදා දෙන්න.
3. මවුපියන්ගේ හා දූ දරුවන්ගේ යුතුකම්
සහ වගකීම් ඉටු නොවන විට සමාජය
තුළ පැන නැඟිය හැකි ගැටලු පැහැදිලි
කරන්න.
06.
1. සත්තිකුම්භ ජාතකයෙහි සඳහන් ගිරා
පැටවුන් දෙදෙනාට සත්තිකුම්භ හා
පුෂ්පක යන නම් තැබීමට හේතුව
ලියන්න.
2. ආරයට වඩා පරිසරය සහ සසර පුරුද්ද
පුද්ගල චරියාවන් කෙරෙහි බලපාන අයුරු
සත්තිකුම්භ ජාතකය ඇසුරින් ප්‍රකට
කරන්න.
3. සිංහලට නඟන්න.
අතීතෙ උත්තර පඤ්චාල නගරෙ පඤ්චාලො නාම රාජා රජ්ජං කාරෙසි. මහාසත්තො අරඤ්ඤායතනෙ
එකස්මිං සානුපබ්බතෙ සිම්බලී වනෙ ඵකස්ස සුවරඤ්ඤො පුත්තෝ හුත්වා නිබ්බන්ති. ද්වෙ
හාතරෙ අහෙසුං. තස්ස පන පබ්බතස්ස උපරි වාතෙ චොරගාමකො අහොසි, පඤ්චන්නං චොරසතානං
නිවාසො, අධො වාතෙ අස්සමො, පඤ්චන්තං ඉසි සතානං නිවාසො.
07.
1. මණිකණ්ඨ ජාතකය දේශනා කිරීමට හේතු
වූ සිද්ධිය (වර්තමාන කතාව) කුමක්ද?
2. “යමෙකුට පි‍්‍රය වූ දෙයක් ඉල්ලන
තැනැත්තා අපි‍්‍රය අයෙකු බවට පත්වේ.”
මේ අදහස මණිකණ්ඨ ජාතකය ඇසුරෙන්
සනාථ කරන්න.
3. සිංහලට නඟන්න
තෙ උහො’පි හාතරො වයප්පත්තා මාතාපිතුන්නං කාලකිරියාය සංවිග්ගහදයා ඉසිපබ්බජ්ජං
පබ්බජිත්වා ගංගා තීරෙ පණ්ණසාලං මාපෙත්වා වසිංසු, තෙසු ජෙට්ඨස්ස උද්ධගංගාය පණ්ණසාලා
අහොසි, කණිට්ඨස්ස අධොගංගාය, අථෙකදිවසං මණිකණ්ඨො නාම නාගරාජා භවනා නික්ඛමිත්වා
ගංගාතීරෙ මාණවක වෙසෙන විචරන්තො කණිට්ඨස්ස අස්සමං ගන්ත්වා එකමන්තං නිසීදි.
08.
1. මෙම වාක්‍ය සිංහලට නගන්න.
අ) එකං සමයං භගවා සාවත්ථියං විහරති
ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
ආ) සබ්බත්ථ පූජිතො හොති -
යො මිත්තානං න දූහති.
ඉ) කාකවණ්ණතිස්ස මහාරාජා රොහණෙ රජ්ජං කාරෙන්තො මහාගාමෙ පටිවසති.
ඊ) නත්ථි මෙ සරණං අඤ්ඤං -
බුද්ධො මෙ සරණං වරං
2. මෙම වාක්‍ය පාළියට නගන්න.
අ) මම බුදුන් දහම් සඟුන් සරණ යමි.
ආ) මව පුතා සමඟ විහාරයට ගොස් දන්
දුන්නා ය.
ඉ) ළමයා උදෑසන ම දහම් පාසලට යන්නේ ය.
ඊ) සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා.
උ) සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙති.
****
පිළිතුරු
i කොටස
01.
1. කාම සේවනයෙන් තොර වූ වාසය
බ්‍රහ්මචර්යාවයි.
ගිහි ගෙයින් වෙන්වීම, පැවිදි ජීවිතයක් ගත කිරීම.
2. පව්කම්වලින් වළක්වති.
සුචරිතෙහි යොදවති.
යහපත් සිතින් අනුකම්පා කරති.
නො ඇසූ ධර්මය අස්වති.
ඇසූ ධර්මය පිරිසුදු කරති.
දෙව් ලොවට මඟ කියා දෙති.
3. ශාසනික ආරක්ෂාව ඇතිවීම.
සිව්පසය ලැබීමෙන් භික්ෂූන් වහන්සේගේ සුඛ විහරණය ඇතිවීම.
වෙහෙර විහාරස්ථානවල දියුණුව ඇතිවීම.
ධර්මයේ ව්‍යාප්තිය ඇතිවීම.
ගිහියන්ට ධර්මානුකූලව ජීවත් වීමට හැකිවීම.
4. සුපටිපන්න ආදී ගුණ. ඉවසීම.
ලද දෙයින් සතුටුවීම
ආදර්ශවත් බව.
සත්‍ය කතා කිරීම.
කරුණා මෛත්‍රීය
5. ණය දීම -
කුඩා ගිරා පැටවුන් පෝෂණය කිරීම.
ණයෙන් මිදීම -
මවුපිය දෙපළ පෝෂණය කිරීම.
6. රාග දෝස සෝක මෝහ පරිදේව
ව්‍යාධි දුක්ඛ ජරා දෝමනස්ස මරණ උපායාස
7. ජබ්බග්ගිය භික්ෂූන් සතළොස්වග භික්ෂූන්ට
පහර දීම.
එම භික්ෂූන් බිය ගැන්වීම.
ථුල්ලතිස්ස තෙරුන් බුද්ධ අවවාද
නොපිළිගැනීම.
දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේට ගලක් පෙරළීම.
ජබ්බග්ගිය භික්ෂූන් වැඩිහිටි භික්ෂූන්ට ගරු නොකිරීම.
අ) යමෙක් නැවත නැවත වෛර නොබඳිත් ද ඔහුගේ එම වෛරය සංසිඳේ.
ආ) කුසලයෙහි යුහුසුලුවිය යුතු ය. සිත පවින් වැළකිය යුතු ය.
8.
අ) යථාපි භමරො පුප්ඵං -
වණ්ණගන්ධං අහෙඨයං
පලෙති රසමාදාය - එවං ගාමෙ මුනි චරේ
ආ) කුසලයෙහි යුහුසුලුවිය යුතු ය. සිත පවින් වැළකිය යුතු ය.
රමණීයානි අරඤ්ඤානි -
යත්ථ නං රමතී ජනෝ
වීතරාගා රමෙස්සන්ති -
න තෙ කාමගවෙසිනෝ
9. ථුල්ලතිස්ස තෙර - මුරණ්ඩුය
කෝසිය සිටුතුමා - මසුරෙකි
බරණැස වැද්දා - වනයෙහි මං මුළා විය
මහාකපි ජාතකය - නෑයන්ට උපකාර කිරීම
වටුවා - වෘද්ධයෙකි
පතිකෝලම්භ - සොරුන්ට බත් පිසයි
iiකොටස
02.
1. බ්‍රහ්මචාරි ගෘහස්ථ
වානප්‍රස්ථ සන්‍යාසි
2. තාපස චර්යා හෙවත් ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි ඇල්මක් දැක්වීම.
අනගාරික ජීවන මාර්ගයට නැඹුරු වීම.
යාග විධි ප්‍රතික්ෂේප කිරීම.
3. ධර්ම දූත පිරිසේ විශේෂ සුදුසුකම් හා හැකියාවන්.
ධර්මයෙහි පවත්නා විශිෂ්ටත්වය
ගිහි දායක පිරිසේ අනුග්‍රහය
බුද්ධ කාලයේ පැවති සමාජ තත්ත්වය.
බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ගුණ
03.
1. සංඝයා සංඛ්‍යා වශයෙන් විශාලත්වයට පත්වීම. (මහත්තතා)
සිව්පසය විශාල වශයෙන් ලැබීම. (ලාභග්ගතා)
සංඝයා පිළිබඳ මහත් කීර්තියක් පැතිරයාම. (යසග්ගතා)
බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව. (බහුස්සුතතා)
පැවිදිව කලක් ගත වීම නිසා වැඩිහිටියකු වශයෙන් ලබන දැනීම. (රත්තඤ්ඤුතා)
2. 38කි.
3. භික්ෂු සමාජයේ පැවැත්මට හානි වන කරුණු නිවාරණය කිරීම.
සංඝයාගේ යහපත.
සංඝයාගේ සුව පහසුව.
දුශ්ශීල අලජ්ජි පුද්ගලයන්ට නිග්‍රහ කිරීම.
සීලය පි‍්‍රය කරන භික්ෂූන්ගේ පහසු විහරණය.
මේ ජීවිතයේ දී ලැබෙන දුක් කරදර වළක්වා ගැනීම.
පරලොව දී ළඟා විය හැකි දුක් විපාක නැති කිරීම.
නො පැහැදුණුවන්ගේ ප්‍රසාදය වැඩිවීම.
පැහැදුණුවන්ගේ ප්‍රසාදය වැඩිවීම.
සද්ධර්මයේ චිර පැවැත්ම
විනය ශික්ෂණය සඳහා රුකුලක් වීම.
04.
1. දිට්ඨ මංගලික -
ඇසට පෙනෙන දෙය මංගල වේ.
සුත මංගලික -
කනට ඇසෙන දෙය මංගල වේ.
මුත මංගලික -
නාසයට දැනෙන සුවඳ, දිවට දැනෙන රසය, සිරුරට දැනෙන ස්පර්ශය මංගල වේ.
2. ගෘහ ජීවිතයේ දී මෙන් ම සමාජ ජීවිතයේ දී ඉවසීම දියුණු කර ගත් තැනැත්තා බොහෝ
ප්‍රතිඵල ලබයි. යම් අරමුණක් වෙත ළඟා වීමට ද ඉවසීම අවශ්‍ය වේ. ආධ්‍යාත්මික ජීවිතයේ ද
ඉවසීම ප්‍රගුණ කළ යුතුව ඇත.
3. මංගල සූත්‍රයෙහි මංගල කරුණු 38ක් දැක්වේ. ඉන් 32ක් ලෞකික දියුණුවට ද 6ක්
ලෝකෝත්තර දියුණුව සඳහා වන මංගල කරුණු පහතින් දැක්වේ.
චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම.
නිර්වාණය සාක්ෂාත් කිරීම.
අටලෝ දහමෙහි කම්පා නොවීම.
ශෝක රහිත බව.
කෙලෙස් රහිත බව.
සිත කෙලෙසුන්ගෙන් නිදහස් වීම.
05.
1. නැඟෙනහිර දිසාව - මවුපිය
දකුණු දිසාව - ආචාර්යවරු
බස්නාහිර දිසාව - අඹුදරුවෝ
උතුරු දිසාව - මිත්‍රයෝ
යට දිසාව - දැසි දස් කම්කරුවෝ
උඩ දිසාව - මහණ බමුණෝ
2. මවුපියන් පෝෂණය කිරීම.
මවුපියන්ගේ කටයුතු කිරීම.
කුල පරම්පරාව රැකීම.
මවුපියන් සතු වස්තුව ආරක්ෂා කිරීම.
මියගිය මවුපියන්ට පින් දීම.
3. දරුවන් විසින් මවුපියන්ට කළයුතු උපස්ථාන
1. මවුපියන් පෝෂණය කිරීම.
2. මවුපියන්ගේ කටයුතු කිරීම.
3. කුල පරම්පරාව රැකීම.
4. මවුපියන් සතු වස්තුව ආරක්ෂා කිරීම.
5. මියගිය දෙමවුපියන්ට පින් පෙත් දීම.
දෙමවුපියන් විසින් දරුවන්ට අනුකම්පා කළ යුතු කරුණු
1. පවින් වළක්වයි.
2. යහපතෙහි යොදවයි.
3. ශිල්ප ශාස්ත්‍ර උගන්වයි.
4. සුදුසු භාර්යාවක ආවාහ කරදෙයි.
5. සුදුසු කල්හි දායාද පවරා දෙයි.
06.
1. සුළි සුළඟට ගසාගෙන ගිය එක් ගිරා පැටවකු සොර ගමෙහි සොරුන්ගේ ආයුධ අතරට වැටුණු
නිසා ඔහුට සත්තිගුම්බ යන නම තබන ලදි.
2. සත්තිකුම්භ හා පුෂ්පක යන ගිරවුන් දෙදෙනා එක මවකගේ පැටවු ය. එහෙත් සොරුන් අතර
වැඩුණු සත්තිකුම්භ සොරුන්ගේ ගතිගුණ අනුව හැඩගැසුණු අතර සසර ද ඔහු පව්කම් කළ පාපීන්
පිරිවරා සිටි අයෙකු බැවින් සසර පුරුද්ද අනුව ද ක්‍රියා කළේ ය.
පුෂ්පක ගිරවා තවුසන් අතර වැඩුණු බැවින් තවුසන්ගේ ගතිගුණ පිහිටියේ ය. එමෙන්ම එම
ගිරවා බෝසතුන් බැවින් සසර යහපත් ක්‍රියා පුහුණු කළ අයෙකි.
3. පෙර උත්තර පඤ්චාල නුවර පඤ්චාල නම් රජෙක් රාජ්‍යය කරවීය. මහසත් තෙමේ මහ වනයෙහි
එක් කඳුරැලියක ඉඹුල් වනයෙහි ගිරා රජෙකුට පුත්ව උපන්නේ ය. සොයුරෝ දෙදෙනෙක් වූහ. එම
කන්දෙහි උඩු සුළඟ දිශාවට සොර ගමක් විය. සොරුන් පන්සියක ගෙවල් විය. යටි සුළඟ දිසාවට
තවුසන් පන්සියයක් වසන අසපුවකි.
07.
1. අලව් නුවර වැසි භික්ෂූහු ඉල්වාගත් භාණ්ඩවලින් කුටි සාදති. නිතර අත් වැඩට
මිනිසුන් ඉල්ලති. මේ ඉල්ලීම නිසා භික්ෂූන් දුටු විට මිනිස්සු පලා යති. දිනක්
මහාකාශප මහරහතන් වහන්සේ අලව් නුවර පිඬු සිඟා වඩින විට මිනිස්සු පෙර සේ ක්‍රියා කළහ.
ඊට හේතුව දැනගත් උන්වහන්සේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළහ. භික්ෂූන් කැඳවූ
බුදුරජාණන් වහන්සේ මෙසේ ඉල්ලීමට මිනිසුන් අකැමැති බවත් සත් රුවනෙන් පිරි නා විමනෙහි
නාගයන් පවා නිතර ඉල්ලීමට අකැමැති බවත් දේශනා කොට මේ ජාතකය වදාළ සේක.
2. මණිකණ්ඨ නා රජ බාල තවුසා කෙරෙහි මහත් සෙනෙහසක් දැක්වීය. මේ නාගයා සතු බලවත්
මැණිකක් වූ අතර තවුසා ඒ මැණික නැවත නැවත ඉල්ලන ලදි. මේ ඉල්ලීම නිසා බියට පත් නා රජ
ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නේ ය. ඔබේ අසපුවටත් නො එන්නෙමි කියා ගියේ ය.
3. ඒ සොහොයුරන් දෙදෙනා වියපත්ව මවුපියන් කලුරිය කළ පසුව සංවේගයට පත් හදින් තවුස්
පැවිද්ද ලබා ගංතෙර පන්සල් කරවා විසූහ. ඔවුන් අතුරින් වැඩිමහල්ලාගේ පන්සල ගඟෙහි ඉහළ
ද, බාලයාගේ පන්සල ගඟ පහළ ද විය. ඉක්බිති දිනක් මණිකණ්ඨ නම් නා රජ නිවසින් නික්ම
ගංතෙර තරුණයෙකු වෙසින් ඇවිදින්නේ කනිටු තවුසාගේ අසපුවට ගොස් එකත් පසක හුන්නේ ය.
07.
1.
අ) එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයාගේ ජේතවනාරාමයෙහි වාසය
කරන සේක.
ආ) යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි නොවේ නම් සියලු තැන්හි පුද ලද්දේ වේ.
ඉ) කාවන්තිස්ස මහ රජ රුහුණෙහි රජ කරන්නේ මාගම වාසය කරයි.
ඊ) උතුම් බුදුරජාණන් වහන්සේගේ පිහිට හැර මට වෙනත් පිහිටක් නැත. (මට වෙනත් පිහිටක්
නැත. මට උතුම් පිහිට බුදු රජු ය.)
2.
අ) අහං බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි
ආ) මාතා පුත්තෙන සිද්ධිං විහාරං ගන්ත්වා දානං දදි. (අදදි/ අදාසි)
ඉ) බාලකො පාතොව ධම්ම පාඨසාලායං ගච්ඡිස්සති. (ගමිස්සති)
ඊ) සබ්බේ සත්තා සුඛී / සුඛිතා / සුඛිතත්තා හොන්තු
උ) සබ්බේ සංඛාරා අනිච්චා |