|
ඉල් අමාවක පෝ දා 2023-12-12
සැබෑ ලාභය
මිල මුදලින්, ධන ධාන්‍යයෙන්, නිලයෙන්, බලයෙන් ආඪ්‍ය වුව ද නිරෝගී නොවේ නම් ඒ ජීවිතය
ම අමිහිරි ය. කායික මානසික පීඩාවන්ගේ වේදනා විඳින්නට වන්නේ ය. තැවීම් දැවීම් සුලබ
වන්නේ ය.
“ආරෝග්‍ය පරමා ලාභා” නිරෝගීකම ම උතුම් ලාභය වන බව සම්බුදු දහමේ අවධාරණය කරන්නේ ලෙඩ
දුක්වලින් පෙළෙන අය කවර ලාබයක් ලැබුව ද ඉන් පලක් නොවන නිසා ය.
ඉපදුණ දා පටන් තබන පියවරක් පාසා අප වෙහෙසෙන්නේ ධනය උපයනු පිණිස ය. විවිධ සැප සම්පත්
ළං කර ගනු පිණිස ය. බොහෝ දෙනෙක් තමන් ධනවත් යැයි අර්ථ ගන්වන්නේ ධන ධාන්‍ය, මිල
මුදල්, යාන වාහන, මහා මන්දිර රැස්වන තරමට ය. එහෙත් ඒ ආකල්පය ප්‍රතිකිෂේප කරන
සම්බුදු දහම සැබෑ ධනය ලෙස අර්ථ ගන්වන්නේ සතුටයි.
“සංතුට්ඨි පරමං ධනං”
“ධනය” යන්නෙහි අර්ථය වරදවා ගත් පුද්ගලයා ධන සැපයීමෙහි ම නියැළෙනු විනා ඉන් සෑහීමකට
නොපැමිණෙන්නේ ය. තව තවත් සම්පත් ගොඩගසා ගැනීමට ම වෙහෙසෙන්නේ ය. ඒ තුළ ඇතැම් විට
වැරැද්ද නිවැරැද්ද කුමක් දැයි යන්න ගැන පවා අවධානය ගිලිහේ. එය ම පසුතැවිල්ලට හේතු
වේ. එය සැනසීම ගිලිහී යෑමේ ආරම්භයයි. ලද දෙයින් සැනසීමේ පුරුද්ද පුහුණු කළ යුතු බව
දහමේ අවධාරණය කරන්නේ එහෙයිනි.
මතුපිටින් බලා අනුන්ගේ බලය, ධනය ගැන තීරණය කරන අයටත්, තමන්ට බලය, ධනය ළඟා කර ගැනීමේ
දී වැරැදි ආකල්පයන්ගෙන් සිටින අයටත් ධම්ම පදයේ අන්තර් ගත මේ සදුපදේශ ඉතා වැදගත් ය.
අප බොහෝ දේ අහිමි කර ගන්නේ අප විසින් ම ය. අද සමාජය දෙස බලන විට හරිහම්බ කරන
මුදලින් වැඩි ප්‍රමාණයක් විය පැහැදම් කරන්නේ ලෙඩ දුක්වලට බව පෙනේ. රජයේ මෙන් ම
පෞද්ගලික ආරෝග්‍යශාලා, ඖෂධ හල් ඉදිරියේ රැස්කන ජන ගංගාව දෙස බැලීමේ දී ඊට වෙනත්
උදාහරණ ඇවැසි නැත. මොන තරම් සම්පත් තිබුණ ද රෝගී වූ කල දැනෙන අසරණකම, ජීවිතය පිළිබඳ
ඇතිවන කළකිරීම ඒ සියල්ල අභිබවා යයි. විශේෂයෙන් වර්තමානයේ බොහෝ බෝ නොවන රෝගවලට හේතුව
කට පරිස්සම් කර නොගැනීම නිසා බව පෙනේ. රසයට වහල්වීම නිසා සමහරු තමන් ගත යුතු ආහාරය
සේ ම ප්‍රමාණය ගැන ද තැකීමක් නැත. බුදුදහමේ අවධාරණය කරන්නේ ආහාරයෙහි ද පමණ දත යුතු
බව ය.
ආහාර පාන සඳහා සමහරු බොහෝ විය පැහැදම් කරති. කෙනෙක් තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය
කරන්නට ඉහළ සමාජය පරිහරණය කරනවා යැයි සිතන, ආහාර පාන මිලදී ගනිති. එහෙත් එහි
ගුණාත්මක බව ගැන අවධානයට ලක් නොකරති. කෙනෙක් කියන්නේ හැම දේ ම කරන්නේ කන්නට යමක්
සොයා ගන්නට බව ය. එහෙත් ජීවිතය යනු ආහාරය ම නොවේ. අප ජීවත්විය යුතු ආහාර ගැනීමට
නොවේ. ආහාර ගත යුතු ජීවිත්වීමට ය.
විශේෂයෙන් බෞද්ධයන් ලෙස අපට මෙහිදී සිතන්නට යමක් තිබේ. ආහාර නොමැතිව කුසගින්නේ
පෙළෙන මොනතරම් පිරිසක් සිටිනවා ද? ප්‍රමාණය ඉක්මවා අප ගන්නා ආහාර, අනවශ්‍ය ලෙස
ප්‍රයෝජනයට ගන්නා ආහාර නිසි කළමනාකරණයට ලක් කරමින් තමන්ගේත් ප්‍රයෝජනයට ගෙන අනුන්ට
ද දානය කළ හැකි ය. තමන් නිසා තවත් කෙනෙක් කුස ගින්දර නිවා ගන්නවා දැකීමේ සතුට, දෙන
පුද්ගලයාට හැර නොදෙන්නාට ලද නොහැකි ය.
ශාරීරික රෝග සේ ම මානසික රෝග ද අද බහුල ය. ලෝභය, ද්වේෂය, මෝහය ආදී කෙලෙස් වැඩි
දියුණු වීම නිසා අපි බොහෝ දෙනෙක් සිතින් රෝගී වී සිටිමු. නිරන්තරයෙක් දැවෙමු. ඒ
කෙලෙස් මදින් මද හෝ දුරු කරන තැන ය සිතට සැනසීම ලැබෙනුයේ. සැබෑ ලාභය, සැබෑ ධනය
කුමක්දැයි අවබෝධ කරගෙන මේ ජීවිතයත්, පරලොව ජීවිතයත් සුවපත් කර ගනිමු. |