සිතිවිලි පාලනය කර
සීලය
රැක ගනිමු
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කොට වදාළා අපගේ මේ සිත හරියට මහ
මුහුද වගේ කියලා. මහ මුහුදේ රළ මොහොතක්වත් එක විදිහකට තියෙන්නේ නෑ. රළ නිතරම එහෙට
මෙහෙට පෙරළි පෙරළි තිබෙන්නේ.
එහෙම පෙරළෙන රළ වගෙයි මේ සිත වගේ ම සිත තුළට එන සිතිවිලි. අපට හිතා ගන්න බෑ සිතට එන
සිතිවිලි කොතරම්ද? කියලා. අපට හිතා ගන්න බෑ ඒවා පාලනය කරන්නේ කොහොමද කියලා. එක
තත්පරයක්, විනාඩියක් හෝ පැයක් ආදි කාලයක් තුළ මේ සිතට කෙතරම් සිතිවිලි එනවාද? නැති
වෙනවා ද? ඒ අතර යහපත් මෙන්ම අයහපත් සිතිවිලි කොතරම් ද? දවස අවසානයේ සිතට ආ සිතිවිලි
සිහි කොළොත් මේ සිත තමාට කෙතරම් අයහපත ගෙන දෙනවා ද කියා වැටහේවි. නා නා ප්‍රකාර
සිතිවිලි අතරේ සිර වී සිටින අපට ඉන් ගැලවී යන ආකාරයයි තථාගතයන් වහන්සේගේ ධර්මය තුළ
තිබෙන්නේ.
නිරන්තරයෙන් පෙරළෙන සිතිවිලි තුළ වැඩිපුරම තිබෙන්නේ අයහපත ගෙන දෙන සිතිවිලියි කියලා
අපි සිතමු. අපට සිතිවිල්ලක් එනවා කෙනකුගේ සිත රිද්දන, ඒ කෙනා අපහසුවට පත් වෙන
වචනයක් කියන්න. ඒ සිතිවිල්ල ආ පමණින් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එහෙත් අපි ඒ
සිතිවිල්ල ක්‍රියාවට නැඟුවොත්, ඒ පුද්ගලයාගේ සිත රිදවන, පීඩාවට, ලජ්ජාවට පත්වෙන වචන
කිව්වොත් එතැන් සිට නැති ප්‍රශ්නයක් ඇතිවෙනවා.
සිතට වාරණයක්...
එහෙම නම් අපට පැහැදිලියි, සිත ඇතුළේ ඇතිවන සිතිවිල්ල සිත ඇතුළේ ම පාලනය කර ගත්තොත්
ඒක තමාටත් අන් අයටත් කෙතරම් යහපතක් ද කියලා. එහෙම නම් ඒ සිතිවිල්ල පාලනය කළ යුතු
වන්නේ කොහොමද? ඒක කරන්න තිබෙන්නෙත් තමාගේ සිතෙන් ම යි.
සිත සිතෙන් ම රකින එක කවුද අපට කරලා දෙන්නේ. ඒක මේ විශ්වයේ කිසිවකුට කරලා දෙන්න බෑ.
සිත රැක ගත යුත්තේ තමා ම යි.
සිත සිතෙන් රැකගත යුතු ආකාරය මහා කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ අනුව
කටයුතු කරන්න අපි දක්ෂ වුණොත් තමාට තමාගේ සිත රැක ගන්න පුළුවන්.
සිත මහ මුහුදක් නම් ඒ සිත රකිනා වෙරළ සීලය බවයි අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ.
සීලය නම් වූ වෙරළ තියෙනවා නම්, සිතේ සිතිවිලි නම් වූ රළ ගෙඩි කොතරම් දරුණුවට
නැඟුණත් තමන් කයින්, සහ වචනයෙන් ඒ සිතිවිලි ක්‍රියාත්මක නොවුණොත් හානියක් සිදු
වන්නේ නෑ. කුසල අරමුණකින් තමාගේ සිතිවිලි ටිකෙන් ටික දමනය කර ගත්තාම ඇතැම්විට
ප්‍රශ්නය අවසන් වෙන්න පුළුවන්. හරියට වෙරළ තෙක් ආ රළ ආපසු හැරී යනවා වගේ අයහපත්
සිතිවිලි යටපත් වෙනවා. අපේ සිතිවිලි පාලනය කළේ නැති නම් මෙලොව පරලොව දෙලොව ම අයහපත
උපදින දේ අපේ ජීවිතයට එකතු වෙනවා.
ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා තමන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයාත්, පැවිදි
ශ්‍රාවකයාත් නිරන්තරයෙන් ම පුරුදු කළ යුතු, රැකිය යුතු උතුම් ම වටිනා දේ තමා සීලය
කියන්නේ කියලා. ගිහි ශ්‍රාවක අපට නිත්‍ය සීලය ලෙස දිවි තිබෙන තුරාවට රකින්න කියා
අනුදැන වදාළේ පංච සීලය යි.
අභය දන්දෙමු
හිතන්න, ඔබට කොතරම් සතුන් මරන්නට සිතිවිලි නැඟුණත් සතුන් මැරීමෙන් වැළකීමේ සිල්පදය
රකිනවා නම් කුඩා සතකුටවත් ඔබ නිසා බියක් තැති ගැනීමක් නැහැ. මම සතුන් නොමරන කෙනෙක්
කියලා ඔබට ම ඔබ ගැන සතුටක් උපදියි.
කිසිවකුට හානියක් නොකරමු
තව කෙනකුට අයත් දෙයකට ආශා සිතිලා සොර සිතින් ඒ දේ සොරාගත යුතුයි කියලා සිතිවිල්ලක්
නැඟුණත් මම සොරකමින් වැළකීමේ සිල්පදය සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා මම සොරකම් කරන්නේ
නෑ කියලා සිතිවිල්ලක් තිබුණොත්. සමාජයේ බොහෝ දෙනාට එයින් යහපත උදාවේවි. අද කාලයේ
සොර සතුරු බිය ගොඩක් වැඩියි. එවන් පරිසරයක මම කාගේවත් වස්තුවට හානියක් කරන කෙනෙකු
නොවේ. කියා තමාට සිතිය හැකි නම් එය කෙතරම් සුවයක් ද?
පිරිසුදු ජීවිතයක්
සිතට වහල් වෙලා, මේ සමාජයේ බොහෝ පිරිසක් කිසිදු ලජ්ජා භයක් නැතුව වැරැදි කාම සේවනයේ
යෙදෙනවා. එවන් සමාජයක තමාගේ ඍජු අවංක පිරිසුදු ජීවිතය ගැන තමාට සිහි කරන්න පුළුවන්
නම් එය මානසිකව ද කායික ව ද පහසුවක් වෙනවා.
තමාට අවංකවීම
බොරුකීමෙන් වැළකෙමි කියන සිල්පදය අද සමාජයේ රකින්නේ නැති ම තරම්. දිවටත් නොදැනීම
බොරුව එළියට එනවා. පාලනය කර ගන්න කිසිදු වීර්යයක්, කැපකිරීමක් වුවමනාවකුත් නැහැ.
එහෙත් ඒ බොරු කියන පිරිස අතරේ මම බොරු නොකියන කෙනෙක් කියලා ඔබට සතුටු වෙන්න පුලුවන්
නම් එය කෙතරම් පහසුවක් ද?
මත්වීමත් අකුසලයක්
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිල්පදය හිතුමනාපයට කඩ කරමින්
තාවකාලිකව සතුටු වන මෙවැනි සමාජයකත් මත් වතුරෙන්, මත්ද්‍රව්‍යවලින් වැළකිලා සිල්වත්
වූ කෙනෙක් විදියට අපට සතුටු වෙන්න පුළුවන් නම් එය කොතරම් සුන්දර ද?
ඒ නිසා වයසට යනතුරු ම අපි රැකිය යුත්තේ සීලය යි. භාග්‍යවතුන් වහන්සේ දිනක් වදාළා
මහණෙනි සීලය තිබෙන්නේ සංවරය පිණිසයි. සීලයෙන් සංවර වෙන්නේ කය සහ වචනයයි. චේතනාව පහළ
කරලා කය සංවර කර ගැනීම සීලය යි. චේතනාවක් පහළ කරලා වචනය සංවර කිරීම සීලයයි. රහතන්
වහන්සේ සීලය හැඳින්වූයේ උතුම් ආභරණයක් ලෙසයි. එනිසා කෙටි කාලයකට ලැබුණ මේ මනුස්ස
ජීවිතය සීලය කියන ලස්සන ආභරණයෙන් සැරසීමට උත්සුක වෙමු.
නයනා නිල්මිණී |