[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිවනින් නිවී සැනසුණු පසේ බුදුරදුන් වහන්සේ

නිවනින් නිවී සැනසුණු පසේ බුදුරදුන් වහන්සේ

පසේ බුද්ධත්වය ලබන පුද්ගලයකු ක්ෂණික පසේ බුද්ධත්වයට පත්වීමත් සමඟ ගිහි වේෂය අතුරුදහන් වී පැවිදි වේෂයට පත්වන බව ද ථේරවාද මතය යි. පසේ බුද්ධත්වය ලැබුව පසු තම දකුණු අතින් හිස පිරිමදින විට ගිහි වේශය අතුරුදහන්ව පැවිදි වේශයට පත්වෙන බව දැක්වෙන අතර දෑගුල් කෙස් රැවුල් යුත්, අටපිරිකර දරන, සියවස් පිරුණු තෙරනමක් සේ ස්වභාවයක් ගන්නා බව විස්තර වෙයි

“යේ පුබ්බබුද්ධෙසු කතාධිකාර
අලද්ධමොක්ඛා ජිනසාසනෙසු
තෙනෙව සංවෙගමුඛෙන ධීරා විනාපි
බුද්ධෙහි සුතික්ඛපඤ්ඤා
ආරම්මණෙනාපි පරිත්තකෙන
පච්චෙකබොධිං අනුපාපුණන්ති”

“පෙර බුදුවරයන් වෙත කරන ලද පුණ්‍යසම්භාර ඇති, ඒ බුදුසසුන්හි නොලබන ලද නිවන් ඇති, ඉතා සියුම් නුවණින් යුත් ප්‍රාඥයෝ එම සංවේගය ම මුල් කොට බුදුවරුන්ගේ අවවාදානුශාසනාවන් රහිතව ස්වල්ප මාත්‍ර වූ ද අරමුණක් හේතු කොට ගෙන පසේ බුදු බවට පැමිණෙන බව” අපදානපාළියේ දැක්වෙයි.

සම්බුද්ධ ශාසනයෙහි නිවනට පත් විය හැකි මාර්ග තුනකි. එසේ නිවන් සාධනය කර ගත හැකි මාර්ග නම් සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය හා අර්හත්වය යි. පසේ බුද්ධත්වය නම් විවිධ අරමුණු හේතු කර ගෙන ස්වයංව ධර්මාවබෝධය ලැබීමකි. පසේ බුදුවරු හුදකලාව වාසය කරන අල්ප වචනයෙන් යුක්ත සුවිශේෂි වූ පිරිසකි.

උන්වහන්සේ පහළ වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවූ අවධියක ය. එම අවධිය තුළ මිනිසුන්ට යම් කුසලයක් කර ගැනීමට අවස්ථාව උදාවන්නේ පසේ බුදුවරු නිසා ය. ථේරවාදය තුළ පච්චේක බුද්ධත්වය ලබන පුද්ගලයා හැඳීන්වීම උදෙසා විවිධ අර්ථ සහිත විවිධ නාමයන් පිටකත්‍රයෙහි සඳහන් වෙයි.

වැරැදි ලෙස ආහාර නො ගන්නා බැවින් “අනවජ්ජභෝජි” ලෙසත්, දල සාරවත් අවබෝධය ඇති බැවින් “බහුස්සුත” ලෙසත් දල ගුරුවරයකු නොමැති බැවින් “අනාචරියකා” ලෙසත් දල හුදකලාව වාසය කරන බැවින් “ඒකචාරිනො” ලෙසත් සඳහන් වෙයි.

සුත්තනිපාතට්ඨකථාවෙහි ඛග්ගවිසාණ සූත්‍ර වර්ණනාවෙහි පසේ බුදු බව ලැබීමට කරුණු 05ක් සම්පූර්ණ වී තිබිය යුතු බව සඳහන් ය. එම කරුණු නම් මනුෂ්‍ය සම්පත්තිය, පුරුෂ සම්පත්තිය, බුදු පසේබුදු මහරහත් යන උතුමකු පූර්ව භවයක දැක තිබීම හා ඉතා උසස් වූ යහපත් දේ කිරීම හා අධිෂ්ඨානය දරාගෙන සිටීම යන්න යි.

පසේ බුදු බව ලබන්නේ තම ස්ව ඥානයෙනි. එසේ ම එම පච්චේක බුද්ධත්වය ක්ෂණිකව ලබා ගන්නා අතර, ඒ සඳහා පෙර කුසල ශක්තිය හේතු වෙයි. පසේ බුද්ධත්වය ලැබීම සඳහා මනුෂ්‍ය සම්පත්තිය ඉවහල් වෙයි. ථේරවාද බුදු දහමෙහි රහත් තත්වයට පත්වීමට කාන්තාවන්ට හැකියාව තිබුණ ද සම්මා සම්බුද්ධත්වය හා පසේ බුද්ධත්වය ලැබීමට පුරුෂ ආත්ම භාවයක් තිබිය යුතු ය. මෙකී සම්පත්ති මෙන් ම සෙසු සම්පත්තීන් ද පසේ බුදු බව ලැබීමට විශේෂයෙන් උපනිශ්‍රය වෙයි.

පසේ බුදුරජාණන් වහන්සේට අදාළ වන හැසිරීම් අටක් ඛග්ගවිසාණ සූත්‍ර වර්ණනාවෙහි සඳහන් වේ. එම හැසිරීම් නම් ඉරියාපථ චරියාව, ආයතන චරියාව, සමාධි චරියාව, ඥාන චරියාව, මග්ග චරියාව, පත්ති චරියාව හා ලෝකාර්ථ චර්යාව යි. පසේ බුදුවරු මෙම සුවිශේෂි හැසිරීම්වලින් යුක්තව හුදකලාව තම විමුක්ති රසය විඳී උත්තරීතර පිරිසකි. මෙසේ විමුක්ති රසය විඳී පසේ බුදුරජාණන් වහන්සේ බොහෝ ප්‍රමාණයක් පිළිබඳ ථේරවාද මූලාශ්‍රවලින් තොරතුරු ලැබෙයි. මජ්ක්‍ධිම නිකායෙහි ඉසිගිලි සූත්‍රයෙහි එවැනි පසේ බුදුවරුන්ගේ නම් රාශියක් සඳහන් වෙයි. ඒ අතර අරිට්ඨ, උපරිට්ඨ, තගරසිඛී, යසස්සි, සුදස්සන, පියදස්සි, ගන්ධාර, පිණ්ඩෝල, උපාසභ, නීත, තථ, සුතවත්තු, භාවිතත්ත, සුම්භ, සුභ, මේථුල, අට්ඨම, සුමේඝ, අනීඝ, සුදාඨ, හිංගු, හිංග, චුල්ලජාලි, මහාජාලි, අට්ඨක, කෝසල, සුබාහු, උපනෙමිස ආදි පසේ බුදුවරු වෙති. අතීතයේ වැඩ සිටි පසේ බුදුවරු මෙන් ම අනාගතයේ ද පහළ වන පසේ බුදුවරුන් පිළිබඳ ථේරවාදයේ සඳහන් වෙයි.

පසේ බුද්ධත්වය ලබන පුද්ගලයකු ක්ෂණික පසේ බුද්ධත්වයට පත්වීමත් සමඟ ගිහි වේෂය අතුරුදහන් වී පැවිදි වේෂයට පත්වන බව ද ථේරවාද මතය යි. පසේ බුද්ධත්වය ලැබුව පසු තම දකුණු අතින් හිස පිරිමදින විට ගිහි වේශය අතුරුදහන්ව පැවිදි වේශයට පත්වෙන බව දැක්වෙන අතර දෑගුල් කෙස් රැවුල් යුත් අටපිරිකර දරන සියවස් පිරුණු තෙරනමක් සේ ස්වභාවයක් ගන්නා බව විස්තර වෙයි. දාරිමුඛ ජාතකයෙහි සඳහන් බරණැස් රජ කුමරු හට පච්චේක බෝධියට පත්වීමත් සමඟ ආකාශයෙන් තුන්සිවුරු පාත්‍ර අවුත් ශරීරයෙහි වැළඳ ගෙන ගිහි වේෂය අතුරුදහන් වූ බව දැක්වේ. මෙය පසේ බුදුවරුන්ගේ සුවිශේෂි ලක්ෂණයක් ලෙස දැකිය හැකි ය.

පිණ්ඩපාත චාරිකාවේ යෙදීම පසේ බුදුරජාණන් වහන්සේගේ චරිත තුළ දැකිය හැකි සුවිශේෂි ලක්ෂණයකි. අට්ඨකතා හා ජාතක සාහිත්‍යයෙහි සඳහන් වන ඇතැම් පසේ බුදුවරුන් නිරෝධ සමාපත්තියට සමවැදි ලොව බලා එසේ පිණ්ඩපාතයෙහි වැඩි බව දැක්වේ.

පසේ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ සුගතිගාමිත්වය පිණිස පිණ්ඩපාතයෙහි වැඩම කළ බව අටුවා කතා තුළ දැක්වේ. යම් යම් දුෂ්කර ගම්මානවලට පසේබුදුවරුන් වැඩම කරන අවස්ථාවල දී මිනිසුන් විවිධ පූජාවන් උන්වහන්සේ වෙනුවෙන් පවත්වන බවත් ප්‍රණීත ආහාරාදිය පිළිගන්වන බවත් අටුවාවෙහි දැක්වේ.

එක්තරා ස්ත්‍රියක් පෙර අකුසල කර්මයක් නිසා බොහෝ සේ පීඩා විඳීන බව දකින පසේ බුදුරජාණන් වහන්සේ නමක් එම ස්ත්‍රිය ආසන්නයට පිණ්ඩපාතයෙහි වැඩි බව ද සුත්තනිපාතට්ඨකථාවේ සඳහන් වේ. එසේ වැඩම කිරීම තුළින් උන්වහන්සේට පූජා පවත්වා එම ස්ත්‍රිය මතු භවයක මහාපදුම නමින් පසේ බුද්ධත්වය පවා ලබා ඇත.

පසේ බුදුවරු නම් ඍද්ධිමත් පිරිසකි. උන්වහන්සේ ඍද්ධියෙන් ගමන් කරන අවස්ථාවන් අට්ඨකථාවෙන් මුණ ගැසෙයි. සුත්තනිපාතට්ඨකථාවේ දැක්වෙන පරිදි පසේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන වාස භූමිය ගන්ධමාන පර්වතය ආශ්‍රිත ප්‍රදේශය යි. මෙම ස්ථාන කරා පසේ බුදුරජාණන් වහන්සේ ගමන් කරන්නේ ඍද්ධියෙනි. සුත්තනිපාතට්ඨකථාවෙහි ඛෙත්තජ පසේ බුදුරජාණන් වහන්සේගේ කතා වස්තුවෙහි එන පසේ බුදුරජාණන් වහන්සේ නමක් එක්තරා තරුණියකට ඇයගේ අකුසල දෝෂයක් පහ වී යාමට ඇයට ශ්‍රද්ධාව ජනිත වීම පිණිස තම ඍද්ධියෙන් වැඩම කරන ඉරියව්ව ඇයට දැකීමට හැකිවේවා’යි අධිෂ්ඨාන කරයි. මෙවැනි වූ ඍද්ධියෙන් වැඩම කරන අවස්ථා රාශියක් පච්චේක බුදුරජාණන් වහන්සේ පිළිබඳ කථා දැක්වෙන සුත්තනිපාතයට්ඨකථාවේ දැක්වේ.

පසේ බුදුවරු තම ඍද්ධිමය ශක්‍යතා භාවිත කරමින් එකල සමාජයෙහි මිනිසුන්ට ධර්මාවබෝධය සඳහා මග පෙන්වීම් කර ඇත.

අංගුත්තර නිකායෙහි ථූපාර්හ සූත්‍රයෙහි ථූපාරහ පුද්ගලයින් සතර දෙනකු දක්වා ඇති අතර ඉන් එක් අයකු ලෙස පසේ බුදුරජාණන් වහන්සේ සඳහන් කර ඇත. මෙම පිරිස් සිහි කොට ස්තූප බැඳ පූජාවට ලක් කිරීමට සුදුසු බව ථේරවාද බුදු සමයෙහි අදහස යි. එම අදහසින් ඉස්මතු වන්නේ ථේරවාදය තුළ පසේ බුදුරජාණන් වහන්සේ ඉමහත් පූජාවට පත් කර ඇති බවයි.

පසේ බුදුවරු වනාහි හුදකලාව විසූ, තම විමුක්තිය නිදහස් දිවියක් තුළ විඳී උත්තරීතර උතුමන් පිරිසකි. උන්වහන්සේ සුදුසු පරිදි මිනිසුන් කුසලයට නැඹුරු කිරීමට උත්සාහ දරා ඇත. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් මෙවන් පසේ බුදුවරුන්ගේ චරිත පිළිබඳ මිනිසුන්ට දැන ගැනීමට අවස්ථාව සැලසෙයි.

ඉල් අමාවක

දෙසැම්බර් 12 අඟහරුවාදා පූ.භා. 06.25 න් අමාවක ලබා 13
බදාදා පූ.භා. 05.03 න් ගෙවේ.
12 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]