මහා අනුසස් ලැබෙන
අට මහා පින්කම්
කඨිනට්ඨපරික්ඛාරං -
වාසදානං ච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං -
ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානං ච බුද්ධස්ස -
පටිමාකරණංපිච
කරණං වච්චකුටියා -
අට්ඨ පුඤ්ඤානි උච්ඡරෙ
මෙම ගාථාවෙන් ඉගැන්වෙන පරිදි අට මහා පින්කම් යනු කඨින පූජාව, අටපිරිකර පූජාව, ආවාස(
නිවාස) පූජාව, බුදු රදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේට සිදු කෙරෙන දාන පූජාව, ධර්මය
ලියවීම, ඉඩකඩම් පූජාව, බුද්ධ ප්‍රතිමා තැනීම හා වච්චකුටි (වැසිකිළි) තැනවීම යි.
කඨින පූජාව
අට මහා පින්කම් අතර පළමුවැන්න කඨින චීවර පූජාව යි. පෙළ පොතට හා අටුවා අනුව මෙය උසස්
ම පින්කමකි. වස්සාන සෘතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන උපසම්පදා භික්ෂූන්
වහන්සේ වස් සමාදන්ව වැඩ සිටින කාලය යි. මෙම සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප්
පොහොයෙනි. සෑම වර්ෂයක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන මෙම වස් කාලය සැදැහැවතුන්
ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. මෙම කාලය තුළ සිදු කෙරෙන විශේෂ පින්කම් මාලාව අවසන්
වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. වප් පුර පසළොස්වක පොහෝදා සිට මෙම කඨින
මහා පින්කම් ඇරඹෙයි. එබැවින් වප් මහට චීවර මාසය යන නම ද ව්‍යවහාර කෙරෙයි.
කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනක දී හෝ වර්ෂයේ කිහිප
අවස්ථාවක දී ම සිදුකළ හැකි වුව ද කඨින පූජා පුණ්‍යෙීත්සවය සිදු කළ හැක්කේ එක්
වර්ෂයක් තුළ එක් වරක් පමණකි. මේ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කඨින පූජෝත්සවය
විහාරස්ථානයක වර්ෂයක් තුළ සිදු කෙරෙන පින්කම් අතර වඩාත් උත්කර්ෂවත් ම පින්කම ලෙස
සැලකිය හැකි ය.
කඨින පූජා උත්සවය හා සමගාමීව පෙරහර, පූජා නැටුම්, තොරණ, සැරසිලි, පහන් පූජා, බෝධි
පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, සාංඝික දාන පූජා, කප් රුක් පූජා ආදී විවිධාකාර
චාරිත්‍ර සිදු කෙරේ. ඒ ඒ පළාත්වලට ආවේණික වූ ලක්ෂණ අනුව එම පූජා චාරිත්‍රයන් හි
විශේෂත්වයක් දැකිය හැකි ය. පුරාතන යුගයේ පටන් ම කඨිනය සඳහා වැඩමවන භික්ෂූන් වහන්සේට
කැඳ බත් ආදිය පිරිනැමීමෙන් සංග්‍රහ කිරීමට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටියහ. එය
දායක පක්ෂයේ යුතුකමක් සේ ද සැලකූ බව සමන්තපාසාදිකා විනයට්ඨකතාවෙන් පැහැදිලි වේ.
පශ්චාත් කාලීනව එම චාරිත්‍රය වඩාත් දියුණු වී කඨිනය සඳහා වැඩමවන භික්ෂූන් වහන්සේට
සංඝගත දක්ෂිණාවක් පිළිගැන්වීම අනිවාර්ය අංගයක් බවට පත්විණැයි විශ්වාස කිරීම සහේතුක
ය. කඨින පූජා උත්සවය හා සබැඳි චාරිත්‍රයන් හි ඇතැම් අංග කාලානුරූපීව සකස්ව ඇති අතර
ඇතැම් අංග සාම්ප්‍රදායිකව පවත්නා පෞරාණික චාරිත්‍රවිධීන් ගණයට අයත් වේ.
පුරාතන ශ්‍රී ලාංකේය සමාජ පරිසරය තුළ රාජ්‍ය පාලකයා ඇතුලු රටවාසීන් සෑම දෙනෙකු ගේ ම
සහභාගිත්වයෙන් යුක්තව කඨින පූජෝත්සවය සිදු කෙරිණි. 3 වන දළ මුගලන් රජු රටේ සෑම
ආරාමයකට ම කඨින චීවර පූජා කළ වග මහාවංසයේ 36 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි.
වර්තමාන ලංකාවේ සිදු කෙරෙන කඨින පින්කම් අතර දියවඩන නිලමේතුමා විසින් මහනුවර ශ්‍රී
දළදා මාලිගාවේ කඨින පූජා උත්සවය වාර්ෂිකව පවත්වාගෙන එනු ලැබේ. එය පුරාතන ශ්‍රී
ලාංකේය රජවරුන් අනුගමනය කළ චාරිත්‍රය සිහිගන්වන්නක් ලෙස සැලකිය හැකි ය.
අටපිරිකර පූජාව
අට මහා පින්කම් අතර දෙවැන්න අට පිරිකර පූජාව යි. එය පිරිකර අටක් එක්කොට තැනූ
පිරිකරකි. භික්ෂූන් වහන්සේ නමකට එදිනෙදා දිවි විහරණයට අවශ්‍ය මූලික පිරිකර අටක්
මෙයට ඇතුළත් ය. ඒවා නම් තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, පාත්‍රය, දැලි පිහිය,
ඉදිකටුව, කාය බන්ධනය (පටිය) හා පෙරහන්කඩ යි. මේවා බුදුරජාණන් වහන්සේගේ අනුමතයෙන්
පිළිගැනී ඇත. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ පැවිද්දට පත් වූ අවස්ථාවෙහි ඝටීකාර
බ්‍රහ්මයා විසින් මෙම අටපිරිකර උන්වහන්සේට පිදූ බව සඳහන් වෙයි.
ආවාස පූජාව
මෙයින් අදහස් කෙරෙන්නේ ආවාස, නිවාස පූජා කිරීම යි. මෙම පූජාව කළ තැනැත්තා දිවා රෑ
පින් රැස්කරන්නා බවත්, සියලු දෙය පූජා කළා වැනි බවත් සංයුක්ත නිකායෙහි මෙසේ සඳහන්
වෙයි. “තෙසං දිවා ච රත්තෝ ච සදා පුඤ්ඤාභිවඩ්ඪති සො ච සබ්බ දදෝ හොති යො දදාති
උපස්සයං”
බුද්ධ ප්‍රමුඛ දානය
දාන පූජාව විවිධ ක්‍රමයට සිදු කරන කුසලයකි. සඟසතු කොට දන් දීමේ දී බුදුරජාණන්
වහන්සේ ප්‍රමුඛව දෙන දානය බුද්ධ ප්‍රමුඛ දන්දීම ලෙස මෙහි දී අදහස් වෙයි.
ධර්මය ලිවීම
ධර්මය ඉගෙනීමට උපකාරී වන ලෙස ධර්ම ග්‍රන්ථ, ධර්ම පත්‍රිකා, ධර්ම ලිපි ලිවීම මෙයින්
අදහස් වෙයි.
ඉඩම්කඩම් පූජාව
ඛෙත්ත දාන යනුවෙන් අදහස් කෙරෙන්නේ කුඹුරු හා ඉඩකඩම් පූජා කිරීම යි.
බුද්ධ ප්‍රතිමා තැනීම
හත් වැනි මහා පුණ්‍ය කර්මය මෙය යි. ත්‍රිවිධ චෛත්‍යය විස්තර වන තැන උදේසික චෛත්‍යය
යනුවෙන් සඳහන් වන්නේ බුද්ධ ප්‍රතිමාවලට වැඳුම් පිදුම් කිරීම ය. එබැවින් බුද්ධ
ප්‍රතිමා තැනීම සහ පූජාව උසස් පින්කමකි.
වච්චකුටි පූජාව
අටවැනි පින්කම වශයෙන් ඉගැන්වෙන්නේ වැසිකිළි පූජා කිරීම යි. ජනීජනයා ගේ සුවපහසුව
වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් ඇති කරවීමේ වැදගත්කම නිසා මෙය අටමහා කුසල්වලට ඇතුළත් ව
ඇත. |