[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මනුදම් වැඩෙන

මනුදම් වැඩෙන ගුණ දම් පිරෙන තෝතැන්න ගමේ විහාරයයි

පන්සල මුල්කොට ගෙන ගොඩනැඟුන සංස්කෘතිය හා අධ්‍යාපනික රටාව පිළිබඳ විමර්ශනය කර බැලීමේ දී මහින්දාගමනය පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ එදා ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කරන ලද්දේ මිස්සක පවුවටයි. එවකට රටේ රජු ලෙස නායකත්වය දැරුවේ දෙවන පෑතිස් රජතුමා ය. එතුමා පිරිසත් සමඟ මුව දඩයමේ යෙදී සිටියදී මිස්සක පවුව පාමුල දී මිහිඳු මහ රහතන් වහන්සේට හමු විය.

එහිදී, මිහිඳු මහරහතන් වහන්සේ පළමුව සිදු කළේ රජතුමාගේ බුද්ධිය පරීක්ෂා කරනු වස් අඹ පැනය හා නෑ පැනය ඉදිරිපත් කිරීම යි. අනතුරුව රජතුමාට ධර්මය දේශනා කොට බෞද්ධයකු බවට පත් කොට දෙවනුව රට වැසියා ද බුද්ධාගමට නැඹුරු කළහ. පසුව ධර්මය වැලඳගත් රට වැසියා බෞද්ධ සිරිත් විරිත්වලට අනුකූලව හැඩ ගැසුණු අතරම, හැම කෙනකු ම තිසරණ පන්සිල් සමාදන් වීමට හුරු වීම ද, ලක්දිව සිදු වූ සුවිශේෂී සිදුවීමකි.

තවද දන්දීම, සිල් රැකීම, බණ භාවනා කිරීම් ආදී උසස් පින්කම්වලට ද රටවැසියා නැඹුරු විය. භික්ෂූන් වහන්සේට වඳින්න, ගරු කරන්න, වැඩිහිටියන්ට සලකන්න, මවුපියන් වඳින්න, පුදන්න, සලකන්න යනාදී උසස් චාරිත්‍ර ධර්ම නිරන්තරයෙන් ම ජීවිතයට හුරු පුරුදු කර ගනු ලැබීය. පන්සල මුල්කොට ගෙන ජීවන චර්යාව පවත්වා ගෙන යෑමටත්, එහි ඇති චෛත්‍ය, බෝධි, බුදු පිළිම යන ත්‍රිවිධ චෛත්‍ය වැනි පූජනීය වස්තූන් දැක බලා වැඳ පුදා ධාර්මික සතුටක් ඇති කර ගැනීමටත් අමතක නොකළහ.

එම වන්දනීය වස්තූන්ගේ වටිනාකම ආදී ඇතුළත් විස්තර පාලි භාෂාව තුළින් ගාථාවලට නඟා පාඩම් කරන්නට ද, හුරු පුරුදු විය. ඒ සියල්ල පන්සල හරහා ජනතාවට ලැබුණු දායාද ය.

මහින්දාගමනයත් සමඟ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය නිසා බෞද්ධ ජනතාව ගමේ ආගමික තෝතැන්න ලෙස පන්සල කේන්ද්‍රස්ථානය කර ගත්තා පමණක් නොව, ඒ සඳහා ගම්වැසියන් සියල්ලට ම බිම වාඩි වී භික්ෂූන් වහන්සේගේ ධර්ම දේශනා ඇසීම උදෙසා පන්සලට ධර්ම ශාලාවකුත් ඉදිකර ගත්හ. එම ධර්ම ශාලාව බණ මඩුව කියා ව්‍යවහාර වූ අතර, බණ මඩුව ගම්වාසී ලොකු - කුඩා, ස්ත්‍රී - පුුරුෂ කවුරුත් ධර්මය ඉගෙන ගන්නා පාසල බවටත් පත් විය. පාසලේ ගුරුවරයා වූයේ ද භික්ෂූන් වහන්සේ යි. බණ අසන ලොකු කුඩා සියල්ලන් ම ඒ ගුරුවරයාගේ ශිෂ්‍යයන් බවට පත් වූහ.

එනිසා ගමේ නායකත්වය නිරායාසයෙන් ම පන්සලේ ලොකු හාමුදුරුවන්ට හිමි විය. පන්සලේ ලොකු හාමුදුරුවන්ට වඩා පඬිවරයකු ගමේ තවත් සිටියේ නැත. ගම් වැසියන්ගේ නඩු ඇසූ, ආරවුල් විසඳූ විනිශ්චයකාරයා වූයේ ද පන්සලේ හාමුදුරුවෝම ය. ගමේ ආරක්ෂකයා සේ ම ගමේ මුර දේවතාවා වූයේ ද පන්සලේ ලොකු හාමුදුරුවන් ම ය.

පන්සලේ ආභාෂයෙන් ගොඩනැඟුණු රාජ රාජ මහාමාත්‍යවරු ධාර්මික ප්‍රතිපත්තීන් ඔස්සේ ඒ ඒ තනතුරු දැරීය. ඒ අතර පරාක්‍රමබාහු, දුටුගැමුණු, වලගම්බා ආදී රජවරුන් නව මහල් ප්‍රසාද තනවන්නට, මහ වැව් ඉදිකරන්නට, වෙහෙර විහාර ගොඩනඟන්නට ආදි එම සියලු කලා ශිල්ප ඉගෙන ගත්තේ ගමේ පන්සල මූලික කොටගෙන ය.

පන්සල් සංස්කෘතිය ගොඩනැඟුණේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලද පන්නරය මතයි. ඒ අනුව සංස්කෘතිය, ශිෂ්ටාචාරය, සභ්‍යත්වය, අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් තුළ සුවිශේෂී පෙරළියක් ඇති කිරීමට පන්සල මුල් වූවාට කිසිදු සැකයක් නැත. එයට උදාහරණයක් ලෙස දෙවනපෑතිස් රජු සමඟ මිහිඳු මහරහතන් වහන්සේ කළ සාකච්ඡාව පෙන්වා දීමට පුළුවන. එම සාකච්ඡාව සිදු කළේ ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් ය.

මිහිඳු මහරහතන් වහන්සේ අඹ ගසක් මූලික කොටගෙන ඒ පිළිබඳ ඉතාම ලිහිල් භාෂාවකින් හා සරල ආකාරයකින් ප්‍රශ්න විචාරන ලද්දේ රජතුමාගේ බුද්ධි පරීක්ෂණයක් සඳහා ය. රජතුමා එම ප්‍රශ්න සියල්ලට ම නිසි ආකාරයෙන් පිළිතුරු දීම තුළින් රජුගේ උසස් බුද්ධිය පිළිබඳ තේරුම්ගත් මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා ගැන පැහැදීමකට පත් වී ධර්මය දේශනා කළහ. මිහිඳු මහරහතන් වහන්සේ එතුළින් සිදු කළේ රටේ එකල පැවති ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමක් නොව රටේ ප්‍රධානියා වන දෙවන පෑතිස් රජුගේ බුද්ධි මට්ටම පරීක්ෂා කර බැලීමකි. මෙය ලේඛනගත ඉතිහාසයෙහි සඳහන් ප්‍රථම බුද්ධි පරීක්ෂණය ද විය.

බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ බුද්ධි පරීක්ෂණය සිදු වූයේ ඊට බොහෝ කලකට පසුව ය. එහි ප්‍රතිඵලය වූයේ “විසුද්ධි මාර්ගය” වැනි අගනා ග්‍රන්ථයක් ලක් වැසියාට හිමි වීමය. ඊට අමතරව අටුවා රාශියක් ඇති වීමත් සිදු විය. මුලින් මතක් කරන ලද බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵලය වූයේ ලක්වාසීන් බෞද්ධ ජනතාවක් බවට පත්වීම යි. රට වැසියා බුද්ධාගම වැලඳ ගැනීම යි. පන්සල මුල් වී රට වැසියාට සෑම අංශයකින්ම දියුණුවක් ලබා ගැනීමට හැකි වූ බව කීමට පුළුවන.

ඉල් අමාවක

දෙසැම්බර් 12 අඟහරුවාදා පූ.භා. 06.25 න් අමාවක ලබා 13
බදාදා පූ.භා. 05.03 න් ගෙවේ.
12 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]