[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පංචකාම ලෝකය අත්පත් කර ගැනීමේ උත්සාහය අනවරත දුක් සමූහයක ඇරඹුම යි

පුද්ගල සන්තානය හෙවත් සිත අනාදිමත් කාලයක් තිස්සේ විවිධ කෙලෙස් ධර්ම හේතුවෙන් කිලිටි වීම ස්වභාවික ය. එසේම සුගතිය හෝ දුගතිය තීරණය වන්නේ චිත්ත පාරිශුද්ධත්වය අනුව ය. බුදුරජාණන් වහන්සේ වදාළේ සිත අපිරිසුදු වීම හේතුවෙන් දුගතියත්, සිත පිරිසුදු වීමෙන් සුගතියත් තීරණය වන බවයි (චිත්තේ සංකිලිට්ඨෙ දුග්ගති පාටිකංඛා චිත්තේ අසංකිලිට්ඨෙ සුග්ගති පාටිකංඛා). එසේම සිත අපිරිසුදු වීමෙන් පුද්ගලයා අපිරිසුදු වන බවත්, (චිත්ත සංකිලෙසා සත්තා සංකිලිස්සන්ති) සිත පිරිසුදු වීමෙන් පුද්ගලයා පිරිසුදු වන බවත් (චිත්ත වෝදානා සත්තා විසුජ්ඣන්ති) වදාළ බුදුරජාණන් වහන්සේ, කෙනකුගේ සුද්ධිය හෝ අසුද්ධිය නැතහොත් ආධ්‍යාත්මික පිරිසුදු බව හෝ අපිරිසුදු බව තීරණය වන්නේ අදාළ පුද්ගලයාට සාපේක්‍ෂව බවත් පැහැදිලි කළහ. ඒ අනුව කිසිවකුටත් තවත් කෙනකු පාරිශුද්ධත්වයට පත් කළ නොහැකි බව පැහැදිලි කරුණකි. බුදුරදුන් වාදාළ පරිදි කෙනකුට තවත් කෙනකුට උපදෙස් දීමෙන් හෝ මඟ පෙන්වීමෙන් සහය විය හැකි වුව ද ගලවා ගැනීම හෝ පිරිසුදු කිරීම කළ නොහැකි ය. තථාගතයන් වහන්සේ ද අනුශාසනා කළේ තමන් වහන්සේ මඟ පෙන්වන මාර්ගෝපදේශකයකු මිස මඟ කැඳවා ගෙන යන්නකු නොවන බවයි. මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ සිත පිරිසුදු වීම හෝ අපිරිසුදු වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ එම පුද්ගලයා ම මිස වෙනත් අයකු නොවන බවයි. මෙනිසා සිත පිරිසුදු කිරීමේ කාර්යය පුද්ගලික කාර්යකි. සිත පිරිසුදු කිරීම එතරම් පහසු කාර්යයක් නොවන්නේ එය අනාදිමත් කාලයක සිට අපිරිසුදු වෙමින් පවතින හෙයිනි. බුදුරදුන් වදාළ විමුක්ති මාර්ගය ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් පරිසමාප්තියට පත්වන්නකි. එහි අවසාන ප්‍රතිඵලය නම් අංශ තුනකින් පරිපූර්ණත්වයට පත් ප්‍රබුද්ධ පුද්ගලයකු නිර්මාණය කිරීම ය. පරිපූර්ණ සදචාරයෙන් ද (ශීල), පරිපූර්ණ මානසික ඒකාග්‍රතාවෙන් ද (සමාධි), පරිපූර්ණ ප්‍රඥාවෙන් ද (පඤ්ඤා) එම ප්‍රබුද්ධ පෞරුෂය පරිසමාප්තියට පත්ව තිබේ.


ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]