[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිසි ලෙස අවබෝධ කර ගත යුතු අභය දානමය ධර්ම සංකල්පය

නිසි ලෙස අවබෝධ කර ගත යුතු අභය දානමය ධර්ම සංකල්පය

අභය දානය යනු සෑම තැනකම විහිදුණු දෙයක්. එහි විශේෂ අවස්ථාවක් ලෙස ගවයන් නිදහස් කිරීම, මරණයට කැපවුණූ කිරිගවයන් නිදහස් කිරීම සහ වෙනත් සතුන් නිදහස් කිරීම පෙන්වා දිය හැකියි. නමුත් අභය දානය යන්නෙන් කිරිගවයන් නිදහස් කිරීම පමණක් අදහස් නොකෙරේ. අපි සතුන් නිදහස් කරන්නේ ඇයි? සත්තු නිදහස් කරන්නේ මිනිසුන් විසින් එම සතුන් මරන නිසයි. මිනිසුන් සතුන් මරන්නේ නැති නම් ඔවුන්ව නිදහස් කර ගැනීමට අවශ්‍ය නැහැ

දානය යනුවෙන් අදහස් වන්නේ දීමයි. එම දානයේ විවිධ අවස්ථාවන් දැකිය හැකියි. එනම්, ආමිස දානය, අභය දානය, ධර්ම දානය යනාදී වශයෙන් තවදුරටත් එය විග්‍රහ කරගත හැකියි.

එම දානමය අවස්ථා අතරින් අභය දාන සංකල්පය පිළිබඳ බුද්ධ දේශනාව ඉතාම වැදගත් වෙනවා. වර්තමාන සමාජය තුළ අභයදානය පිළිබඳ කතාබහ කිරීමේ දී මිනිසුන්ගේ මතකයට නැඟෙන්නේ කිරි ගවයන් නිදහස් කිරීම, මරණයට නියම වූ සතුන් මුදාගැනීම ආදී අවස්ථාවන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අනුව අභය දානය කියන්නේ කුමක්ද?

අභය දානය පිළිබඳ ව බුද්ධ දේශනාව සොයා බැලීමේ දී අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ දී මෙවැනි ආකාරයට සඳහන් වෙනවා.

“ඉධ භික්ඛවේ, අරියසාවකො
පාණාතිපාතං
පහාය පාණාතිපාතා පටිවීරතෝ
හොති – පාණාතිපාතා
පටිවීරතෝ භික්ඛවේ
අරියසාවකො අපරිමාණානං
සත්තානං අභය දෙති, අවේරං
දෙති
අව්‍යාපජ්ඣං දෙති
අපරිමාණානං සත්තානං අභයං
දත්වා අවේරං දත්වා
අඛ්‍යාපජ්ඣං දක්වා
අපරිමාණස්ස අභයස්ස
අවෙරස්ස අඛ්‍යාපජ්ඣස්ස භාගී හොති
ඉදං භික්ඛවෙ පඨමංදානං
මහාදානං අග්ගඤ්ඤං
රත්තඤ්ඤං වංසඤ්ඤං
පොරාණං අසංකිණ්ණං
අසංකිණ්ණපුබ්බං නසංකීයති න
සංකියිස්සති අප්පතිකුට්ඨං
සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි

මේ ලෝකයේ ආරිය ශ්‍රාවකයා ප්‍රාණඝාතයෙන් තොරව ජීවත් වේ නම් ඔහු අප්‍රමාණ වූ සත්ත්වයන්ට අභය දානය දෙනු ලබනවා. අවෛරය දෙනු ලබනවා. නිදුක් බව දෙනු ලබනවා. ඒ නිසා අපරිමාණ සත්ත්වයන්ට අභය දී, අවෛරය දී, අවෛරයේ දී නිදුක් බව දීමට ක්‍රියා කරන පුද්ගලයා අපරිමාණී වූ අභය ලබනවා.

අභය දානය යනු උතුම්ම දානයක්. මෙය පාරම්පරිකව සිදු කරනු ලබන උතුම් දානයක්. ශ්‍රමණයන් විසින්, බ්‍රාහ්මණයන් විසින් ද (මෙහිදී බ්‍රාහ්මණ යනුවෙන් අදහස් කරනු ලබනුයේ රහතන් වහන්සේ.) පණ්ඩිතයන් විසින් සැකයක් කරන්නේ නැති, පිළිකුල් කරන්නේ නැති උතුම් දානය අභය දානයයි.

ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් සොරකම් කරන්නේ නැති නම්, කාමයෙහි වරදවා හැසිරෙන්නේ නැති නම් බොරු කියන්නේ නැති නම්, සුරාමේරයෙන් වැළකී සිටින්නේ නම්, ඔහු සිදු කරනු ලබන්නේ අනෙකාට අභය දීමක්.

අප ජීවත්වන ලෝකය තුළ සතුන් මරන, මිනිසුන් ඝාතනය කරන මිනිසුන් සිටිනවා. එම පුද්ගලයන්ට අපි කෙතරම් බියක් දක්වනවා ද? සමාජය තුළ මිනීමැරුම් සිදු නොවේ නම්, එබඳු සමාජයක බියකින් තොරව තම ජීවිත ගත කිරීමට හැකි වෙනවා.

වර්තමාන සමාජයේ මිනිසුන් ගෙවල් දොරවල්වලින් එළියට පැමිණි විට කොයිතරම් බියකින් ද සිටින්නේ. තමන්ගේ නිවස සොරුන් බිඳී දැයි ද ඔවුන් සිටින්නේ බියෙන්. ඒ නිසා සොරකම් නොකරන පුද්ගලයා සමාජයට අභය දානය දෙනු ලබනවා.

මේ ආකාරයට ප්‍රාණඝාතය සිදු කරන, සොරකම් කරන, කාමයේ වරදවා හැසිරෙන, බොරු කියන අය නිසා මිනිසුන් කොයිතරම් බියෙන්ද සිටින්නේ. එම පුද්ගලයන් එබඳු දුෂ්චරිතයෙන් වැළකී සිටීමෙන් හෙවත් නොකර සිටීමෙන් සමාජයට අභය දානය දිය හැකියි කියා ඔවුන් සිතනවා නම් ඔවුන් කෙතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් විය හැකි ද?

එම ශ්‍රේෂ්ඨත්වය හරහා විශිෂ්ට සමාජයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව උදාවෙනවා. එවැනි සමාජයක මිනිසුන් සිටින්නේ සතුටින්. දුක් මහන්සියෙන් හම්බ කරගත් දේ යම්කිසි හේතුවක් නිසා මොහොතකින් අහිමි වෙන්න පුළුවන්. ඒ පිළිබඳ ව බියකින් පසුවෙයි නම්, එතැන සතුටක් නැහැ. එම නිසාම බියෙන් නොපෙළෙන සමාජයක් ගොඩනැඟීමට දයාක වීම අභයදානය දීමක් හා සමානයි. අභය දානය පිළිබඳ ව නිවැරැදි අර්ථය තේරුම් බේරුම් කර ගත හැකි නම්, සෑම පුද්ගලයකුටම විශාල කුසලයක් කර ගත හැකියි. ඍජුව ම සඳහන් කරනවා නම්, යම් පුද්ගලයකු පංචශීලය ආරක්ෂා කරන්නේ නම්, ඔහු සිදු කරනු ලබන්නේ සමාජයට අභය දානය දීමක්.

වර්තමාන සමාජයේ ඇතැම් පුද්ගලයන් ඇතැම් පුද්ගලයන්ට වෛර කරනවා. එබඳු වෛරී සමාජයක අපට අවෛරීව ජීවත් විය හැකි නම්, එතැන සිදු වන්නේ අභය දීමක් වෛරී සමාජයක අවෛරීව කටයුතු කිරීමෙන් අභය දානයේ හිමිකාරයකු විය හැකියි.

මේ අනුව අප අවබෝධ කර ගත යුත්තේ අභය දානය යන්න බුදු දහමේ දැක්වෙන ඉතා පුළුල් සංකල්පයක් බවයි. වර්තමාන සමාජයේ කෙතරම් ධර්මය ශ්‍රවණය කළත් අද සමාජයේ ඇති වී තිබෙන්නේ දැඩි පිරිහීමක්. එම ස්වභාවය තුළ අප කියන දේ සියයට සියයක ප්‍රතිශතයක් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙත් අභය දානය නමැති, උතුම් සංකල්පය නිවැරැදිව අවබෝධ කර ගැනීමෙන් සමාජගත ජීවිතය කෙතරම් අර්ථවත් කර ගත හැකි ද?

අභය දානය නමැති ධර්ම සංකල්පය නිසි ලෙස අවබෝධ කර ගැනීමෙන් කී දෙනකුට අභය දානය දීමට හැකියාව පවතිනවා ද? එයයි අප තේරුම්ගත යුත්තේ, ක්‍රියාත්මක කළ යුත්තේ, අභය දානය යනු සෑම තැනකම විහිදුණු දෙයක්. එහි විශේෂ අවස්ථාවක් ලෙස ගවයන් නිදහස් කිරීම, මරණයට කැපවුණූ කිරිගවයන් නිදහස් කිරීම සහ වෙනත් සතුන් නිදහස් කිරීම පෙන්වා දිය හැකියි. නමුත් අභය දානය යන්නෙන් කිරිගවයන් නිදහස් කිරීම පමණක් අදහස් නොකෙරේ. අපි සතුන් නිදහස් කරන්නේ ඇයි? සත්තු නිදහස් කරන්නේ මිනිසුන් විසින් එම සතුන් මරන නිසයි. මිනිසුන් සතුන් මරන්නේ නැති නම් ඔවුන්ව නිදහස් කර ගැනීමට අවශ්‍ය නැහැ.

අද ඇතැම් පුද්ගලයන් එළවළු, පලතුරු කල්තබා ගැනීම සඳහා නොයෙක් ආකාරයේ වස විස භාවිත කරනවා. මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය එක් කරනවා. ඔවුන් මේ දේ් කරනු ලබන්නේ තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යාමටයි.

නමුත් තමන් කරන දෙයින් අනුන්ගේ ජීවිතය විනාශ වෙනවා නේද? කියලා කල්පනා කළොත් එම පුද්ගලයන්ම එම වැරැදි ක්‍රියාවෙන් ඉවත් වෙනවා පමණක් නොවෙයි අන් අයට අභය දිය හැකියි.

ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ සිදු කරනු ලබන්නේ බරපතළ අකුසල කර්මයක්. වැඩි ලාභයක් ලැබීමේ අපේක්ෂාවෙන් එවැනි දේ සිදු කළත්, අඩු ලාභයක් තියාගෙන වෙළෙඳාමක් කර ගෙන යනවා නම්, ආධ්‍යාත්මික සුවයක් ලැබිය හැකියි.

අද පිළිකා රෝගය වැඩි වෙලා තිබෙනවා. පිළිකා වැඩි වීමට හේතුව අපි ගන්නා ආහාරවල පවතින ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර බව හෙළි වී තිබෙනවා. එබඳු අකුසල් කර්ම රැස්කර ගන්නවාට වඩා ආධ්‍යාත්මික සුවයක් ගෙන දෙන වෙළෙඳාමක් තුළින් සමස්ත සමාජයට ම අභය දානය ලබා දිය හැකියි.

ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]