ඇසළ අව අටවක පෝ දා 2023-08-08
පවෙහි විපාක පසුපස ම එනවා
යම් සමාජයක අයහපත් දේ, නරක දේ බොහෝ කොට සිදුවෙනවා නම් ඉන් ගම්‍ය වන්නේ එහි
ජීවත්වන්නෝ වැඩි දෙනෙක් පාපයට බිය නොවන බව ය.
කෙනෙක් තවත් කෙනකුගේ ජීවිතය, දේපළ උදුරා ගන්නවා නම්, කාමය වරදවා හැසිරෙමින් තමනුත්
ගිනි ගොඩක වැටී අනුන් ද ඒ ගිනි ගොඩට ම හෙළනවා නම්, බොරුවෙන් ලෝකය රවටමින් තමන්ගේ
අභිමතාර්ථය ඉටු කර ගන්නට වෙර දරනවා නම්, මත්ද්‍රව්‍ය, මත්වතුර පරිහරණය කරමින් මදයට
ප්‍රමාදයට පත්වෙමින් තමන් ද වැනසී, අනුන්ගේ ද වැනසීමට පාර කපනවා නම් ඒ පාප කර්මයන්
හි විපාක ඇස්පනාපිට ම පල නොදුන්න ද කවර මොහොතක හෝ තමන් පසුපස පැමිණෙනු ඇත.
තථාගතයන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ පංචශීලය හෝ ආරක්ෂා කර ගත නොහැකි තැන වන විනාශය
සුළුපටු නැත. එසේ වන කල අනිකුත් පාප කර්මයන් ගැන කවර කතා ද?
ඇතැම් විට යම් කෙනෙක් පාපයෙහි බිය නොදකින්නේ, පව්කම් ගැන නොසලකන්නේ කළ මොහොතෙහි ම
එහි නරක විපාක පෙන්නුම් නොකිරීම නිසා විය හැකි ය. සම්බුද්ධ දේශනාව නම් දෙවූ විගසම
කිරි නොමිදෙන්නා සේ පාපය ද කළ විගස විපාක නොදෙන බව ය.
න හි පාපං කතං කම්මං - සජ්ජු ඛීරං ව මුච්චතී
ඩහං තං බාලමන්වෙති - භස්මච්ඡන්නො ව පාව කො යනුවෙන් ඒ බව ධම්මපදයේ බාල වග්ගයේ දී
විස්තර කරයි.
මෙම ධම්ම පද ගාථාවට පසුබිම් වූ කතාව පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පාපයෙහි බිය
නොගන්නා, පව් නොසලකන ඕනෑම කෙනකුට තමන් ගොඩගසා ගන්න පව් කඳු නිසලව සිට දිනෙක විදාරණය
වන ගිනි කන්දක් සේ තමන් දවමින් තවමින් පසු පස ඒ ම වැළැක්විය නොහැකි බව තේරුම් ගත
හැකි වනු ඇත.
රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ සිටි මහා මොග්ගල්ලාන තෙරුන් හා ලක්ඛණ තෙරුන් දිනක්
පිඬු පිණිස ඉන් බැහැරට වැඩම කරමින් සිටියහ. අතරමඟ දී නාගයකු වැනි සිරුරක් ඇති
පේ‍්‍රතයකු දුටුවහ. මේ පේ‍්‍රතයාගේ හිස මිනිස් හිසක් වැනි ය. සිරුර සියක් ගවු තරම්
ය. ඉතිරි අඟ පසඟ නාගයකුගේ සේ ය. වඩාත් බියජනක වූයේ හිසින් නැඟුණ ගිනිදැල් කඳ, නඟුට
දක්වා ද, නඟුටින් නැඟි ගිනි දැල් කඳ හිස දක්වා ද දැවී යෑම ය. මැදින් පැතිරුණ
ගිනිදැල් දෙ දිසාව ම දැවීම ය. මේ දුටු මොග්ගල්ලාන තෙරුන් වහන්සේ පව් කළ සතුන් උපදින
සැටි සලකමින් වැඩි සේක.
මෙලෙස පේ‍්‍රතාත්මයක් ලැබ අපමණ දුක් පීඩා විඳින්නට මොහු කළ පාපයේ තරම පිළිබඳ
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. පෙර බරණැස්නුවර පසේ බුදුරජාණන් වහන්සේ නමකට
දානමානාදිය, මල් සුවඳ සඳුන් ගෙන ගිය සැදැහැවතුන් පිරිසක් වූහ. ඔවුහු වෙහෙරට යන මඟ
වූයේ කුඹුරක් මැද ය. සැදැහැවතුන්ට පෑගි ගොයම ද ටික ටින විනාශ වුණි. එම ගොවියාට මේ
ගැන කනගාටු ය. ඒ ගමන් මඟ වළක්වන්නට වෑයම් කළ ද පලක් නොවුණි. හෙතෙම දැඩි කෝපයට පත්
විය. දැන් ගොවියාගේ සිතට එන්නේ පලිගැනීමේ සිතිවිලි ය. ඔහුට පසේ බුදුරදුන් කෙරෙහි
වෛරී සිතක් ඇතිවුණි. මේ පන්සල නොමැති නම් මගේ කුඹුර ද රැකේ යැයි සිතු ඔහු පසේ
බුදුරදුන් පිණ්ඩපාතයෙහි වැඩි කල්හි වහා එහි ගොස් පන්සල ගිනි දැල්වීය. පසේ බුදුරදුන්
වෙනත් තැනකට වැඩියහ. ඒ මහා පාපයේ විපාකය ඔහු පසුපස ම ඇදුණි. අනේක අපා දුක් විඳ
පේ‍්‍රතව ඉපැදුණි.
මේ කතා පුවත අපට කියන්නේ පාපයේ අයහපත් විපාකයෙන් ගැලවිය නොහැකි බව ය. වත්මන්හි
විවිධ සමාජ ආර්ථික ප්‍රශ්න හමුවේ වැඩි දෙනෙක් විවිධ පාප කර්මයන්ට වැඩියෙන් නැඹුරු
වන සෙයක් පෙනෙන්නට තිබේ. තමන් කර ගන්නා අනර්ථය තමන්ට ම ය. එහෙයින් සුළු වූ ද,
පාපයෙහි බියව සිත, කය, වචනය රැක ගන්නට නිරන්තරයෙන් උත්සාහ කළ යුතු ය. |