[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ආතතිය ඇතිවූ තැන ජීවිතය විඳිනවා වෙනුවට විඳවන්නට වෙනවා

ආතතිය ඇතිවූ තැන ජීවිතය විඳිනවා වෙනුවට විඳවන්නට වෙනවා

සම්බුද්ධ දේශනාවට අනුව අපට ලද හැකි පරම ධනය නම් සතුටයි. එහෙත්, මේ සමාජයේ ජීවත්වන මිනිසා බලාපොරොත්තුවන සතුටත්, ධර්මයෙහි විග්‍රහවන සතුටත් අතර වෙනසක් පවතිනවා. එක් පුද්ගලයකුට සතුටු සහගත දෙයක්, තවත් පුද්ගලයකුට අසතුටක් විය හැකියි. ඒ වගේ ම යම් පුද්ගලයකුට අසතුටුදායක දෙයක් තවත් පුද්ගලයකුගේ සතුට විය හැකියි. මේ සමාජයේ සම්පත් සීමිතයි. මේ සීමිත සම්පත් බෙදෙන විට පුද්ගලයා තුළ පවතින අසීමිත ආශාවන් හේතුවෙන් නිරන්තර ගැටීමක් ගොඩනැඟෙනවා. සීමිත සම්පත් අසීමිත ආශාවන් අතර බෙදී යෑම නම් වූ ගැටලුව මත පුද්ගලයා මානසිකව අසහනයට, අසතුටට ලක්වෙනවා.

විශේෂයෙන් ම කෙලෙස් නිසා පුද්ගලයා තුළ පවතින සතුට නැති වෙනවා. ඒ වගේ ම ලෝභය, ද්වේෂය, මෝහය, පටිඝය, රාගය, ක්‍රෝධය, වෛරය යන කරුණු මත ද සමහර අයකුට සතුට නැති වෙනවා. සතුට යන්නේ සැබෑ අර්ථය තේරුම් ගත් පුද්ගලයා භෞතික සම්පත් පසුපස ම දුවන්නේ නෑ. සතුට ගැන ඇසළ පුර පසළොස්වක පෝදා සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කළ ලිපියේ ඉතිරි කොටසයි මේ.

ස්වාමීන් වහන්ස සමහරු ආතතියෙන් අසහනයෙන් පෙළෙන්නේ හැමදේම මුදල මත, නම්බුනාම, බලතල නිලතල මත මැනීම නිසා නේද?

මැනීම නම් මානයයි. තවත අයෙක් සමග සසඳන විට තමන් බලසම්පන්න ද? දුප්පත් ද? පොහොසත් ද, උගත් ද – නූගත් ද යන මැනීම කියන කාරණාව නිසා ආතතිය නිර්මාණය වෙනවා.

ධර්මානුකූලව ආතතිය යැයි පවසන්නේ අසුබවාදී වීම සහ යථාර්ථයෙන් ඉවත් වීමයි. යථාර්ථය මත ජීවත්වීම වෙනුවට එයින් ඉවත්ව කටයුතු කරනවා. එලෙසම පවතින තත්ත්වය පිළිබඳ අසුබවාදීව සිතනවා. මේ හොඳම ආකාරය යැයි හිතනවා. තිබෙන තත්ත්වයට වඩා වෙනස් තත්වයක් තිබිය යුතුයි කියා යථාර්ථයෙන් ඉවත් වෙනවා. ඒ වගේ ම ඒ පිළිබඳ අසුබවාදීව කල්පනා කරනවා.

අසුබවාදීව කල්පනා කරන විට එතැන ආතතිය නිර්මාණය වෙවා. ආතතිය නිර්මාණය වූ විට මිනිසා තමන්ගේ ජීවිතය විඳිනවා වෙනුවට විඳවනවා.

කෙනෙක් ධනය, බලය, රැකියාව, ගරුනම්බුනාම මත තව කෙනෙකුට ගරු කරන්න මැලිවෙනවා. මිල – මුදල්, තනතුරු – තානාන්තර පසුපස්සේ හඹායනවා. පඬුරු – පාක්කුඩම් මත තමන්ගේ සේවාවන් සපයනවා. අවංකව ම ආත්මතෘප්තිය ලබන්න බැරි ආකාරයට ජීවිතය නඩත්තු කරනවා. ඒක වෙනම ම ජීවිතයක්. මේ වෙනම ම ජීවිතයක් නඩත්තු කරන්න, නඩත්තු කරන්න ඒක මනසට අසහනයක්.

සමහරු ජීවත් වන්නේ මවාගත් ලෝකයක බව වර්තමානයේ වැඩි වශයෙන් පෙනෙන්නට තිබෙනවා නේද? ස්වාමීන් වහන්ස,

ප්‍රකෘතියෙන් ජීවත්වීමයි, මවාගත් ලෝකයක එසේත් නැතිනම් ආරෝපණය කරගත් ජීවිතයයි අතරේ ලොකු වෙනසක් පවතිනවා. එවන් ජීවිතයක් ගතවන්නේ හැම වෙලාවක ම ආයාසයෙන්. ඒ වෙනුවෙන් මහා වෙහෙසක් දරන්නට වෙනවා.

සමහරු තමන්ට නැති බව, අල්ප බව පෙන්වන්න අකැමැතියි. මෙහි අවසානය දුක්ඛිතයි. තමන්ට කරන්නට බැරි තරම් අනවශ්‍ය ආකාරයට තමන්ගේ උරමත බර පටවා ගන්නවා. පිනට ලැබුණ මිනිස් ජිවිතය පවට නැඹුරු කරමින්, නොකළ යුතු වෙළදාම්වලට පත්වෙමින්, නොකිය යුතු දේ කියමින්, නොගත යුතු තීන්දු ගනිමින් කටයුතු කරන්නේ මේ කියන භෞතික සැප සම්පත් මහ ඉහළින් තමන්ගේ කර ගන්නා නිස යි.

ඒ නිසා කෙනෙක් සතුට – සැනසීම බලාපොරොත්තු වන්නේ අපේක්ෂා කළ ගරු – නම්බුනාම, මිල – මුදල් මත නම් ඒ ඇත්තන්ට කවදාවත් මේ ලෝකයේ සතුටක් පවතින්නේ නැහැ.

තමන්ට ලැබුණ දේ බෙදා හදා ගෙන තමනුත් මේ ජීවිතයේ එක මනුස්සයෙක් පමණයි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ මේ කටයුතු කරන්න අවශ්‍යයයි, කියා හිතපු කෙනකුට පමණයි සදාකාලිකව සැනසිම, සතුට කියන එක අත්වූයේ. නැති නම් ආතතිය, බින්නෝන්මාදය වැනි මානසික රෝගාබාධ වැළැඳී ජිවිත අකාලයේ විනාශයට පත්වීම මේ සියලු කාරණා තුළ දකින්නට පුළුවන්කම තියෙනවා.

සැබෑ සතුටේ සැනසීම ස්ථිරද?

“නිබ්බානං පරමං සුඛං” සැබෑම සතුට කියන්නේ බුදු දහමට අනුව නම් නිබ්බානයයි. ඒ අනුව ලැබූ ජීවිතය වින්දනය කිරීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ.

“නතේ කාමායනා චිත්තානි ලෝකේ සංකප්පරාගෝ, පුරුෂත්ථ කාමෝ” කාමය, රාගය කියන්නේ මිනිසාගේ සිතේ ඇතිවන සිතිවිල්ලක්.

සංඛපංඡ මානවකයා තමන්ගේ පෙම්වතියගේ ගුණ ගායනා කරද්දී බුදුරජාණන් වහන්සේ එය අගය කළා. එතැන කාමයට, රාගයට එහා ගිය සෞන්දර්යයක් තිබුණා.

ඒ වගේ ම මේ ලෝකයේ ධාර්මික විනෝදාස්වාදයක් ලබන්න තමන් ධාර්මිකව ඒ විනෝදය ලැබීම පිළිබඳ විවේචනය කළේ නැහැ.

අනේපිඬු සිටුතුමා ව්‍යාපාරිකයෙක්. ඒත් සෝවාන්ඵල ලැබූ කෙනෙක්. බිම්බිසාර රජතුමා රජ කෙනෙක්. එහෙත් සෝවාන් ඵල ලැබු කෙනෙක්. විශාඛාව පංචකල්‍යාණයෙන් යුතු අම්මා කෙනෙක්. එහෙත් සෝවාන් ඵල ලැබූ උතුම් කාන්තාවක්.

තමන්ගේ ධාර්මික විනෝදය, ධාර්මික ජීවිතය, සුවපහසු පැවැත්ම නිර්මාණය කළා යැයි ඔවුනොවුන්ගේ චරිත දූෂණය කර ගත්තේ නැහැ.

සතුට කියන දේ යමෙක් තලා පෙළා, යමකුගේ දෙයක් උදුරාගෙන, කේළමෙන්, ඕපාදූපයෙන් ප්‍රශස්තිවලින් ලැබිය හැකි දෙයක් නොවේ. එසේ ලබන සතුට කෙටි කාලීනයි. ධාර්මිකව තමන්ගේ ගුණ ධර්ම ප්‍රගුණ කරන ගමනේ, ධාර්මික විනෝදාස්වාදය ලබන්න පුළුවන්.

ආස්වාදය විඳින්න, හැබැයි එහි ආදීනව තේරුම් ගන්න. තේරුම් ගත් ආදීනව සමඟ නිස්සරන ඉවත් වෙනවා. අන්න ඒ පදනම මත කටයුතු කරන්න පුළුවන් නම්” නිබ්බානං පරමං සුඛං’ ලැබීම ඉතාම පහසුයි. ඒ වෙනුවෙන් තමන්ගේ දෛනික ජීවිතයට ධර්මය එකතු කර ගන්න ඕනෑ.

සතුට දෙලොවට ම සුව දෙන්නේ කොහොමද?

“පසන්නචිත්ත” සූත්‍රයේ දී පෙන්වා දෙනවා. ප්‍රසන්න සිතක් සහිතව මරණයට පත්වන යමෙක් වේ ද ඔහුට සුගතිගාමී උපතක් ලබන්න පුළුවනි. යමෙක් මෙලොව ජීවත්වන්නේ දුකින්, ආවේගයෙන්, වෛරයෙන් නම්, මරණයට පත්වන විටත් චුති සිතත් ඒ හා සමානයි නම් ඔහුට හිමි වන්නේ දුගතිගාමී උපතක්.

“සතුට” කියන්නේ එක් පැත්තකින් පිනක්. හදවත පිනායෑම ම යි පින කියන්නේ. හැම මොහොතක දි ම පින් වැඩෙන ජීවිතයක් පවත්වා ගෙන යන අයෙක් මරණයට පත්වන මොහොතේදීත් පින් වැඩෙන ආකාරයට ජීවත් වෙනවා නම් ආසන්න කර්මය යහපත් වූ විට “මට්ටකුණ්ඩලීට” ලැබුණ සුගතිය ලබන්න පුළුවනි.

ආසන්න කර්මය අයහපත් නම් “මල්ලිකාවට” ලැබුණ වගේ දුගතිය ලබන්න සිදුවෙනවා. යම් වූ කුඩා කාලයක් හෝ ධර්මාශෝක රජතුමාට ලැබුණ දුගතිය ලබන්න වෙනවා.

අන්න ඒ නිසා මෙලොව සතුටු වෙන ඇත්තෝ මෙලොව වගේ ම සංසාරිකවත් සුගතිගාමී වෙනවා, කියන දේ ධර්මානුකූලව බුදු දහමේ පැහැදිලි කළ කාරණා එක්ක ගළපා ගන්න අවශ්‍යයයි.

ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]