[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෙවියන් පවා සීල ගුණයට නමස්කාර කරනවා

දෙවියන් පවා සීල ගුණයට නමස්කාර කරනවා

" උපසම්පදා වන හැම භික්ෂුවක් ම තමන්ගේ ආචාර්යයන් වහන්සේ හෝ උපාධ්‍යායන් වහන්සේ යටතේ අවුරුදු පහක් වත්පිළිවෙත් හා විනය පුරුදු පුහුණු වෙන්න ඕන. උන්වහන්සේ ඒ සියල්ල ඉතා හොඳින් ඉගෙන ගත්තා. පුරුදු පුහුණු වුණා."

අද වගේම අතීතයෙත් ලංකා ද්වීපයේ හැම තැනම වෙහෙර විහාර ඉදිවෙන්න පටන් ගත්තා. බලන බලන හැම අතම පෙනෙන්න තිබුණේ සුදෝ සුදු පාටින් බබළන මහා දාගැබ්. බෝධීන් වහන්සේ, පිළිම වහන්සේ හැම වෙහෙරකම ඉදිවුණා.

හැම විහාරයක ම භික්ෂූන් වහන්සේ වැඩ සිටියා. ඒ නිසා ම හැම විහාරයක්ම කසාවතින් බබළන්න පටන් ගත්තා. රටවැසියාත් බොහොම සතුටින් දන් පැන් පූජා කළා. විහාරයට ගොඩවෙලා ධර්මය ශ්‍රවණය කළා. භාවනා කළා.

විහාර ගොඩනඟලා තිබුණු හැම භූමියක් ම ඉතාමත් ම අලංකාරයි. ඒ විතරක් නොවෙයි ලංකාවේ හැම තැනම ඇළ දොළ ගංගා ගලා ගියා. ගස්වැල් මල්- ඵලවලින් පිරී තිබුණා. ජීවත් වෙන්න පුළුවන් හොර බොරු වංචා නැති මෛත්‍රීය පිරුණු, ආගන්තුක සත්කාර දන්න මිනිසුන් ජීවත් වන රටක් ය යන කීර්තිය ලෝකයේ හැම රටක ම පැතිරිලා ගියා.

මේ පුවත අහන්න ලැබුණා දඹදිව එක් ගමක ජීවත් වුණු විශාඛ නම් කෙළෙඹි පුත්‍රයකුට. මොහු හරිම දක්ෂයි. ඒ වගේම හරිම උත්සාහවන්න කෙනෙක්. විවාහ වෙලා දරුවන් හැදුවා. පෝෂණය කළා. දෙමාපියන්ටත්, ඥාතීන්ටත්, අසල්වැසියන්ටත් හොඳට සැලකුවා. දුකට සැපට පිහිට වුණා.

ලංකාවේ කීර්තිය ගැන ඔහුට අහන්න ලැබුණ දවසේ හිතුණා ලංකාවට ගිහින් පැවිදි වෙන්න. දවසක් බිරිඳත්, දරුවනුත් ළඟට කැඳවා ‘දරුවනි, මම ලංකා ද්වීපයට ගිහින් උතුම් පැවිද්ද ලබාගෙන, මේ සසරින් එතෙර වීමේ මාර්ගය සොයන්න තීරණය කළා. මම බොහොම දුක සේ හම්බකළ මේ මාලිගා, වාහන, මිල මුදල් ඇතුළු මගේ යැයි සැලකෙන හැම වස්තුවක් ම අද සම සේ බෙදා දෙනවා. මවත් හොඳින් බලාගෙන ජීවත් වෙන්න’යි.

එදාම වස්තුව දරුවන්ට සම සේ බෙදා දුන්නා. නැව් ගාස්තුවට පමණක් එක කහවණුවක් ඉනේ රඳවාගෙන පසු දිනම නැව් තොටට පිටත් වුණා. නැවට ගොඩවෙලා ‘ලංකාවට යන්න ඕන’යි කියා සිටියා.

‘නැව පිටත් වෙන්නේ තවත් හරියට ම මාසයකින්’යි නැව් ප්‍රධානියා පිළිතුරු දුන්නා. දරුවන්ටත්, ඥාතීන්ටත්, අසල්වැසියන් හා යහළුවන් ආදී සියලු දෙනාටමත් තමා ලංකාවට යන බව කියා පැමිණි නිසා නැවතත් ගමට යන්න නම් හිත ඉඩ දුන්නේ නෑ. විශාඛ කල්පනා කළා මාසයක් ම නැව් තොටට වෙලා කල්ගත කරලා ලංකාවට යන එක හොඳයි කියා. ඉතින් කෑම බීම ආදියත් සපයා ගන්න ඕන. ඉන්න තැනක් සොයා ගන්නත් ඕන. මේ හැම කටයුත්තකට ම මුදල් ඕන නිසා තීරණය කළා පුංචි වෙළඳාමක් කරන්න.

නැව් ගාස්තු වශයෙන් අරගෙන ආපු කහවණුව වියදම් කරලා වෙළඳාම් කරන්න පටන් ගත්තා. විශාඛට වෙළඳා ම ගැන තිබුණේ පුදුම දැනුමක්. ඉතා ඉක්මනින්ම මාසයක් ගත වෙන කොට කහවණු දහසක් උපයා ගත්තා. කෑම-බීම, කුලී නිවාස ගාස්තු, සහ නැති-බැරි යහළුවන්ට හා දුගීමඟීන්ටත් වියදම් කර තවත් කහවණු දහසක් ඉතිරි වී තිබුණා.

විශාඛ කල්පනා කළා ලංකාවට ගියහමත් මොනවට හරි මුදල් ඕන වෙනවා, ඒ නිසා මේ කහවණු දහසත් අරගෙනම යනවා’යි හිතා ඒවත් මල්ලකට දාගෙන ඉනේ රඳවා ගත්තා. නැව දින කිහිපයකින් ම ලංකාවේ වරායකට ගොඩවුණා. විශාඛ නැවෙන් බැහැලා නිලධාරීන්ගේ හා මගියන්ගේ උපකාරයෙන් මාර්ග තොරතුරු අහගෙන දවස් ගණනාවක් පයින්ම ගමන් කර මහා විහාරයට ගොඩ වුණා.

මහා විහාරයේ වැඩ වාසය කළ රහතන් වහන්සේත්, අනෙකුත් භික්ෂූන් වහන්සේත් ඉතා කරුණාවෙන් කතා කළා. ආගිය තොරතුරු විමසා ආගන්තුක සත්කාර කළා. දඹදිව සිට පැමිණි විදේශිකයා දැක ගන්න මිනිස්සුත් එන්න පටන් ගත්තා. දවස් කිහිපයක් යන කොට ගම්වැසියන් හැමෝම විශාඛව හොඳින් අඳුන ගත්තා. ඔහුගේ කරුණාවටත්, කතාබහටත් හැමෝම කැමැති වුණා.

සති කිහිපයක් ගියාට පස්සේ මහා විහාරීය භික්ෂූන් වහන්සේ හමුවෙලා නමස්කාර කරලා පැවිද්ද ඉල්ලා සිටියා. විශාඛගේ හොඳ ගුණවලට පැහැදුණු මහ තෙරුන් වහන්සේ ඔහු

පැවිදි කරන්න තීරණය කළා. අදාළ දිනය උදා වුණා. ගම්වැසියෝත් හැමෝම විහාරයට ආවා. විදේශීය වූ විශාඛ පැවිදි කරනවා බලන්න.

මාස ගණනක් ම විහාරයේ වත්පිළිවෙත් කරමින් හිටිය විශාඛගේ එක් විශේෂ ලක්ෂණයක් තිබුණා. ඔහු යන හැම තැනට ම තමන්ගේ ඉනේ රඳවාගෙන හිටිය කහවණු දහසේ මල්ල ගෙන ගියා. භික්ෂූන් වහන්සේත්, ගම්වැසියනුත් ඒ ගැන ප්‍රශ්න කරන්න ගියේ නෑ. එහෙම වුණත් පැවිදි වෙන කොට හැම දෙයක් ම අත්හැරලා පැවිද්ද ලබා ගන්න ඕන, ඔය ඉනේ තියෙන්නේ මොනවාද? ඒ ටිකත් ඉවත් කර සිවුරු අඳන ආදී පිරිකර පමණක් අරගෙන සීමා මාලකයට පැමිණෙන්න’යි මහ තෙරුන් වහන්සේ ඔහු අමතා ප්‍රකාශ කළා.

‘ස්වාමීනි, මේ මල්ලේ තියෙන්නේ කහවණු දහසක්. මම හැම සම්පතක් ම අත්හැරලා පැමිණි කෙනෙක්. එහෙත් විදේශයක දී අවශ්‍ය වෙතැයි හිතලා කහවණු ටික ළඟ තබා ගත්තා. මම අද පැවිදි වෙන නිසා මේ මුදල්වලින් වැඩක් නෑ’යි මහ තෙරුන් වහන්සේට පිළිතුරු දීලා කහවණු දහසම සීමා මලුවේ විසුරුවා හැරියා.

මිනිසුන් අහුවෙන අහුවෙන විදිහට කහවණු සියල්ලම ඇහිඳ ගත්තා. තෙරුන් වහන්සේලාගේ විනය කර්ම යටතේ පැවිද්ද ලබා ගත්තා. උපසම්පදාවත් ලබා ගත්තා. උපසම්පදා වන හැම භික්ෂුවක් ම තමන්ගේ ආචාර්යයන් වහන්සේ හෝ උපාධ්‍යායන් වහන්සේ යටතේ අවුරුදු පහක් වත්පිළිවෙත් හා විනය පුරුදු පුහුණු වෙන්න ඕන. ඒ සියල්ල ඉතා හොඳින් ඉගෙන ගත්තා. පුරුදු පුහුණු වුණා. දැන් තමන් වහන්සේට ඕන තැනකට වැඩම කර නිදහසේ භාවනා කටයුතු කරගෙන ජීවත් වෙන්න පුළුවන්.

ලංකාවේ කීර්තියත්, පරිසරයේ සුන්දරත්වයත් අසා තිබුණු විශාඛ තෙරුන් වහන්සේ ලංකාව පුරා ඇවිදින්න පටන් ගත්තා. පාත්‍රයත්, තුන් සිවුරත් අරගෙන එක් එක් ගම් දනව්වලට වැඩම කර හමුවන විහාරයක මාස හතරක් වැඩ සිටියා.

ඒ කාලය පුරාම කරන්නේ සක්මනේ යෙදෙමින් මෛතී‍්‍ර භාවනාව වඩන එක. හැමෝටම හරිම කරුණාවන්ත යි. විශාඛ තෙරුන් ඇසුරු කළහම හිතේ තියන හැම ගැටලුවක් ම විසඳෙනවා. භික්ෂූන් වහන්සේත්, ගිහි පිරිසත්, දෙවි - දේවතාවනුත් උන්වහන්සේගේ ඇසුර ප්‍රාර්ථනා කළා. ලංකාවේ හැම පළාතක ම තියන විහාරවල හාර මස බැගින් නතර වෙමින් සංචාරය කළා. වසර ගණනාවක් මෙහෙම ඇවිදලා දවසක් වැඩම කළා සිතුල්පව්ව විහාරයට. උන්වහන්සේත් විදේශික ආගන්තුක භික්ෂූන් වහන්සේට ආගන්තුක සත්කාර කර හාරමසක් වැඩ ඉන්නට ලෙන් කුටියකුත් දුන්නා.

විශාඛ තෙරුන් වහන්සේත් වෙන විහාරවල වැඩ සිටියා වගේම මේ ලෙන් කුටියෙත් වැඩ හිඳිමින් භාවනා කළා. හැමදාම පාන්දරින් ම අවදිවෙලා සක්මන් කරමින් මෛතී‍්‍ර භාවනාව වැඩුවා. උන්වහන්සේ සක්මන් කරන මළුව සමීපයේ තිබුණා විශාල මයිල ගහක්. එහි වැඩ සිටියා එක් දේවතාවෙක්. ඒ වගේම ඒ අවට හිටියා අමනුෂ්‍යයින් පිරිසකුත්. තෙරුන් වහන්සේගේ දින චර්යාව අනුව හාර මස ගෙවී ගියා.

පසු දින තවත් විහාරයකට වැඩම කරන අදහසින් සිවුරු පිරිකර හා පාත්‍රය සූදානම් කර ගමන පිටත් වන දින පාන්දරත් සක්මන් කරන්න පටන් ගත්තා. සක්මන් කරන මළුවේ ඉස්සරහ පිහිටලා තිබුණා පියගැට පෙළක්. ඒ මත හිඳගෙන කවුදෝ මනුෂ්‍යයෙක් අඬනවා තෙරුන් වහන්සේට ඇහෙනවා. ඇස් ඇරලා බැලුවා කවුද කියලා. ශරීර වර්ණයෙන් බබළන, මනුෂ්‍ය ස්වභාවය ඇති විශේෂ පුද්ගලයෙක්. ‘කවුද ඔබ? ඇයි මේ අඩන්නේ?’යි ප්‍රශ්න දෙකක් ඇහුවා. තෙරුන් වහන්සේ අමතා

‘ස්වාමීනි, මම අර පෙනෙන මයිල ගසේ වැඩ සිටින වෘක්ෂ දේවතාවා. මම හැමදාම සතුටට පත් වුණා ඔබ වහන්සේගේ මෛති‍්‍රයට. මේ අවට ඉන්නවා අමනුෂ්‍යයින් පිරිසකුත්. ඔබ වහන්සේ වැඩිය දවසේ සිට ඒ අයත් හරිම නිශ්ශබ්දව සතුටින් කාලය ගත කළා. ඔබ වහන්සේ එන්නට පෙර ඒ අයගෙන් මට නිතර ම අහන්න ලැබුණේ නොසරුප් වචන, කල කෝලාහල හා අඬදබර විතරම යි. අදින් පස්සේ ආයෙත් මට ඒ අමිහිරි ශබ්දම තමයි අහන්න ලැබෙන්නේ. මට අනුකම්පා කර තවත් හාරමසක් වැඩ ඉන්න’යි පිළිතුරු දෙමින් ආරාධනා කළා.

තෙරුන් වහන්සේ තවත් හාරමසක් වැඩ සිටියා. ඒ හාරමස අවසන්වෙලා නැවතත් ගමන පිටත් වෙන්න හදන කොට ආයෙත් අර විදිහටම දෙවියන් පෙනී සිට අඬන්න පටන් ගත්තා. තවත් හාරමසක් වැඩ ඉන්න ආරාධනා කළා. මෙහෙම උන්වහන්සේ අර්හත්භාවය ලබා ගන්නා තෙක් ආරාධනා කරමින් උන්වහන්සේව සිතුල් පව්වේම නතර කර ගත්තා. විශාඛ තෙරුන් වහන්සේත් වීර්යයෙන් භාවනා කර අර්හත්භාවය ලබා ගෙන සිතුල් පව්වේම පිරිනිවන් පෑවායි කතා පුවතක් විසුද්ධි මාර්ගයේ මෙත්තා භාවනා නිද්දේශයේ සඳහන් වෙනවා.

මෛත්‍රීයට අකැමැති මනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ තිරිසත් ගත සත්ත්වයෙක් හෝ මේ ලෝකයේ නැති බව මේ කතා පුවත අපට උපදෙස් දෙනවා. ධනය හෝ, මුදල් හෝ, ශ්‍රමය හෝ, වෙනත් භෞතික වස්තුවක් හෝ, ශරීර අවයවයක් හෝ, වියදම් නොවන දෙයක් තමයි මෛත්‍රිය කියන්නේ.

ඉතින් මෛති‍්‍රයට මේ ලෝකය ම සතුටින් තියන්න පුළුවන් බව තවදුරටත් මේ කතා පුවත අපට පහදා දෙනවා. කලකෝලාහලවලින් වගේම දොස් පරොස්වලින් ඈත්ව ගැටලුවක් නැතිව සතුටින් මෙලොව ජීවිතය ගත කරන්නත්, දිව්‍ය සැප වගේම නිවන් සැප පරලොව වශයෙන් ලබන්නත් මෛතී‍්‍රය තරම් මිනිස් ආත්මයක් ලැබූ අපට තවත් ඉතිරිව ඇති සම්පතක් නැති බවත් මේ කතා පුවත පැහැදිලිව කියා දෙනවා.

ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]