කරන කියන දේ පිළිබඳ
සිහිකල්පනාවෙන් ජීවත් වන්න
ගල්වැව කනත්තේවැව
ශ්‍රී සුගතාරාම රාජමහා විහාරයේ
හිදව සෝභිත හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“දෙව මේ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යොචායං කාමෙසු කාම සුඛල්ලිකානු යොගෝ
හීනො ගමෙමා පොථුජ්ජනිකො අනරියො. අනත්‍ථසංහිතො. යොචායං අත්තකිලමථානුයෝගො දුක්ඛො
අනරියො අනත්ථසංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අනෙත අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන
අභිසම්බුද්ධා චක්ඛු කරණි, ඤාණ කරණි උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තතී.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරූ අප මහ බෝසතාණන් වහන්සේ දඹදිව බුද්ධගයාවේ
දී මාර පරාජය කොට ලොව්තුරා බුදු බව ලබා දෙමසක් ගිය තැන ඇසළ පුන් පොහෝ දිනක බරණැස
ඉතිපතනයේ දී මංගල ධර්ම දේශනාව (ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාව) පැවැත්වූහ. මේ
ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර වූ දේශනාව අවසානවත් ම දස දහසක් ලෝක ධාතු සෙලවී ගියා
(සංකම්පි). දස දහසක් ලෝක ධාතු අතිශයින් කම්පා වුණා (සම්ප කම්පි). දස දහසක් ලෝක ධාතු
වෙවුලා ගියා (සම්පවෙධි).
එපමණක් නොව දෙවියන්ගේ දිව්‍යාලෝකය පරදවා අතිශයින් උදාර ආලෝකයක් මිහිතලය පුරාත්,
දෙව්ලොව බඹලොව පුරාත් පැතිර ගියා. ඇසළ පුන් පොහෝදා මංගල ධර්ම දේශනාව පවත්වන්නට
බරණැස ඉතිපතනයේ පස්වග තවුසන් සිටි මිගදාය නම් ස්ථානයට බුදුරජාණන් වහන්සේ වැඩම කොට
මංගල ධර්ම දේශනාව කළ සේක. මහණෙනි පැවිදි වූ වහු විසින්, අන්ත දෙකක් අත්හළ යුතු ය.
කුමක්ද ඒ අන්ත දෙක? කාම සුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගයයි. මේ අන්ත දෙකේ
ස්වභාවය මීළඟට පැහැදිලි කළා.
කාම සුඛල්ලිකානු යෝගය හීනයි. ග්‍රාම්‍යයි. පුහුදුන් අයට සුදුසු වැඩක්. ආර්යයන්ට
නුසුදුසු වැඩක්. රම්‍ය, සුරම්‍ය, සුභ යන නම්වලින් හැඳින්වූ එකිනෙකට වෙනස් ප්‍රාසාද
තුනක් බෝසතාණන් වහන්සේගේ පරිහරණයට පියතුමා විසින් සකස් කරවන ලද බව ප්‍රසිද්ධ
කරුණක්. මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිනියක්, පැවිදි රුවක් දැක ගිහිගේ අත්හැර යන බව දැන
ගත් රජතුමා ඒ පෙර නිමිති හමු නොවන්නට රැකවල් තබා තිබුණූ බව සඳහන් වෙනවා. දීර්ඝ
කාලයක් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරූ බෝසතාණන් වහන්සේට ගිහි සැප පිළිබඳ කිසිදු ආශාවක්
ඇති වුණේ නැහැ. රාහුල කුමරු උපන් මොහොතේ කළ ප්‍රකාශය මීට කදිම නිදසුනක් ‘රාහුලෝ
ජාතො බන්‍ධනං ජාතං’ ගිහි ගෙයි බැඳෙන්නට ප්‍රධානම හේතුවක් දරු උපත. එය තේරුම් ගත්
නිසයි, දරු උපත, සැල කළ ඒ මොහොතේ එලෙස ප්‍රකාශ කළේ. මේ බරපතළ බන්ධනය කඩා බිඳ දමන්නට
බෝසතාණන් වහන්සේට ශක්තිය ලැබුණේ පුරන ලද පාරමී ධර්ම බලය නිසයි.
එදා දඹදිව විමුක්තිය ලැබීමට විවිධ ආගමික පිළිවෙත් පුරන අය සිටියා. අජව්‍රත, ගෝව්‍රත
සුනඛ ව්‍රත ඉන් සමරහක්. එළුවකු මෙන්, හරකකු මෙන්, බල්ලකු මෙන්, ජීවත් වෙමින් ශරීරයට
දුක්දීම එම ව්‍රත සමාදන් වූ අයගේ සිරිතයි. ආහාර අඩු කිරීම විමුක්තියට හේතු වන බව
සමහරු විශ්වාස කළා. හය අවුරුදු දුෂ්කර ක්‍රියා සමයේ බෝසතාණන් වහන්සේ ද ආහාර ගැනීම
අඩු කළා. කඩල තැම්බූ වතුර ටිකකින්, මුං ඇට තැම්බූ වතුර ටිකකින් දවස ගත කළා. තම කොඳු
නාරටියේ ඇලෙන තුරු ප්‍රධන් වීර්ය වැඩූ බව සඳහන් වෙනවා. මේ දුෂ්කර ක්‍රියා සමයේ
සිහිසන් නැතිව ඇද වැටුණු වාර කීපයක්. මේ දුෂ්කර ප්‍රතිපදාවෙන් කිසිදු ප්‍රතිඵලයක්
නොලැබුණු නිසයි අත්තකිලමථානුයෝගය අත්හැර දමන්නට බෝසතාණන් වහන්සේ තීරණය කළේ. එ
නිසාමයි බුද්ධත්වය ලබා ලෝකයට දුන් ප්‍රථම ධර්ම පණිවුඩය.
“දෙව මේ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා”
මහණෙනි අන්ත දෙකක් තිබෙනවා. පැවිද්දා විසින් අත්හළ යුතු කියා දේශනා කරනවා. මේ අන්ත
දෙක අත්හැර ඊළඟට යා යුතු ගමන් මාර්ගය බුදුරජාණන් වහන්සේ මෙසේ පැහිදිලි කරනවා.
‘මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා’ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය අවබෝධ කර ගත්
බව පස්වගතවුසන්ට එදා පළමු වරට පැහැදිලි කළා.
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කෙසේද යත් නිවැරැදි දැකීම, නිවැරැදි කල්පනාව,
නිවැරැදි වචනය, නිවැරැදි වැඩ, නිවැරැදි ජීවිකාව, නිවැරැදි උත්සාහය හා නිවැරැදි
සිහිය යි.
අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබනවාත් සමඟම මෙතෙක් ලෝකයාට අවබෝධයක්
නොවුණ, රහසක් ව පැවති අන් කිසිවකුට අවබෝධ නොවූ චතුරාර්ය සත්‍යය අවබෝධ වුණා. සම්මා
දිට්ඨි නමින් හැඳින්වූයේ එම අවබෝධය යි. ජීවිතය දුකක් ය. (දුක ඇතිවීමේ හේතුව
තෘෂ්ණාවයි. රාග, දෝෂ, මෝහ නැති තැන නිවනයි. නිවන් දකින මාර්ගය ආර්ය අෂ්ටාංගික
මාර්ගයයි. බෞද්ධකම ගොඩනැඟෙන්නේ මේ දර්ශනය මතයි. අපේ මුළු ජීවිතය ම ක්‍රියාත්මක
වන්නේ කල්පනා මතයි. එම නිසා ජීවිතයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයට බලපාන්නේ කල්පනා බව
අවබෝධ කර ගන්න.
බුදුවරයන් වහන්සේ ලොව පහළ වන්නේත් යහපත් කල්පනාවක ප්‍රතිඵලයක් වශයෙන්. සම්‍යක්
කල්පනා තුනක් තිබෙනවා. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම යනුවෙන් ඒ කල්පනා හඳුන්වා
දෙනවා.
මා සැපයට කැමැතියි. අනිකුත් සත්වයෝත් සුවපත් වෙත්වා යි පැතීම අව්‍යාපාදයයි. සත්ව
ඝාතනය කරන්නේ ව්‍යාපාදය ඇති අයයි.
අන් අයට මානසික හෝ ශාරීරික හෝ වදවේදනා ඇති නොකිරීම අවිහිංසාවයි. ආත්මාර්ථකාමිව
වස්තුව රැස් කිරීමෙන් කාමාශ්වාදයෙන් ඈත්වීම නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවයි.
අද මුළු ලෝ වැසි ජනතාව ඇස පිනවීමට, කන පිනවීමට, නාසය පිනවීමට, දිව පිනවීමට, කය
පිනවීමට, සිත පිනවීමට, කාලය, මුදල් වැය කරන අයුරු නුවණින් සලකා බලන්න. ඉන්ද්‍රිය
පාලනයක් ඇත්නම් කොතරම් මුදල් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි ද?
වැඩි දෙනෙක් රූපවාහිනිය ළඟ රැඳී සිටින්නේ ඇස පිනවීමට නේද? සංගීත සන්ධ්‍යාවල මුළු
රාත්‍රියක් නිදි වරමින් කාලය ගත කරන්නේ කන පිනවීමට නේද? කෑම පිඟානට මස්, මාළු
අවශ්‍ය වූයේ දිව පිනවීමට නේද? කෑම ගත් විගස දුම් වැටියක් දල්වා ගන්නේ සිත පිනවීමට
නේද?
නෙක්ඛම්ම සංකල්පනා මඟින් මේ සියලු ආපදාවලින් මිදී, නිවුණූ සැනසුනූ ජීවිතයක් ගත කළ
හැකියි.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මේ අංග දෙක ප්‍රඥාව හැටියට හඳුන්වා තිබෙනවා.
බුදුදහමෙහි මුල් තැන දෙන්නේ ප්‍රඥාවටයි. සංසාර විමුක්තියේ පටන් සෑම හොඳ වැඩක ම
මිනිසා පොළඹවන්නේ ප්‍රඥාව මඟින්.
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මේ අංග තුන සීලයටයි ඇතුළත් වන්නේ.
සුන්දර සමාජයක් ගොඩනඟන්නට බෙහෙවින් ඉවහල් වන මේ කරුණූු තුන ගැන අවධානය යොමු කරන්න.
විමුක්ති මාර්ගයේ ප්‍රධානම තැනක් හිමි වෙනවා ශීලයට. වචනයෙන් සිදුවන වැරැදි හතරක්
තිබෙනවා. බොරුකීම, කේලාම් කීම, පුරුෂ වචන කීම හා හිස් වචන කතා කිරීමයි. මෙහි
නිවැරැදි වචන ලෙස සැලකෙන්නේ සත්‍ය වචනය, සමගිය, සමාදානය ඇතිවෙන වචන, අසන්නාගේ සිත
සැනසෙන මෘදු වචන, සුදුසු අවස්ථාවෙහි කියන අර්ථවත් වචන.
කයින් සිදුවෙනවා වැරැදි තුනක්. සත්ව ඝාතනය, හොරකම, කාම මිත්‍යාචාරය, සම්මා කම්මන්තය
නම් සත්ව ඝාතනයෙන් වැළකීම, නුදුන් දේ ගැනීමෙන් වැළකීම. අයථා කාම සේවනයෙන් වැළකීම,
සම්මා ආජීවය යනු ජීවත්වීමට මුදල් අවශ්‍යයි. මුදල් උපයා ගත යුත්තේ නිවැරැදි
පිළිවෙළකට ය. නිවන් අපේක්ෂා කරන කෙනෙක් වැරැදි විදියට මුදල් උපයා ජීවත්වීම
වැරැදියි.
නොකළ යුතු වෙළෙඳාම් පහක් දහමෙහි සඳහන් වෙනවා. ආයුධ වෙළඳාම, මාංශ වෙළෙදාම, මත්පැන් ,
මත් ද්‍රව්‍යය වෙළෙඳාම, වස විස වෙළෙඳාම, වහල් වෙළෙදාම යනු ඒ පහයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 6,7, 8 යන අංග ඇතුළත් වන්නේ සමාධියටයි. සම්මා වායාම, සම්මා
සති, සම්මා සමාධි. සිත හරි මගට ගැනීමටයි. මේ කරුණු තුන වැඩිය යුත්තේ,
උපදින උපදින කාම විතර්ක, ව්‍යාපාද විතර්ක නැති කර ගැනීමට වීර්යය කළ යුතුයි. කය
පිළිබඳ, කයට දැනෙන වේදනාව පිළිබඳ සිත පිළිබඳ, සිතට එන අරමුණූ පිළිබඳ, සිහිය වඩා ගත
යුතුයි. මෙහි සඳහන් අවසාන අංගය සම්මා සමාධියයි. සමාධිය දියුණූ කර ගත් විට මේ අංග
අටම එකවිට ක්‍රියා කරවිය හැකියි. එවිට විමුක්ති ඥාන දර්ශනය පහළ වන අනිත්‍ය, දුක්ඛ,
අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ වීමත් සමඟ සකල ක්ලේශයෙන් ප්‍රහාණය වී නිර්වාණාවබෝධය
සිදු වෙනවා. |