[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ 14 ජේතවනාරාම
මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ.
ඡායාරූප - ගයාන් පුෂ්පික

වෙසක් අව අටවක

මැයි 22 ඉරිදා අපරභාග 01.06 අව අටවක ලබා 23 සඳුදා පූර්ව භාග 11.40 ගෙවේ.
22 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

 

 

 

තුන්ලොව සුගන්ධවත් කළ අසමසම ශාස්තෘන් වහන්සේ

මහ බෝසතාණෝ සසර නැවතුම්පොළ තනන තෘෂ්ණා වඩුවා නසා අවිද්‍යා කැණිමඬල සිඳ බිඳ දමා අති දුර්ලභ සම්‍යක් සම්බෝධිය තිලොව විජය ශ්‍රීය අත්පත් කර ගත් සේක. මේ වනාහි තිලොව සත්වගට සදාතනික සැබෑ සුබ සදාලු බෝමැඩ විප්ලවයයි. බෝමැඩ විප්ලවයේ ප්‍රතිලාභය ශාන්තිය සුළුතරයකට හෝ බහුතරයට නොව සමස්ත සත්ව සංහතියට ය. ගහකොළ ඇළ දොළ සතා සීපාවා සහිත මුළු පරිසර පද්ධතියට ම ය. රත්පියුම්, හෙළපියුම්, හිරු කිරණ වැද සුපුෂ්පිත වන්නේ යම් සේ ද පෙර පින් මහිමැත්තෝ සම්බුදු ප්‍රඥා හිරුකැන් වැද ප්‍රඥාවේ ආලෝකයෙන් නිර්වාණ ක්ෂේම භූමියට මාර්ගය හෙළි පෙහෙළි කරගත්තෝ ය. දිනකට වේලක් වළඳමින් දෙවාරයක් මහ කුළුණු සමවතින් පිනැතියනට පිහිට සදමින්, අසරණ වූවනට සරණ සදන්නට, ගව්ගණන් මහ මඟ වඩිමින් වචනයෙන් කිව නොහැකි, සිතින් සිතා ගත නොහැකි අපමණ සේවාවක්, අපමණ දෙව් මිනිසුන් වෙනුවෙන් ඉටුකළ බුදුරදාණෝ ගත සිත සතපා ගැනීමට විඩා දුරු කර ගැනීමට සැතපුණේ දිනකට පැය දෙකකට ආසන්න කාලයකි. සසර පුරා පිරූ පාරමී දම් ඇතිව සම්බුදු බවට පත්ව දෙව් මිනිසුන්ගේ දෙලොව හිත පිණිස මෙවන් අයුරින් අද්විතීය මෙහෙවරක නිරත වෙද්දි ලෝක ස්වභාවය ද අටලෝ දහම ද උන්වහන්සේට ද පොදුවේ ක්‍රියාත්මක වුණි. පරසතු මදාරා, නිලුුපුල්, රතුපුල්, හෙළ පියුමෙන් දෙව් මිනිස් ගණ මුනි සිරිපා පද්මය පුදද්දී තවත් කෙනෙක් උන්වහන්සේගේ දිවි නසන්නට ගල් පෙරළූහ. දුනුවායන් යොදා දිවි නසන්නට උපා යෙදවූහ. නාලාගිරි චණ්ඩ ඇතු රා පොවා මත්කර කුලප්පු කරවා බුදුරදුන් වඩිනා පෙරමඟට එවූහ. මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ අපවාද, උපහාස, ගැරහුම්, චෝදනා බොහෝ විය. ස්ත්‍රී දුෂණ මිනීමැරුම් ආදි බරපතල චෝදනා මධ්‍යයේ පවිටු චිංචිමානවිකා කුස දරමිටි බැඳ අවුත් තුන් ලෝ දෑරඟමිණට දම්සභා මණ්ඩපය තුළ දීි නිග්‍රහ කළා ය. මේ කිසිවෙකින් අබමල් රේණුවක් තරම්වත් උන්වහන්සේ නොසැලුණු සේක. මේ සෑම ක්‍රියාවකින්ම ඔපවත් ව ඉස්මතුවූයේ සම්බුදුපියාණන් වහන්සේගේ තාදි ගුණයයි. නොසැලීමේ ගුණාංගයයි. මෙලොව ඇති සත්‍යය ඇති සැටියෙන් පෙන්වු උන්වහන්සේ යථාභූත ඥාන දස්සනය මොනවට දේශනා කළ සේක.

 

සම්බුද්ධ පරිනිර්වාණය මෙසේ සිදු විය

බුද්ධත්වයට පත්වීමේ පටන් පන්සාළිස් වසක් පුරාවට ම මහා කරුණාවෙන් ලෝකයාට දහම් මඟ පෙන්වාදුන් බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගත කළේ බේලුව ගමෙහි ය. තවත් දස මාසයකින් තමන් වහන්සේ පිරිනිවන් පා වදාරණ බව ඉටා ගත්තේ එහි දී ය. මේ අතර බුදුරදුන්ට ලෝහිත පක්ඛන්දිකා නම් බලවත් වේදනා සහිත මාරාන්තික වූ රෝගයක් හට ගැනිණි. උන්වහන්සේ ඉදිරියට දස මාසයක් ම එම රෝගය යළි මතු නොවන ලෙස සමාපත්ති බලයෙන් යටපත් කළහ. රෝගී භාවයෙන් මිදී බුදුරදුන් සුවසේ වැඩ සිටිනු දුටු ආනන්ද හිමියෝ බලවත් සැනසිල්ලකින් උන්වහන්සේ සමීපයට පැමිණ මෙසේ පැවසූහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රෝගීව සිටිනු දුටු මට බලවත් ශෝකයක් හට ගැනිණි. මම සිහිය උපදවාගත නොහැකි තත්ත්වයකට පත්වීමි. දැන් ඔබ වහන්සේ ඉන් මිදී සිටිනු දකින මාගේ සිතට ඇතිවනුයේ අපරිමිත සොම්නසකි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හට අවසාන අවවාදය වදාරා මිසක පිරිනිවන් නෙපානසේකැයි, සිතීමෙන් යන්තම් සිතට අස්වැසිල්ලක් ඇති කරගත හැකි ය.” මේ අසා සිටි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. “ආනන්දය, මම කිසිදු සැඟවීමක් නොකොට ධර්මය මනාව හෙළිදරව් කොට දේශනා කළෙමි. ගුරුමුෂ්ටි කිසිවක් තබා නොගතිමි. ආනන්දය, භික්ෂූන් වහන්සේ පාලනය කරමි'යි, කියා හෝ උන්වහන්සේ මා උදෙසා ජීවත්විය යුතු ය, කියා හෝ කිසිදු අදහසක් මා තුළ නොමැත. මම දැන් අසූවැනි වියට පත්ව සිටිමි. දිරාගිය ගැලක් උණපතුරු ආදිය තබා බැඳ පවත්වාගෙන යන්නේ යම් සේ ද මාගේ ශරීරය ද එපරිද්දෙන් ම පවතී. ආනන්දය, එබැවින් තමා ම තමාට පිහිට කොට ධර්මය ම සරණකොට වාසය කරන්න.” බේලුව ගමෙහි ගත කළ වස් කාලය නිම කළ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවරට වැඩම කළහ.

 

අනේක දුක් ගිනි සැනෙකින් නිවා ලන උතුම් ලොව්තුරු බුදුහිමි රූ සිරි

බුදුරජාණන්වහන්සේ මහාපුරුෂ ලක්ෂණ, බුදුබලය ඔප් නැංවීමට පුරාකෘත පුණ්‍ය ශක්තියෙන් හිමි වන දේය. නිදසුනක් ලෙස “බුදුන් තම හිස මුදුනින් විහිදුවන රශ්මිධාරා විවිධ වර්ණයෙන් මුළු ලෝකාන්ධකාරය තුළ පැතිර පැවැත්තේ ය. යළිත් එම රශ්මි කදම්බය බුදුන් වෙත පෙරළා පැමිණ තුන් වරක් තමන් වටා ප්‍රදක්ෂිණා කොට ශ්‍රී මුඛයෙන් විශාලත්වයට පැමිණේ.” යනුවෙන් මහායානික කෘතිවල දැක්වෙන ප්‍රකාශය දැක්විය හැකි ය. ථේරවාදය අනුව මට්ටකුණ්ඩලී වැනි අසරණයන්ගේ සිත් පැහැදවීමට බුදුන් වහන්සේ විසින් නිකුත් කරන ලද්දේ එබඳුම වූ ආලෝක ධාරාවකි. රූපයේ අනිත්‍යතාව බුදුහිමියන් අවධාරණය කළ නමුත් බුද්ධානුස්සති භාවනාවට බුදුසිරුරේ රූප විලාශයේ මහත්වයත්, එය පවා අනියස බව මෙනෙහි කිරීමටත් යොදා ගැනෙන බව අප විසින් මෙහි ලා අමතක නොකළ යුත්තකි. මෙම ශාරීරික ලක්ෂණ බලා අනාවැකි පැවසීමේ ශාස්ත්‍රයක් පුරාණ ඉන්දියාවේ පැවතිණ. මහා භාරතය, වෘහත්සංහිතා, සාමුද්‍රිකාශාස්ත්‍ර වනි ග්‍රන්ථවල මේ පිළිබඳ සඳහන් වේ. කුඩා සිදුහත් කුමරු නිසැකවම බුදුවන බව කොණ්ඩඤ්ඤ නම් තාපසයා විසින් පවසන ලද්දේ මෙකී ශාරීරික ලක්ෂණ විමසා බව මෙයින් තහවුරු වේ. බුදු සිරුරේ රූප විලාසමය අසිරිමත් බව සම්බන්ධ අතිශය විසිතුරු භෞතික පදනමක් හා දාර්ශනික පසුබිමක් බැඳී පවතී. මෛත්‍රිය පාරමිතාවක් ලෙස සාංසාරිකව ප්‍රගුණ කළ උන්වහන්සේ තුළ අපරිමිත දයාවක් හා කරුණාවක් පැවතුණි. භාරතීය සමාජ පසුබිම තුළ නිර්මාංශික පුද්ගලයකුට හිමි වටිනාකම සැලකීමේ දී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නිර්මාංශික පුද්ගලයකු වූ බවට සැක නැත. එමෙන්ම අභිරූපවත් රාජකීය පෙළපතකට අයත් පුද්ගලයකු වශයෙන් ජානමය පසුබිමක් ද පවතී. ඒ සියල්ල සමඟ පුරාකෘත කුසලය හා තෙද ගැන්වුණු, කුඩා කල සිට වඩන ලද චිත්ත සමාධිය ප්‍රබල සාධකයක් වූවාට සැක නැත.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

















 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]