[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මෙත් සිතේ බලයෙන් ඇසට නොපෙනෙන සත්වයෝ ද සැනසෙති

එදා සිරිලක් මාතාව දේශ දේශාන්තරයන්හි පතළ කිතුගොස් ඇතිව වැජඹුණා. ඒ බුදුදහමේ ආභාසයෙන් ස්වකීය ආධ්‍යාත්මය මොනවට සකසාගත් හෙළයන් නිසාවෙන් ම ය. එදා හෙළ දිව හෙළයෝ පිරුණු මෙත් සිත් ඇති සත්පුරුෂයෝ වූහ. එනිසාම සිරිලක කිතුගොස ලොවැ දසත දලුලා වැඩුණි. අහස් කුස නැඟී බබළන ක්ෂීර පැහැ දාගැබ ද, ශීලාදීි ගුණ යුතු මහ තෙරවරුන්ගේ කාෂාය පැහැ චීවරය ද , සිරිලක් මාතාවගේ ගුණ වරුණ ලොවැ දසත පතළ වීමට මහෝපකාරි විය. මෙබඳු ගුණ ඝෝෂයක් ලොවැ පැතිරෙද්දී දඹදිව මහා පොහොසතෙක් සිය යස ඉසුරු සම්පත් හැම හැර දමා ආධ්‍යාත්මික සුව සහනය පතා නැව් නැඟී ලක්දිව අවුත් අනුරාධපුර මහා විහාරයට පිය මැන්නේ ය. ඒ මහා විහාරයීය මහතෙරුන් වෙතින් පැවිද්ද ලබා ගැනීමට ය. පැවිදිව උපසම්පදා වූ මේ විශාක හාමුදුරුවෝ එක්තරා ව්‍රතයක් සමාදන්වැ සිටියහ. එනම් එක අරමක සාර මසක් පමණක් විසීමේ ව්‍රතය යි. මහණදම, සිල්ගුණ අබමල් රේණුවකින්වත් නොසිඳගත් මේ ස්වාමින් වහන්සේ දවසක් සිතුල්පව් වෙහෙරට වඩිනට පා ගමනින් පැමිණ දෙමංසලක දී , වෙහෙරට කුමන මඟින් යා යුතු දැයි සිතත්ම අසල ගසක විසූ දෙවියෙක් වෙහෙරට යන මඟ මෙය යැයි අත දිගුකර පෙන්වා නෙපෙනී ගියේ ය. එදා මේ හාමුදුරුවෝ සාර මසක් සිතුල්පව් වෙහෙරේ ශීලාදී ගුණ පුරමින් ගතකර තමන් වහන්සේගේ ව්‍රතය සිහිකර දැන් සිතුල් පව්වෙන් නික්මීමට කාලය යැයි දැන හෙට දවසේ අලුයම සිතුල්පව්වෙන් පිටත්වීමට තීරණය කළේ ය. ගත වූයේ මඳ වේලාවකි. කෙනකු අඬන හඬ ඇසී ඒ කවරෙක්දැයි පිරික්සා බලන කල තම කුටිය නුදුරෙහි ඇති මිනිහෙල ගසේ රුක් දෙවියා එසේ අඬන බව දුටුවහ. ඊට හේතු ඇසූ කල්හි " පින්වත් ස්වාමීනි ඔබ වහන්සේ සිතුල්පව් පින්බිමෙන් වඩින බව දැන දුකට පත්වැ සන්තාපයෙන් හැඬූ වෙමි. ඔබ වහන්සේ මෙහි විසීමෙන් අප නොමඳ සැනසීමට පත් වූවෙමු. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ මෛත්‍රි චිත්ත බලය, මේ අරණේ මිනිස් ඇසට නොපෙනෙන අදෘෂ්‍යමාන සත්වයන්ට ද දැනී ඔවුහු එකිනෙකා නපුරු බස් බිණීම නවතා කලහ කිරීම අතහැර සිටිති. ඉදින් ඔබ වහන්සේ මෙහි විසීම අපට මහත් වූ සැනසිල්ලක් දානය කිරීමෙකැයි පවසා සිටියේ ය. ඒ බැව් අසා මෙත් සිතැති විසාක හාමුදුරුවෝ තවත් සාර මසක් එහිම විසුහ.


දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]